අහෝ අප ඉන්නේ කොතැනද

අහෝ අප ඉන්නේ කොතැනද

ශ්‍රී ලාංකික අපට මේ උදා වී ඇත්තේ සැබැවින් ම අවාසනාවන්ත කලදසාවකි. වරක් දෙවරක් නොව තෙවරක් ම තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ පා පහස ලබන්නට තරම් පුණ්‍යවන්ත වූ මේ බිමෙහි සිව්දෙසින් ම දැන් දැන් අසන්නට, දකින්නට ලැබෙන්නේ උතුම් වූ මනුෂ්‍යත්වයට නිගා දෙන අන්දමේ මහ පොළොව නුහුලනා අපරාධයන් පිළිබඳ තතු ය.

මෑත දිනෙක නොරොච්චෝලෙ මුස්ලිම් පාසලක ගුරුවරයෙකු මව පියා අහිමි 12 හැවිරිදි පාසල් සිසුවකුට උණු වතුර වත්කර පුළුස්සා තුවාල කර තිබිණි. මේ කුමන ලෝකයක්ද? මේ සමාජය මෙතරම් විපරීත වූයේ කාගේ වරදින්ද? මාපිය රැකවරණයෙන් මිදුණු කල පාසලේ දී සිසුවකු සිටින්නේ ගුරුවරුන්ගේ රැකවරණය යටතේ ය.

 ගුරුවරයා වූකලී දරුවන් දැනුමින්, හැකියාවෙන් සේ ම කුසලතාවයන්ගෙන් පරිපූර්ණ කිරීමේ වගකීම කරපින්නාගත් තැනැත්තෙකි. එසේ නම් මාපියන්ගේ රැකවරණය සදහට ම අහිමි කරගත් අවිහිංසක දරුවකුට එවන් වූ මිලේච්ඡ අන්දමින් සලකන්නට තරම් ගුරුවරයෙකු දරුණු විය හැකිද? දරුවකු වරදක් කළ විට යම් දඬුවමක් ලබා දී යහමගට ගැනීමට ගුරුවරයකුට ඇති අයිතිය පිළිබඳ අප ප්‍රශ්න කරන්නේ නැත. නමුත් තමා තුළ ඇති සියලු පීඩනයන් නිර්දෝෂී සිසුන් මත මුදාහරින්නට ගුරු වෘත්තිය වැනි උතුම් වෘත්තියක නියැලෙන්නන්ට කිසිසේත් ම යුතු නැත.

ගුරුවරයාගේ මිලේච්ඡත්වයට පින්සිදු වන්නට පෙර කී දරුවා රෝහල්ගතව වේදනා විඳින අතර අඟුණකොලපැලැස්සේ දරුවෙකුට සිදු වූ තවත් අවාසනාවන්ත සිදු වීමකි. බල්ලකු සපා කෑ පසු අගුණකොලපැලැස්ස රෝහලට ඇතුළත් කළ 10 හැවිරිදි දරුවා අවාසනාවන්ත අන්දමෙන් මෙලොව හැරගොස් ඇත්තේ නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙනි.

මරණයට හේතුව ජලභීතිකා රෝගය වැළඳීම ය. ඥාතීන් කියාසිටින්නේ දරුවා වෙත වෛද්‍ය අවධානය යොමු නොවූ බවත් නිසියාකාරව ප්‍රතිකාර ලබා නොදුන් බවත් ය. වෛද්‍ය වෘත්තිය ඉතාමත් සැලකිල්ලෙන් හා වගකීමෙන් යුතුව කළ යුත්තේ ඔවුන් අතින් වන සුළු අතපසු වීමක් වෙනුවෙන් රෝගියාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු විය හැකි නිසා ය.

තම අයිතිවාසිකම් වෙනුවෙන් ඕනෑම මොහොතක වීදි බසින්නටත්, වැඩ වර්ජනය කරන්නටත් සූදානමින් සිටින නූතන වෛද්‍යවරුන් මෙලෙස තම වගකීම් පැහැරහැරීම කෙතරම් නින්දා සහගත ක්‍රියාවක්ද? සයිටම් වසා දමව්! කියමින් කෑමොර දෙමින්, ප්‍රමිතිගත වෛද්‍ය සේවාවන් වෙනුවෙන් හඬනගන වෛද්‍යවරුන් ම වෛද්‍ය ප්‍රතිකාර පතා රෝහල්ගත වූ රෝගියෙකු මියයන්නට ඉඩහැර දෑත් බැඳ බලා සිටීම සැබැවින් ම අදහාගත හැකිද?

මේ ආරම්භය හෝ අවසානය නොවන වග නම් ඇඟිල්ලෙන් ඇන කිව යුතු නොවේ. ඇසුණු, ලියවුණු සේ ම රහසේ ම සැඟවුණු මෙවන් සිදුවීම් අනන්ත ය. අපමණ ය.

සමාජයේ උසස් යැයි සැලකෙන ගුරු වෘත්තිය, වෛද්‍ය වෘත්තිය වැනි වෘත්තීන්ගේ නියැලෙන්නන්ගෙන් අප තව දුරටත් මෙවැනි දේ අපේක්ෂා නොකරමු. සැබැවින් ම උසස් විය යුත්තේ වෘත්තිය නොව, වෘත්තිකයා තුළ ඇති මනුස්ස ගුණධර්මයන් ය. කෙසේ වුවද සෑම වෘත්තිකයෙකුට ම තම වෘත්තීය ගෞරවය රැකගැනීමට යුතුකමක් ඇති බව පමණක් අවසාන වශයෙන් සිහිකැඳවීමට කැමැත්තෙමි.