කට්ට කාලා ජීවිතේ ගොඩගිය  ජයන්ති

කට්ට කාලා ජීවිතේ ගොඩගිය  ජයන්ති

මේ ජීවිත ගමනත් හරියට දුෂ්කර ම දුෂ්කර කඳු තරණයක් වගේ.

සමහරු අතරමඟ නවතිනවා. තවත් සමහරු මඟදි පය ලිස්සලා වැටෙනවා.

සමහරුන්ට අතදෙන්න අය ඉන්නවා. තවත් සමහරුන්ට ඉන්නෙ කකුලෙන් අදින අය... ඒ වුණත් නියම දක්ෂයා මේ හැම බාධකයක් ම පහු කරගෙන ගිහිල්ලා, අන්තිමේදි කන්ද මුදුනෙ කොඩිය ගහලා ම තමයි පස්ස බලන්නෙ.

2016 මැයි 21 වෙනිදා එවරස්ට් කන්දෙ මුදුනට ම නැගලා මේ පුංචි ලංකාවෙ නම බබළවපු ජයන්ති කුරුඋතුම්පාල කියන්නෙත් අන්න ඒ වගේ චරිතයක්.

ලුණුඇඹුල් පදමට දාලා කටට රහට කෑම උයන්න, තාලෙට දරු නැලවිලි කියලා... පුංචි පැටවු උකුළෙ තියන් නලවන්න, මල් වවන්න, මැහුම් ගෙතුම් කරන්න ඇරුනම ගෑනියෙක්ට ඕනකම තියෙනවා නම් තව හුඟක් දේවල් කරන්න පුළුවන් කියන එක ජයන්ති ක්‍රියාවෙන් ම පෙන්නලා ඉවරයි.

කොළඹ බිෂොප් විදුහලෙන් ඉගෙනගත්තු ජයන්තිට මේ වෙද්දි වයස අවු: 37යි. පදිංචි වෙලා ඉන්නෙ දෙහිවල.

 ඒ, අම්මයි අයියයි එක්ක. තාත්තා මියගිහින් තියෙන්නෙ මීට අවුරුදු දෙකකට කලින්. රැකියාව කරන්නෙ, කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධව. කඳු නගින්නෙ විනෝදෙට.

“පොඩි කාලෙ ඉඳන් මං හරි ආසයි ගස් නගින්න. වත්තෙපිටියෙ එක ගහක්වත් අතාරින්නෙ නෑ. මං පොල් ගසුත් නගිනවා. අපේ තාත්තා දැක්කම කවදාවත් මට බැනලා මාව ගෙට දැම්මෙ නෑ. වැටෙන්නෙ නැතිව නගින හැටි කියලා දුන්නා.

ඒ වගේ ම මගේ අම්මා තාත්තා මට ප්‍රෙෂර් එකක් දුන්නෙ නෑ, පන්තියෙ පළවෙනියා දෙවෙනියා වෙන්න කියලා. මං හැම විෂයකට ම ලකුණු 50ට වැඩියෙන් ගන්නවා නම් එයාලට ඒ ඇති. දැන් කාලෙ ළමයින්ව වගේ ටියුෂන් පන්ති බර ගානකට යැව්වෙත් නෑ. මට ඉතින් ක්‍රීඩා කරන්නත් වෙලාව තිබුණා. මං ටෙනිස් කැප්ටන් හිටියා ඉස්කොලෙ. තව ගොඩක් ස්පෝට්ස් කළා.

එවරස්ට් නගින එක මට පුංචි කාලෙ ඉඳලා ම තිබුණ හීනයක්. අනේ මන්දා කොහොම ඒ ආසාව ඇති වුණාද කියන්න. කොහොමත් මම කඳු නගින්න කැමතියි. යන යන තැන පුළුවන් තරම් කඳු නැග්ගා.

කාන්තාවක් විදිහට මේ කරපු දේ ගැන මට හුඟක් සතුටුයි. මූණට ම නොකිව්වට හුඟදෙනෙක් හිතුවෙ මට මේක කරන්න බැරිවෙයි කියලා. මං හුඟක් මිටියි. මගේ ඇගේ තරම දැක්කමත් හුඟක් අය හිතුවෙ මට බැරිවෙයි කියලාමයි.

මං 2003දි ඉන්දියාවෙ මාසයක පුහුණුවක් කළා, “හිමාලයන් මවුන්ටර් නියරින් ඉන්ස්ටිටියුට්” එකේ. ඒක කඳු නගින්න පුරුදු කරන පාසලක්. ඒ පුහුණුව ඉවර වෙද්දි අඩි 17000ක කන්දක් නගින්න ඕන අපි. ඒ තමයි මගේ පළවෙනි අවස්ථාව ඒ තරම් උස කන්දක් නැගපු. පස්සෙ මම මාසෙක ඇඩ්වාන්ස් කෝස් එකක් කළා 2004දි. ඒ පුහුණු ඉවරවෙද්දි අඩි19000ක කන්දක් නැග්ගා.

මට මගෙ ගමන් සගයා, යොහාන් පීරිස් මුණගැහුණෙ මීට අවුරුදු පහකට කලින්. 2012 අපි අයිලන්ඩ් පීක් කියන කන්ද නගිනකොට තමයි මං එයාගෙන් ඇහුවෙ “මට එවරස්ට් කන්ද නගින්න ඕන ඔයා එනවද?” කියලා. එයත් ඒකට කැමති වුණා. 2014දි අපි කිලිමන්ජාරො කියලා කන්දක් නැග්ගා. ඒ තමයි අප්‍රිකාවේ උස ම කන්ද.

එවරස්ට් නගින්න කලින් අපි හොඳට පුහුණු වුණා. කොහොමත් මේ වගේ දෙයක් පුහුණුවක් නැතුව කරනවා නම් ඒක ගොන්කමක්.

මවුන්ටර්නියරින් කම්පැනි තියෙනවා. මේ වගේ වැඩකට යන්න ඕන එහෙම කම්පැනි එකක් එක්කයි. අපි එයාලගෙ ගාස්තුව ගෙව්වම කෑම, නවාතැන්, ගයිඩ්ලා, ඩොක්ටර් කෙනෙකුත් එක්ක හැම පහසුකමක් ම එයාලාගෙන් ලැබෙනවා.

එවරස්ට් නගිනවට නේපාල රජයෙනුත් එක්කෙනෙක්ගෙන් ඩොලර් 11000ක් විතර අයකරනවා. මුදල් හොයාගන්න එක ටිකක් අමාරු වැඩක් වුණා. සමහරු හිතුවා, අපි නගින එකක් නෑ කියලා. ස්පොන්සර් කරන්න එහෙම වැඩිය කට්ටිය ඉදිරිපත් වුණේ නෑ. රජයෙන් උදව් කළා. අන්තිමේ දි අපිට ස්පොන්සර්ස්ලා ලැබුණා. හැබැයි ඉතින් එහෙම අය හොයන එකත් ලොකු කන්දක් නගිනවා වගේ අමාරු වැඩක්.

මේ වගේ දේකදි ශාරීරික ශක්තිය වගේ ම මානසික ශක්තියක් ගොඩක් වැදගත්. කන්ද උඩට ම යනකොට උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 60ක් විතර වෙනවා. දරාගන්න බැරි තරම් සීතලක්. ඔක්සිජන් අඩුවෙනවා. හුස්ම ගන්න හුඟක් අමාරුවෙනවා.

අවශ්‍ය ඇඳුම්පැළඳුම් වගේ ම හැමදේම නූලටරූලට ලෑස්ති කරගෙන යන්න ඕන. ඇස්වලට දාගෙන ඉන්න ගොගල්ස් ගැලෙව්වොත් ඇස් අන්ධ වෙන්න පුළුවන් සීතලට. අත් ග්ලවුස් ගැලෙව්වොත් ඇඟිලිවල නහර මැරිලා ඇගිලි කපන්න වෙනවා. කන්ද උඩට නැග්ගම අපි ඉන්නෙ වළාකුළුවලටත් උඩින්. පුංචි ම පුංචි මිස්ටේක් එකකින් මුළු ජීවිතේ ම නතර වෙන්නත් පුළුවන්.

කාට වුණත් එවරස්ට් නගින්න මාස දෙකක්වත් යනවා. අපිත් එක්ක එවරස්ට් නගිද්දි අන්තිම දවස් දෙක තුනේදි 7දෙනෙක් මැරුණා. සෙල්ලමක් නෙවෙයි මේක. හරි ම පරිසමෙන් කරන්න ඕන.

අවාසනාවකට මගේ ක්ලයිම්බින් පාට්නර්ට කන්ද මුදුනට නගින්න බැරි වුණා. කඳු මුදුනට මීටර් 450ක් දුර තියෙද්දි එයාගේ ඔක්සිජන් සිලින්ඩරේ ප්‍රශ්නයක් වෙලා ආයෙමත් බහින්න වුණා.

ලංකාවට ආවට පස්සෙ අද දෙරණ “ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර්” සම්මානෙත් මට ලැබුණා. ආසියාවෙ උස ම කන්ද නම් නැග්ගා. ඊළඟට හිතන් ඉන්නෙ තවත් මහද්වීපෙක උස ම කන්ද නගින්නයි.

හැමෝම කියන්නෙ මම එවරස්ට් තරණය කළ පළමු ලාංකික කාන්තාව කියලා. ඒ වුණත් මම කැමතියි, මං එවරස්ට් තරණය කළ පළමු ලාංකිකයා කියනවට. අරම කිවවම ඕන කෙනෙක් හිතන්නෙ කලින් කවුරු හරි පිරිමි කෙනෙක් නැගලා තියෙනවා කියලා. ඒත් නෑ. මම තමයි පළවෙනියා.”