හැමදාම හිනා වුණාට ඔයාගේ නමවත් මම දන්නේ නැහැ නේ

හැමදාම හිනා වුණාට ඔයාගේ නමවත් මම දන්නේ නැහැ නේ

“ නිදහස් චතුරශ්‍රය “

ශාස්ත්‍රී ටොයින් ටොන් මැද්දේ තිබ්බ ලොකු සාලාව ගැන එහෙමයි කිව්වේ. එක ට තව මොකක්දෝ ඉංගිරිසි නමකුත් කිව්වා. ඒත් මට ඒක මතක නැහැ.. මතක තියා ගන්න අමාරු නමක් නොවෑ ඒක. මිට කලින් දවස්වල මෙහෙ ඇවිදින්න ආවම මන් කරන්නේ ඒ සාලාවේ පැත්තකට වෙලා යශෝදරා අක්කයි ශාස්ත්‍රී ඇවිදලා එනකම් ඉඳගෙන ඉන්න එක. ඒ දවස්වල මන් ඇඳන් එන්නේ ගවුම් හින්දා එයාලා එක්ක එහෙ මෙහෙ දුවලා දාඩිය දා ගන්නත් බෑනේ.

තනියම එහෙම ඉද්දි සමහරු නම් මාත් එක්ක හිනා වෙනවා. හැබැයි පොඩි බබාලා එක්ක ඇරෙන්න කිසිම කෙනෙක් එක්ක මම නම් හිනා වෙන්නේ නැහැ. බබාලා එක්ක සෙල්ලම් කරන්න මන් ආසයි. වැරදිලාවත් කතා කරත් මම කතා කරන්නේ බබාලාගේ අම්මලා එක්ක විතරයි.

හැබැයි මම කතා නොකරාට ඒ දවස්වල කවුද මන්දා පිස්සු කොල්ලෙක් හිටියා මම එක්ක බලෙන් ම කතා කරන්න එන. මිනිහ මුල් ම දවස්වල නම් හැමදාම එතනින් හිනා වේවී එහෙට මෙහෙට ගියා. ඊට ටික දවසකට පස්සේ දවසක් දෙකක් “ හලෝ ස්වීටි.. “ කියාගෙන මන් ගාවින් ඇවිදගෙන ගියා.එදා නම් මන් ටිකක් විතර බයත් හිතුනා. ආයෙත් දවස් දෙක තුනකට පස්සේ මිනිහා ළඟටම ඇවිදින් මම ඉඳගෙන උන්නු තැනින් ඉඳගත්තා.

ඉඳගෙන පටන් ගත්තා මෙහෙම කියවන්න..

“ හෙලෝ ස්වීටි.. කොහොමද ඉතින්.. හැමදාම හිනා වුණාට ඔයාගේ නමවත් මම දන්නේ නැහැ නේ.. “

එයා හිනා වෙද්දී මමත් එයා එක්ක හිනා වුණා වගෙයි මිනිහාගේ කතාව.. අඩේ අප්පා.. මම ඇහෙන්නේ නැහැ වගේ හිටියා ඉතින්..

“ මගේ නම වෙනුර.. මම නම් හැමදාම එනව මෙහෙ. ඒත් මම ඔයා ව නම් දකින්නේ ඉඳලා හිටලා.. ගෙවල් තියෙන්නේ හෝර්ටන් ප්ලේස් එකේ නේද.. මම දැක්කා දවසක් ජෝගින් ඉවර වෙලා යද්දී.. “

මොකක්.. මේ නසරානි කොල්ලා කොහොමද වික්ටෝරියා ප්ලේස් එක තියෙන තැන දන්නේ.. වෙනුර නෙවේ කවුරු උනත් මට මොකෝ..මෙයා ගාව ඉන්න එක නම් ඒ හැටි ඇඟට ගුණ නැහැ වගේ කියලමයි මට හිතුනේ. මම දන්නේ නැද්ද පිරිමින්ගේ හැටි.

“ මොකෝ ස්වීටි බය වෙලා.. ඔයා හරි ලස්සනයි.. ඒ නිසයි කතා කරේ.. “

මොකුත් ම නොකියා හිමින් සීරුවේ නැගිට ගත්ත මන් ආපහු පිටිපස්සවත් බලන්නේ නැතිව දුවලා දුවල ගිහින් නතර උනේ ශාස්ත්‍රීවයි යශෝදරා අක්කවයි හොයා ගත්තයින් පස්සේ තමයි. හැබැයි එදායින් මෙදායින් පස්සේ මම නම් ආයේ ටොයින් ටොන් පැත්තේ ආවේම නැහැ. පස්සේ දවසක මන් ඕක ශාස්ත්‍රී එක්ක විතරක් කිව්වා. එයා නම් කරේ හොඳටෝම හිනා වුණ එක. හැබැයි මම යශෝදරා අක්කට නම් කියන්ට ගියේ නැහැ. වැරදිලාවත් සුභද්‍රා නෝනාට හරි මාග්‍රට් නැන්දාට හරි කිව්වොතින් මම විනාසයි නේ. ආයේ මාව කොහෙවත් අරින එකකුත් නැහැ. එදායින් පස්සේ අද තමයි මාස තුන හතරකින් විතර ආයේ ටොයින් ටොන් පැත්තට එන්න හම්බුණෙත්. මොනා නැතත් කමක් නැහැ කඩවුලේ.. අද නම් ඒ නසරානි කොල්ලව හම්බෙන්න නම් එපා ඕන්..

“ සින්ඩි.. මොකෝ කල්පනා කරන්නේ.. “

“ නිකම්.. “

“ මොකෝ නිකම්.. අපේ අයියාවත් මතක් වුණා ද ? “

“ නෑ නෑ ශාස්ත්‍රී. ඒම නෙවෙයි.. මට බය අර නසරානි කොල්ලව අදත් හම්බෙයි ද කියලා.. “

“ ආ...ආ අර වෙනුර ද .. “

“ අපූ ශාස්ත්‍රී නමත් මතක තියාගෙන.. හ්ම්ම්.. ඒ කොල්ලට පයිත්තියම් අෆ්ෆා.. “

“ ඉතින් කමක් නැහැ. හම්බ වුණොතින් හොඳයිනේ.. මටත් පුළුවන් නේ එතකොට කවුද මේ පයිත්තියම් මහත්තය කියලා බලා ගන්න. “

ශාස්ත්‍රීට නම් හැම දේම විහිළු.

“ පයිත්තියම් මහත්තයා තමා.. සුභද්‍රා නෝනා දැන ගත්තොත් අපි දෙන්නටම තියෙයි. “

“ අපෝ සුභද්‍රා ඇන්ටි ඔය කොල්ලෝ ගැන පොඩි පොඩි කතන්දර ගණන් ගන්නේ නැහැ සින්ඩි.. “

“ ඒ ශාස්ත්‍රීටනේ.. මාග්‍රට් නැන්දායි සුභද්‍රා නෝනා යි දැන ගත්තොත් නම් අෆ්ෆා මට විසුමක් වෙන්නේ නැහැ. “

“ අපෝ සින්ඩි.. ඔහොම බෑ.. කොල්ලෙක් කතා කරා කියලා ඔහොම බය වෙනවා නම් අපේ අයියාව දැක්කොත් කොහොම හිටි ද ? “

“ ශාස්ත්‍රීගේ අයියා එන්නේ ඉතින් මං එක්ක කියෝ කියෝ ඉන්න නෙවේ නේ. “

“ ඒත් කලින් එන්නේ සින්ඩි හින්දාමනේ.. “

“ අනේ මන්දා.. “

“ ආන් ආන් මොකෝ සින්ඩි.. අයියා ව මතක් කරා විතරයි මූණත් එක්ක රතු කර ගත්තේ.. “

“ අනේ.. ශාස්ත්‍රී.. විහිළු කරන්න එපා.. එහෙම විහිළු කරන්නවත් හොඳ නැහැ.. “

“ හාකෝ හාකෝ.. දැනට අපි එහෙම හිතමුකෝ.. හැබැයි දැනට විතරයි හොඳේ.. “

අනේ මන්දා ශාස්ත්‍රී මක් වෙලා ද කියල.. හැම තිස්සෙම විසල් මහත්තයා ගැන කියලා විහිළු කරනවා අයි අයියෝ අෆ්ෆා.. ඇයි මෙයාලා මෙහෙම.. පව් අර විසල් මහත්තයා. දැකලාවත් නැති මහත්තයෙක් ගැන බොරු කතන්දරනේ.. අනේ මන්දා සුභද්‍රා නෝනාගේත් බෞතිස්මයක් නැති නම් මේ එකක්වත් නැහැ.

 එහෙනම් විසල් මහත්තයටත් පාඩුවේ දේස දීපංකරේකට වෙලා ඉන්න පුළුවන්.නිවාඩු පාඩුවේ වෙනදා වගේම ඇවිදින් යන්නත් පුළුවන්.. විසල් මහත්තයා එන්න කලින්ම මෙයාලා මෙහෙම නම් ආවම කොහොම හිටි වී ද මන්දා.. කඩවුලේ..