අතීතය වී මම නතර වෙන්නැති බතී නුඹ අනාගතයට යන්නැති

අතීතය වී මම නතර වෙන්නැති බතී නුඹ අනාගතයට යන්නැති

 

මේ රාත්‍රිය බෙහෙවින් දිගු වනු ඇතැයි මට සිතෙනවා.

නිශ්චිත අරමුණක් නැතිව ගෙවෙන, හැඩයක් නැති,පාළු නිශ්චල රාත්‍රීන්ට මා කැමතියි. එවන් රාත්‍රීන්වලදී මට බොහෝ දේ සිහිපත් වෙනවා.

දිගු කලකට පෙර කියැවූ කවියක මට අමතකව තිබූ වචන පෙළක්.. නොසිතා බිණූ වදනක් නිසා උපන් සිනහවක මතකයක්.. මොහොතක් ආකාශයේ රැඳී සිට ඈතට පාව ගිය නමක් නැති වලාකුළක සේයාවක්...එබඳු මොහොතක මගේ සිතට නැගෙනවා.

කොහේ හෝ පාව යන සුළං රැල්ලක් වගේ සිතිවිලි හිතු හිතු අතට සංසරණය වෙනවා.

සිතිවිලි කොයි අතට පාව ගියත් එබඳු මොහොතක ජීවිතය සුන්දර යැයි මට හිතෙනවා..නන්දා මාලිනීගේ 'සැඳෑ කළුවර කුර ගගා විත්' ගීතය ඈත ලෝකයක සිට ඇසෙන්නාක් මෙන් මගේ සවනට ඇසෙනවා.

ඒ ගීතයේ වචන ඔස්සේ ගිහින් මගේ සිත නතර වන්නේ මාර්ටින් වික්‍රමසිංහගේ 'විරාගය' නවකතාව ළඟ.

මේ ගීතයේ වචන සහ විරාගය නවකතාව අතර සම්බන්ධයක් ඇත්දැයි මට සිතන්නට ඇවැසි නැහැ.. නිශ්චිත හැඩයක් නැති රාත්‍රියක එහෙම සමාන්තර රේඛා දිගේ සිතිවිලි ගමන් කරන්නේ නැහැ..

විරාගයේ අරවින්ද බොහෝ දෙනෙකුට පරාජිතයෙකු විය හැකියි.

එහෙත් අරවින්ද වැනි පරාජිතයෙකු ලෝකයේ ජීවත් වන හැම මිනිසෙකුගේම ඇතුළු හද තුළ ජීවත් වෙනවා.

පාළු රාත්‍රියක හුදෙකලාවට ප්‍රේම කරන්නේත්, දෙනෝදාහක් දෙනා මැද සිටියදී සිටියදී පවා තනිකම අත්විඳින්නේත් අප තුළ ජීවත් වන අරවින්ද වැනි මිනිසායි..දවස තිස්සේ අප පැළඳ සිටින වෙස් මුහුණු ගලවා, රාත්‍රී අන්ධකාරය සමග නිදි යහනට වැදී, ගැඹුරු හුස්මක් හෙළා නෙත් පියා ගත් මොහොතේ හදවතේ නිදා සිටින අරවින්ද අවදි වෙනවා..

අරවින්දත් සමගම ජීවිතයේ නොයෙක් අහුමුළු වල සැඟවී නිද්‍රෝපගතව සිටින සරෝජිනීලා සහ බතීලාත් එවිට කාලය සහ අවකාශය දිගේ විත් වර්තමානයට එබිකම් කරන්නට පටන් ගන්නවා.

මෙයට වසර ගණනකට ඉහත විරාගය යළි කියවන මොහොතක මගේ අතින් කවියක් ලියවුණා.

කාලය විරාගයේ අරවින්ද පසුකොට බොහෝ දුර ගමන් කොට තිබුණත් ඒ කවියේ සෑම වචනයක්ම මට තවමත් මතකයි..

විරාගය සහ අරවින්ද මගේ සිත තුළ ජීවත් වන තාක්කල් ඒ කවියත් හදවතේ කොතැන හෝ ජීවත් වනු ඇති බව මට ස්ථිරයි..කවියේ සිරස්තලය "බතීට"...

 

 

 

"බොහෝ දුර සිට පැමිණෙන

විරාගික මද සුළඟට

මලානික තුරු පත් වුව

සලා ඇස් හිනැහෙන්නැති

බතී නුඹ

මේ ලෙස බලා ඉන්නැති...

සිතුවිලි නිබඳ ලඹ දෙන

කුටියක නිනඳ තනිකම

කොපුලත ගලන කඳුළක

හැඩපලු ගොතන්නැති

බතී නුඹ

ඒ කඳුළ නොදකින්නැති...

සීතලෙන් ගුලි වන රැය

මායමෙන් හිනැහෙන විට

වාසගම් නැති කවියට

පේළියක් මුසුවෙන්නැති

බතී එය

නුඹට නම් නොහැඟෙන්නැති..

සරැලි කෙහෙරැලි පිරිමැද

නලමුදුව එන සිහිනය

කල්පනා දිය රළ යට

සදාකල් සැඟවෙන්නැති

බතී නුඹ

ඒ සිහින නොදකින්නැති...

අතීතය

වී මම නතර වෙන්නැති

බතී නුඹ

අනාගතයට යන්නැති..."