අවවාදයට වඩා ආදර්ශය පට්ට

අවවාදයට වඩා ආදර්ශය පට්ට

න්නිවේදනය කියන්නේ මානව සමාජය ඇතිවූ දා සිට වර්ධනය වෙමින් පැමිණ අද දවස වන විට තාක්ෂණික වශයෙන් ඉතාමත් දියුණු වූ දෙයක්. මානව සමාජය සන්නිවේදනය නිසා දියුණු වන අතර මානව සමාජයේ දියුණුව හේතුවෙන් සන්නිවේදනය දියුණු වෙනවා.

මෙහි එක් ප්‍රතිඵලයක් තමයි ගෝලීයකරණය. ඒ කියන්නේ ලෝකය සන්නිවේදන තාක්ෂණය නිසා හැකිලීමේ ක්‍රියාවලිය. තව වසර දහයක් යන විට ලෝකය කෙතරම් වෙනස් වේදැයි අද දවසේ අනාවැකි කියන්න බැහැ.

 මක් නිසාද යත් ලෝකය තුළ අද දවසේ වර්ෂ දහයක් යනු අතීතයට සාපේක්ෂව වසර සීයක් වැනි කාලයක්. ඒ නිසා ඇනලොක්වලින් පටන් ගත්ත ජංගම දුරකථන දත්ත හුවමාරු වේගය අද වන විට ජී අකුරු පහකට වේගවත් වෙලා තියෙනවා, වසර කිහිපයක් ඇතුළත. මේ නිසා අනාගතය තුළ ඕනෑම දෙයක් විය හැකියි.

සංදේශයක් කියන්නේ සන්නිවේදන විෂය හදාරන විට පණිවිඩයට කියන තාක්ෂණික වචනය. ලෝකයේ සන්නිවේදන තාක්ෂණය කොතරම් දියුණු වූවත් පුද්ගලයෙක් සංදේශයක් බවට පරිවර්ථනය වීම තරම් ප්‍රබල සන්නිවේදනයක් තවත් නැහැ. “මහත්මා ගාන්ධි” කියන්නේ තමන් සංදේශයක් බවට පත්වෙමින් ඉන්දියාව වෙනස් කළ කුඩා මිනිසෙක්.

වචනවලට කරන්න බැරි ගොඩක් දේවල් ආදර්ශයට කරන්න පුළුවන්. අපිට තවමත් නැත්තේ මෙවැනි පරමාදර්ශී නායකත්වයක්. ඒ කියන්නේ වචනවලින් නැතිව ආදර්ශයෙන් සන්නිවේදනය කරන්න පුළුවන් නායකයින්.

සබර්මතී ආශ්‍රමයේ ඉඳලා හැත්ත අටක පමණ පිරිසක් එක්ක දින විසි හතරක් තිස්සේ කිලෝ මීටර් 390ක් මඟ ගෙවාගෙන දන්ඩි මුහුදු වෙරළට ගොස් ලුණු පිළිබඳ බිතාන්‍ය රජයට ඇති ඒකාධිකාරිය බිඳ දැමීම පිණිස ලුණු නිෂ්පාදනය කරමින් ලුණු බද්දට එරෙහිව ගොඩනැඟූ අවිහිංසාවාදී විරෝධය, ගිනි පුලිඟුවක් ලෙසින් නැඟ එමින් තිබූ බිතාන්‍ය විරෝධී ජනතා ක්‍රියාකාරීත්වය අවුලවනු ලැබුවා.

 ගාන්ධි අත්අඩංගුවට පත් වූ නමුදු ජනතාව දිගින් දිගට ම බිතාන්‍ය අණ නොතකා ලුණු නිපද වූ අතර අවසානයේ 80000 ක් පමණ සිරගත කරනු ලැබුව ද ජනතාව මුහුදු වෙරළේ ලුණු නිපදවීම නැවැත්විය නොහැකි වුණා. හිරේ ගිය ගාන්ධි ජනතාවට නායකත්වය දුන්නේ ආදර්ශයෙන්.

ආදර්ශය විසින් නායකයින් තනනු ලැබුවා. බිතාන්‍ය, ලුණු පිළිබඳ ඇති ඒකාධිකාරය අහෝසි කර ලුණු නිපදවා ගැනීමට ජනතාවට බලය ලබා දුන්නා.

පරමාදර්ශී මිනිසෙක් සහ මුහුදු වතුර පොල් කට්ටක් විසින් අධිරාජ්‍යයක් දණ ගැස්වූයේ ඒ අයුරිනි.

චරකය කරකවලා තමන් පරිහරණය කළ කර්දාර් නැමති සුවපහසු නොවන රෙදි තනිව වියා ගත් ගාන්ධි ජනතාවට සන්නිවේදනය කළේ බිතාන්‍යයේ කාර්මික විප්ලවයෙන් පසුව බිහිවූ රෙදිපිළි වෙළෙඳපොළ ඉන්දියාව ග්‍රහණය කර ගැනීමට සැබෑ උත්තරයක්. මේ ප්‍රතික්ෂේපය ජනතාව කොයි තරම් වැළඳ ගත්තාද කියනවා නම් බිතාන්‍ය රෙදිපිළි පාරවල ගිනි තියා ඉන්දියානු රෙදි භාවිත කිරීමට ඉදිරිපත් වුණා. ඒ තුළින් “ඉන්දියානුවෙක් වෙන්න.

ඉන්දියානු දේවල් මිලදී ගන්න” කියන සටන් පාඨය නිර්මාණය වූ අතර දේශීය දේ ඇගයීමටත් දේශීය දේ වෙනුවෙන් තම සැපපහසුව අතහැරීමටත් ජනතාව පුරුදු වුණා. ඒ විතරක් නෙවෙයි රබීන්ද්‍රනාත් තාගොර් තුමා වැනි අය සාහිත්‍යය සඳහා ලැබුණු නොබෙල් තෑග්ග පවා ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වීම; මෙම අදහස් කොතරම් දුරට මිනිසුන්ට සන්නිවේදනය වූවාද යන්නට ප්‍රබල සාක්ෂියක්.

ඉන්දියානු ජාතිකත්වය සහ ඉන්දියානු සරලත්වය අද පවා ලිබරල් වෙළඳපොළ හමුවේ ආරක්ෂා වෙන්නේ මේ නිසා.

ලෝකයේ අඩු ම පිරිවැයකින් නිෂ්පාදනය වන මොටර් රථ කියන්නේ ගාන්ධි චින්තනයේ දිගුවක්. සන්නිවේදනය කියන්නේ මිනිසුන් වෙනස් කිරීමකට. ගාන්ධි මේ වැඩේ ලස්සනට කළා. ඒ නිසා ම අදටත් ඉන්දියාවේ ගාන්ධි කියන්නේ පරමාදර්ශයක්.

බහුවාර්ගික, බහු ආගමික රාජ්‍යයක් වන ඉන්දියාව ලෝකයේ විවිධත්වයෙන් වැඩි ම රාජ්‍යයක් ලෙස සැලකෙනවා. ඉන්දියාව තුළ නායකත්වය කියන්නේ අභියෝගයක්. මේ අභියෝගය ජය අරගෙන නිදහස් ඉන්දියාවක් බිහි කරන්න, ගාන්ධි ගත් ක්‍රියාමාර්ග කොතරම් සාර්ථකද කියනවා නම්, බිතාන්‍යයෙන් නිදහස දිනාගන්න අවිහිංසාවාදී සත්‍යග්‍රහ ව්‍යාපාර සමත් වුණා වගේ ම සියලු ම ඉන්දියානුවන් එක අරමුණකට ගෙන එන්නත් ගාන්ධිට හැකි වුණා . උපතින් හින්දු භක්තිකයෙක් වුණත් ගාන්ධි උත්කර්ෂයට නැංවූයේ වාල්මීකී විසින් රචිත ඉන්දියානු පුරා වෘත්තයක් වන රාමායනයේ විස්තර කරන රාමා. ඒ නිසා සියලු ආගමික භේද නොසලකා ජනතාව එකතු කරන්න ගාන්ධිට හැකි වුණා.

ජාතික ව්‍යාපාරයක් අනිවාර්යයෙන් ම ඉතිහාසය මත ගොඩනැඟිය යුත්තක්. හැබැයි ඒ ඉතිහාසය තුළින් ජනතාව භේදභින්න වෙනවා නම් ජාතික ව්‍යාපාරය අසාර්ථකයි. ඒ නිසා කිසිඳු ආගමකට සම්බන්ධ නැති රාමා රජු කේන්ද්‍රකොට ගනිමින් ඉන්දියානු ජාතික ව්‍යාපාරය ගොඩනඟනවා.

මේ නිසා ජනතාවට ජාතිකත්වය හොඳින් සන්නිවේදනය කරන්න හැකි වෙනවා. රටක් සංවර්ධනය වගේ ම ජාතිකත්වය ගොඩනැඟීම, ජාතික අරමුණු කරා ජනතාව මෙහෙයවීම, බහු ආගමික ජාතික සමෝධානය ඇති කිරීම වගේ දේවල් සඳහා සන්නිවේදනය ඉතා වැදගත්.

මොකද සන්නිවේදනය තමයි මිනිස් පරිණාමයේ ප්‍රධාන ම බලවේගය. ඒ නිසා සන්නිවේදනය සාර්ථක වන තරමට ඒ සමාජය අරමුණු කරා ගෙන යන්න හැකි වෙනවා. හිට්ලර් තවමත් ලෝකයේ හොඳ සන්නිවේදකයෙක් ලෙස සැලකෙන්නේ මේ නිසා.

අරමුණ කුමක් වුවත් සමස්ත ජර්මනිය ම ඒ සඳහා පෙළ ගැස්සවීමට හිට්ලර්ගේ සන්නිවේදනය ප්‍රබල වුණා.

රටකට අරමුණු තිබිය යුතුයි.

නායකයින් මෙම අරමුණු ගොඩනැංවිය යුතු අතර ඒවා ජනතාවට සන්නිවේදනය කළ යුතුයි. සන්නිවේදනය ප්‍රබල වන තරමට ජනතාව ඒ වෙනුවෙන් සුදානම් වෙනු ඇත. ගාන්ධිගේ සන්නිවේදන චින්තනය මේ මොහොතේ අපට වැදගත් වන්නේ ඒ නිසාවෙනි.