මුද්‍රණ ආයතනයෙන් තරුණ ඔයාලට රස්සා රොත්තක්

මුද්‍රණ ආයතනයෙන් තරුණ ඔයාලට රස්සා රොත්තක්

රි වයසෙ දි හිතට හරියන රස්සාවක් හොයාගන්න අපි මොනතරම් නම් වද වෙනවද? රස්තියාදු වෙනවද? කීදෙනක් ළඟ දණින් වැටෙනවද? කීදෙනෙක්ගෙ පස්සෙන් යනවද? එක ම එක තත්පරයක් නැවතිල්ලෙ හිතලා බලමුද එහෙම වෙන්නෙ ඇයි කියලා.

 රස්සාවල් හොයාගෙන යන ගොඩදෙනෙක් ළඟ තියෙන්නෙ සහතික රොත්තක් විතරයි.

දෙයක් ප්‍රායෝගිකව කරලා පෙන්නන්න වුණා ම අපහසුතාවට පත්වෙනවා. ඒකට හේතුව වෘත්තීය නිපුණතාවක් නැතිකම.

අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට කරලා පෙන්නන්න බැරි නම් ප්‍රායෝගිකව, කිසියම් විෂයක් සම්බන්ධව ඔබ ලබා ඇති සහතික නිකම් ම නිකම් කොළ කෑලි ටිකක් විතරයි.

ඒ නිසා රස්සාවක් හොයන් යද්දි වැදගත් ම දේ තමයි, වෘත්තීය නිපුණතාවක් ඇති කරගැනීම. අද අපි කියන්න යන්නෙ ඔබට වෘත්තීය පුහුණුවකුත් දීලා... ඒ එක්ක ම රැකියාවකුත් ලබා දෙන්න පුළුවන් විදිහෙ ආයතනයක් ගැනයි.

ඒ තමයි ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය.

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මේ ආයතනය ශ්‍රී ලංකාවේ මුද්‍රණ හා ග්‍රැෆික් ක්ෂේත්‍රයේ දැනුම, හැකියාව, විශේෂඥ ඥානය වර්ධනය කිරීමට සම්පූර්ණයෙන් ම කැප වුණු ආයතනයක්.

 මුද්‍රණ හා ග්‍රැෆික් කර්මාන්තයේ සියලු මූලිකාංග සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ දශක දෙකකට වඩා වැඩි පළපුරුද්දක්.

 මේ ක්ෂේත්‍රයේ සෑම පැතිකඩක් ම ආවරණය වන විදිහට සැකසූ, ප්‍රමිතියෙන් යුතු පාඨමාලාවන් රැසක් මෙහිදී ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි.

 එමෙන් ම අංග සම්පූර්ණ පරිගණක අංශයක්, යන්ත්‍රෝපකරණ වගේ ම පළපුරුදු උපදේශකයින් හා කථිකාචාර්යවරුන් මෙම ආයතනය සතුයි. අදාළ විෂයන්ට සම්බන්ධ පොතපතින් සමන්විත විශාල පුස්තකාලය සිසුන්ගේ දැනුම් පරාසය පුළුල් කරන අතර අධ්‍යයන කටයුතු ද පහසු කරයි.

 දැනට ලංකාවේ මුද්‍රණ ක්ෂේත්‍රයේ ඇති උසස් සහතිකය සහ සුදුසුකම ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ මුද්‍රණ ක්ෂේත්‍රය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව බවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ. වැදගත් ම කාරණය තමයි මේ ආයතනයේ පාඨමාලා හදාරා අවසන් වන සිසුන්ව ක්ෂේත්‍රයට අදාළව දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආයතනයන්හි රැකියාවන්ට යොමු කිරීම.

ඔබත් O/L, A/L ඉවර කරලා ගෙදරට වෙලා ඉන්නවා නම්, එහෙමත් නැත්නම් රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්... මේ වගේ ආයතනයක ඔබට ගැලපෙන පාඨමාලාවක් කරන එක නම් අනාගතය වෙනුවෙන් කරන හොඳ ආයෝජනයක් වේවි.

මොකද රජයේ ආයතන බොහොමයක සේවක පුරප්පාඩු ඇති වුණාම ට්‍රේනීස්ලා ඉල්ලන්නෙ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතයෙන්. ඉතින් ඔබ ඔබේ හැකියාව හදාගන්න කොට... අවස්ථාවක් එනකම් ඔබ බලන් ඉන්නවා වෙනුවට අවස්ථාව ඔබ එනකම් මඟ බලාගෙන ඉන්නවා.

ටයිප් සෙටින්ග්ස්, ග්‍රැෆික් ඩිසයින් ඇරුණම පිරිමි ළමයෙක් නම් ලිතෝ මැෂින් ඔපරේටර් වගේ කෝස් එකක් කළොත් ඉහළ වැටුපක් එක්ක හොඳ රැකියාවක් ලබාගන්න පුළුවන්. මේ ආයතනයේ ඒ පාඨමාලාව කරන්න ඔබට තියෙන්න ඕන එක ම සුදුසුකම වයස අවු: 18ට වැඩි වෙන එක විතරයි. O/L,A/L පාස්ද ෆේල්ද කියන එක නම් අදාළ ම නෑ.

ඕෆ්සෙට් ලිතෝ මැෂින් කෝස් එකකට O/L ෆේල් ළමයෙක් ඇතුළත් වුණාම මාස දෙකක් කෝස් එක කරනකොට තුන්වෙනි මාසෙ ඉඳන් පෞද්ගලික අංශයේ රැකියාවක් ලැබෙනවා ගෙදරට කිට්ටු තැනකින්, පුහුණුවක් විදිහට. එතන අවුරුද්දක් ඉන්නකොට NVQ Level 3 සහතිකයක් ලැබෙනවා.

මහින්ද සමරසිංහ ඇමතිතුමා NVQ Level 3 සහතිකය O/L පාස් කියන තත්ත්වයට සමාන බවට පත්කළ බව ඔබ දන්නවා ඇති. තවත් අවුරුද්දක් යනකොට NVQ Level 4වලට එනවා. ඒ කියන්නෙ A/L පාස් හා සමානයි (මුද්‍රණ ක්ෂේත්‍රයට අදාළ රැකියාවකදි) ඉතින් මේ විදිහට පියවරෙන් පියවර තියලා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යනකම් ම ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය තමන්ගේ සිසුන්ට පාර කපලා දෙනවයි කියන එකත් හොඳට මතක තියාගන්න.

දෙමව්පියන්ට කියන්න තියෙන්නෙ, ගිහින් බලන්න ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය කියන්නෙ මොන වගේ තැනක්ද? එතන ඔබේ දරුවන්ට මොන වගේ අවස්ථාවන්ද තියෙන්නෙ කියලා. මොකද මේ වගේ ආයතනයක් ගැන වැඩිපුර ම දැනුම්වත් වෙන්න ඕන දෙමව්පියන්.

තමන්ගෙ දරුවා එක දිගට ලස්සනට විභාග ටික ෆේල් වුණාම “පුතේ උඹට නම් කවදාවත් ඉගෙන ගන්න බෑ” කියලා දරුවට අයාලෙ යන්න අරින්නෙ නැතුව, ත්‍රී විල් එකක් අරන් දීලා ඒක හයර් කරන්න යවන්නෙ නැතුව, ගමේ අතනමෙතන කුලියක්මලියක් කරගෙන ජීවත්වෙන්න අරින්නෙ නැතුව දරුවගෙ අනාගතේ ගැන හිතලා හොඳට හොයලා බැලුවොත් මේ වගේ විකල්ප අවස්ථාවන් ඕනතරම් හම්බවෙයි. ජීවිතේට එක පාරක් වැහෙනකොට තවත් පාරවල් කිහිපයක් ඇරෙනවා කියන එක බොරුවක් නෙවෙයි.

තව දෙයක් තියෙනවා විශේෂයෙන් මතක් කරන්න ඕන. අප්‍රේල් 09 වන ඉරිදා පෙ.ව. 8.30 සිට සවස 2.30 දක්වා ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය මඟින් ග්‍රැෆික් ඩිසයින් තාක්ෂණය සහ මල්ටිමීඩියා තාක්ෂණය පිළිබඳ නොමිලයේ සම්මන්ත්‍රණයක් පවත්වනවා. ඔන්න වරද්දන්නෙ නැතුව යන්න.

පහත දුරකතන අංකවලට ඉක්මනින් අමතලා ආසනයක් වෙන්කරගන්න අමතක කරන්න එපා. එය ඔබට අනගි අවස්ථාවක් වේවි.

වැඩි විස්තර : Hotline : 0112686162/0112679791
E-mail : [email protected]
Web : www.sliop.edu.lk

විශේෂ ස්තූතිය
සිසිර බරණගේ (ප්‍රධාන විධායක නිලධාරී)
ඉන්ද්‍රකුමාර් හීනටිගල (අධ්‍යක්ෂක අධ්‍යයන)