ශ්‍රී රටටම එකයි

ශ්‍රී රටටම එකයි

මේ ඉමක් කොනක් නොපෙනෙන සංසාරේ යම් තැනක, මනුස්ස ආත්මයක් අරන් එන කොයි කාගෙ වුණත්, නළලෙ කොටාපු දෛවයක් තියෙනවා. ඉතින් අපි කාට වුණත් අනාගතේ යම් දවසක මතක හිටින දෙයක් කරන්න, වටින කියන යමක් ලබන්න වගේ ම කොයි කවුරුත් දන්න කියන කෙනෙක් වෙන්න ලියවිලා තියෙනවා නම් කොතැන හරි; ජීවිතේ මොනතරම් බාධක, හැලහැප්පීම්, දුක්කම්කටොලු ආවත් ඒ ගමන තවත්වන්න කාටවත් ම බෑ.

මිරෝන් ශ්‍රී කියන්නෙත් අන්න ඒ විදිහට අනන්ත අප්‍රමාණ බාධක මැදින් තමන්ගෙ ඉලක්කෙට ළං වුණු හැබෑ ම දක්ෂයෙක්.

2016 අවුරුද්දෙ ජර්මනියේ පැවැත්වුණු ඉන්ටර්නැෂනල් සුපර්ස්ටාර් තරගයේ අවසන් ජයග්‍රාහකයන් පස් දෙනා අතරට එකතු වුණ මිරෝන්; රටවල් ගණනාවක තරගකරුවන් එක්ක අති දක්ෂ විදිහට තරග වැදිලා ඒ දිනාගත්තු ජයග්‍රහණය ශ්‍රී ලාංකික අපට ඇත්තෙන් ම නිහතමානී ආඩම්බරයක්. මොකද, ඒ අපේ කෙනෙක්. හැකියාව, දක්ෂතාවය වගේ ම වාසනාව කැටි කරගත්තු; මිරෝන්ගෙ ජීවීතේ යටගියාව කවුරුත් නොදන්න කඳුළු කතාවක්.

ලංකාවේ හලාවත පැත්තෙ ඉපදිලා, හලාවත ශාන්ත මරියා විදුහලෙන් අකුරු ඉගෙනගත්තු මිරෝන්ට අම්මා තාත්තගෙ ආදරය, රැකවරණය අහිමි වෙන්නෙ ජීවිතේ ගැන හයක් හතරක් නොතේරෙන පුංචි කාලෙ දි.

තමන්ගෙ ජීවිතේ වටිනකියන හැමදේම නැති කරගෙන තනි වුණ පුංචි මිරෝන්ට පිහිට වුණේ නෙදර්ලන්ත ජාතික පවුලක්.

ඔහු නෙදර්ලන්තය බලා ඉගිල්ලෙන්නෙ අවු: 10ක් වගේ පුංචි වයසක දි.

සංගීතය ගැන උපන් හපන්කමක් වගේ ම විශාල උනන්දුවක්, කැමැත්තක් හිතේ හිර කරගෙන හිටපු මිරෝන් සංගීතයට අත්පොත් තියන්නෙ නෙදර්ලන්තයේ දී.

ඔහුගෙ මුල් ම සංගීත ගුරුවරිය වුණේ ෂයෝන් කියන නෙදර්ලන්ත සංගීත ගුරුවරිය. එහි දී ජාත්‍යන්තර පෞද්ගලික පාසලකින්; තමන්ගෙ කඩාවැටුණු අධ්‍යාපන කටයුතු ආයෙමත් මුල ඉඳන් පටන් ගත්තු මිරෝන්; අන්තිමේ දී උසස් අධ්‍යාපනය හදාරන්න ජර්මනියටත් යනවා.

 අම්මා තාත්තා නැතුව අනාථ වෙලා; වල් වැදෙන්න ගිය ජීවිතයක් ගොඩදාගන්න මිරෝන්ට තිබුණෙ අවංක කැපවීමක්. මේ හැම දේකදි ම ළඟින් ම ඉඳගෙන හයියක් වෙලා තියෙන්නෙ ජෝවන්, රෆෙල්ලා කියන ඔහුගේ නෙදර්ලන්ත පවුලේ සාමාජිකයන්.

මිරෝන් දැන් බටහිර සංගීත කණ්ඩායමක සාමාජිකයෙක්. අවුරුදු 27ක තමන්ගෙ සංගීත ජීවිතයෙ දි බටහිර සංගීත කණ්ඩායම් එක්ක එංගලන්තය, ස්වීඩනය, ඔස්ට්‍රියාව, අමෙරිකාව, ප්‍රංශය වගේ රටවල් ගණනාවක සංචාරය කරපු ඔහුගේ බලාපොරොත්තුව තමයි, මව්රට වෙනුවෙන් යුරෝපීය ආරකට සින්දු කියලා, ප්‍රේක්ෂකයන්ට වෙනස් රසවින්දනයක් ලබාදෙන එක.

තමන්ගෙ මව්රටෙන් ඈත්වෙලා දිගු කලක් විදේශයන්වල කල් ගෙවපු මිරෝන්ට සිංහල භාෂාව නිවැරදි ව උච්ඡාරණය කරන්න නම් ටිකක් අපහසුයි. ඒ වුණත් ජෝතිපාලයන්ගේ ගීත ගායනා කරන්න ඔහුට තියෙන්නෙ උපන් හපන්කමක්.

රටරටවල ගිහින් වැඩ පෙන්නලා ආව; අපේ ගායකයා මිරෝන් මේ දවස්වල නම් ඉන්නෙ ලංකාවේ. ඒ ලංකාවට ඇවිත් සිංදු කියන්න වගේ ම තමන්ගෙ රටේ රසිකයන්ට උසස් රසවින්දනයක් දෙන්න ඔහු දැකපු හීනෙ වෙනුවෙන්.

ඉතින් ඒ හීනෙ හැබෑවෙලා, මේ දවස්වල මිරෝන්ගෙ “අනාගතයේ මට ඉන්නට බැහැ තව” කියන ගීතය ලංකාවේ fm නාලිකාවල විකාශය වෙනවා.

 හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙන තියෙන මේ ගීතය පද රචනය කළේ අජිත් කුමාරතන්ත්‍රි. සංගීතවත් කළේ දුලිප් මිරැන්ඩෝ. මිරෝන් නම් කියන්නෙ එයා ආයෙමත් යුරෝපයට යන්නෙ තමන්ගෙ දෙවැනි ගීතයත් නිර්මාණය කළායින් පස්සෙ කියලයි. දැනටමත් ලංකාවේ ප්‍රසංග වේදිකාවල ගීත ගායනා කරන්න මිරෝන්ට ඇති තරම් ආරාධනා ලැබෙනවලු.

යුරෝපයේ පදිංචි වෙලා හිටියත් වරින් වර හරි ලංකාවට ඇවිත් ගීත නිර්මාණය කරන්නත් ඔහු අදහස් කරගෙන ඉන්නවලු.

Yත් එක්ක ගෙවුණු සොඳුරු අඩහෝරාවෙ දි, හලාවත ඉන්න එයාගේ සේරම යාළුවන්ව, සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන ගමනක් යන්න අතහිත දෙන අජිත් කුමාරතන්ත්‍රිව වගේ ම ත්‍රී සිනමා ෆිල්ම්ස් ආයතනයේ කාර්යය මණ්ඩලයේ සියලු දෙනාවමත් ආදරෙන් මතක් කරන්න මිරෝන් අමතක කළේ නෑ.

මේ ජීවිතේ දි අපිට ආදරේ කරන අය, අපි ආදරේ කරන අය දවසක අපිව දාලා යන්න යාවි. ඒ ගියාම තවත් අය අපිට ළං වේවි. ඒ අයත් යන්න යාවි.

ඒ වුණත් ජීවිතේ කවදාවත්; කවුරුවත් වෙනුවෙන් එක තැන නතර වෙන්නෙ නෑ. කවුරු අපිට ළං වුණත්, කවුරු අපෙන් ඈත් වුණත්; දවසක අපිට මේ ජීවිතේට සමුදෙන්න වෙන මොහොත එනකම් ම ජීවත් වෙන්න වෙනවා, අපේ හැකියාවන්, දුර්වලතාවයන්, ඉලක්ක, අරමුණු හැමදේමත් එක්ක. ඒ යථාර්ථය අවබෝධ කරගත්තු මිරෝන්ව ශ්‍රී ලාංකික ඔබ හදවතින් ම වැළඳගනීවි.

ප්‍රසංග වේදිකාවලට මිරෝන් සම්බන්ධ කරගන්න ඔබටත් අවශ්‍ය නම් මෙන්න මේ නොම්මරේ ඔබ සියලු දෙනා වෙනුවෙන් ම විවෘතයි.