අරුමැසි ලෝකෙක සුන්දර විඳින්න නිදි නැති කොළඹට අද රෑ වඩින්න

අරුමැසි ලෝකෙක සුන්දර විඳින්න නිදි නැති කොළඹට අද රෑ වඩින්න

මතකනේ ගිය සතියේ අපි නතර වුණේ ගුණසිංහපුර නාන ළිඳ ළඟට ගිය කතාවත් එක්කයි. ඒ අපූරු අත්දැකීමත් එක්ක අපේ නඩේ හැරුණේ කොළඹ වරාය පැත්තට. ඒ වෙනකොටත් අපිව අරගෙන යන්න බස්රියක් ලෑස්තිවෙලයි තිබුණෙ. දැන් වෙලාව 11.00ට විතර ඇති. අපේ පුංචි බඩගින්න නිවන්න එක්කෙනා දෙන්නා බෑග්වලින් ඇදලා ගත්ත පොඩිපොඩි බිස්කට් පැකට්වලට හැකිවුණා.

අපි අරගෙන ගිය බස්රථයේ ඉඳන් වටපිට රාත්‍රී සිරියාව නරඹමින් ආපු මට කොටුව දුම්රියපොළ ඉදිරිපිට දර්ශනය නම් කවදාවත් අමතක වෙන එකක් නෑ. තැන තැන මිනිසුන් පත්තර කඩදහි එළාගෙන, බෑග් තමන්ගෙ කොට්ට කරගෙන පේමන්ට් එකේ නිදාගෙන හිටියේ හරියට යාචකයන් පිරිසක් වගේ. ඒත් ඒ යාචකයන් නෙවෙයි. දුරඈත තමන්ගේ ගමට යන්න තිබුණ එක ම බස් එක මඟඇරුණ මඟීන් හෙට පාන්දර වෙනකම් ඒ වගේ පුංචි නින්දකට වැටිලා හිටියේ, මුළු දවසෙ ම ගෙවපු කටුක වෙහෙසකර ජීවන පොරයෙන් හෙම්බත් වෙලා වගෙයි.

ඒ නිදන් ඉන්න මිනිසුන්ගේ සබ්බ සකලමනාව ම හූරගෙන යන්න හිතාගෙන තැන තැන මංකොල්ලකාරයෙක් කැරකුණේ තවත් කුසගිනි පිරිච්ච බඩවල් ටිකක් පුරවන්න, වෙන කරන්න දෙයක් නැති නිසා වෙන්න ඇති. ඒත් අසරණයෙක්ගේ සේසත ම හොරාගෙන තමන්ගෙ පැටවුන්ගේ බඩවල් පුරවන ඒ ගැටකපන මිනිසාට ඒත්තු යනවා නම්, ඒ ගන්න සල්ලිවලින් පුරවන බඩවල් වගේ ම තවත් බඩවල් ගණනක් සමහරවිට මාසයක් පුරා බඩගින්නේ අඳෝනා තියන තැනකට පත්වෙනවා කියලා තමන් කරන ඒ දෙයින්... මට හිතුණෙ එහෙමයි.

ඒ වගේ ම කිටිකිටියේ හිරවෙච්ච සාය කෑල්ලක් ඇඳගෙන මත් රාගික දෙනෙතින් කාවහරි බිල්ලට ගන්න කැරකෙන අභිසරුලියන් කිහිපපොළකුත් ඒ අතර ලොකු කසුකුසුවක.

“මේ මහත්තයා, සල්ලි නැත්තං යනවා ඕයි යන්න. ආවා මෙතන ගනන් අහන්න. තමුසෙ දැන් කීදෙනෙක්ගෙන් ගනං අහ අහ කැරකෙනවද? සල්ලි දීලා කරගන්න එකක් කරගෙන යනවා ඕයි. නිකං අතපත ගගා ගනන් අහන්නේ බොරුවට. අපිත් මැරිලයි මෙතන ඉන්නෙ. තමුසෙලට ආතල් දෙන්න නෙවෙයි. දන්සල් නෑ හරිද? තමුසෙ හිතුවද ණයට රෙද්ද උස්සන උන් මෙතන ඉන්නවා කියලා.අපිට පව් නොදී පලයන් ඩෝ යන්න.”

එක් අභිසරු ලියක් මැදිවියේ මිනිසකුට මහ හයියෙන් බැන වදින අයුරු දැක්කේ බස් රිය කොටුව දුම්රියපළ පසු කරගෙන ගොස් මඳකට නතර වුණ වෙලාවෙදියි. කොළඹ ජීවිත හරි ම පුදුමාකාරයි. දවල්ට දකින ලෝකයට වඩා හාත්පස වෙනස් ලෝකයක් තමයි කොළඹ රෑට දකින්න තියෙන්නෙ. වෙරිමතින් කාටදෝ අමුතිත්ත කුණුහරුපෙන් බැණවදින මිනිසෙක් අපි දිහාවට වැනි වැනී එනකොට අපේ බස්රිය එතැනින් නික්ම ගියේ කොළඹ වරාය පැත්තට.

කොළඹ නිදිසුව ලබමින් ඉන්නකොට, දවල්ට වගේ ම එක සීරුවට වැඩකරමින් කලබලව තිබුණ ප්‍රධානතම තැන තමයි කොළඹ ජැටිය. නැව් අංගනයට බඩු කන්ටේනර් පටවමින් සහ බාමින් ලහි ලහියේ වැඩ කරන කොළඹ වරායේ මිනිසුන් අපි දිහා බලලා පුංචි හිනාවකින් සංග්‍රහ කරලා ආයෙමත් ඒ අය කරන වැඩේට අවධානය යොමු කළා.

නැව්වල ආලෝක බුබුළු ජැටියට ගෙනාවේ අපූරු සුන්දරත්වයක්. දොඹකර අස්සෙන් අපි යද්දි හරියට මට දැනුනෙ යෝධ නගරයක් මැද්දෙන් යන ලිලිපුට්ටෙක්ට දැනෙනවා හා සමාන හැඟීමක්. රාත්‍රියේ ජලතලය වරාය ජැටියේ වැදෙමින් නැඟුණ ඒකාකාරී ගුමුගුමුව වගේ ම ජැටියේ තිබුණ ලයිට් හවුසියේ එන ආලෝක කදම්භයත් මේ රාත්‍රියට ගෙන ආවේ නැවුම් බවක්.

කොළඹ වරායේ රෝන්දේ ගහපු අපේ ඇත්තන්ට කැමරා කාචයන්ට විවේකයක් දෙන්නට බැරිතරමට ඡායාරූප අංශක නිර්මාණය කරලා තිබුණා. පැය කිහිපයක් එතන අපි ගත කරද්දි පුංචි මල්වැස්සකුත් කඩාහැලුණේ හිතට පුංචි චකිතයක් ඇති කරමින්. ඒ වැස්ස වැඩි වුණොත් අපේ ගමන සම්පූර්ණයෙන් ම ඇණහිටිනවා. ඒත් ස්වාභාවධර්මයා අපිට ඒ තරම් අකාරුණික වුණේ නෑ. විනාඩි කිහිපයකින් ඒ පුංචි වැස්ස නැවතුණා.

ඉන්පස්සේ අපි ගියේ කයිමන් දොරකොඩ පැත්තට. එතන තිබුණ ස්මාරකය අභියස අපි හැමෝම සමූහ ඡායාරූපයකට පෙනී හිටියේ දවල්ට එක ම ගාලගෝට්ටියක් වන කයිමන් දොරකොඩ රාත්‍රියේ දී තපස්දම් රකින අපූරුව සියැසින් දැකගනිමින්.

ජනපති මන්දිරය අවටත් තිබුණේ ඒ වගේ ම නිසංසල බවක්. ඒ අවට සැරිසරපු අපි ලන්දේසි රෝහල හරහා ආවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අභියසට. විදුලි ආලෝකයෙන්, යුරෝපයේ මාවතක සිරිගත් ඒ අවට අපි බොහෝ වේලාවක් සතුටු සාමිචියේ යෙදෙමින් හිටියා.

ඒ වෙලාවේ නම් බඩේ පණුවෝ තරගෙට බොක්සින් ගහනවා වගේ දැනුනේ මට විතරක් ම නෙවෙයි. බඩගින්න වැඩිකමට අපි ඊළඟට ගියේ ගොල්ෆේස් එකේ නානගේ කඩේට. ඒත් මුළු ගෝල්ෆේස් පිටිය ම ඒ වෙනකොට අඳුරුවෙලයි තිබුණෙ. ඒ මදිවට නානාත් කඩේ හෝදන ගමන්. කන්න කියලා වඩයක්වත් තිබුණෙ නෑ.

ඉතින් අපි කළේ කන්න කඩයක් හොයන් ගාලුපාරේ රෝන්දේ ගහපු එක. කිසිම කඩයක් තිබුණෙ නෑ, ගාලුපාරේ ඇරලා. බඩගින්නත් දැන් හොඳට ම වැඩියි. ඉතින් ඔහොම යනකොට බම්බලපිටියේ පිලාහවුස් එක ඇරලා තිබුණේ දෙවියෙක් වගේ. එතනින් බඩකට පිරෙන්න කාපු අපි ඊළඟට ගියේ නිදහස් චතුරස්‍රය දිහාවට. එතන නම් පින්තූරයක් ගන්න තරම් අවස්ථාවක් අපේ ඡායාරූප ශිල්පීන්ට උදා වුණේ නෑ. මොකද නිදහස් චතුරස්‍රය අවට තිබුණේ දැඩි අන්ධකාරයක්. නිදහසේ සංඛේතය අවට ඒ විදිහට අඳුරේ ගිලී තියෙද්දී අපි හෙමි හෙමිහිට ඇඳුණෙ ආකේඩ් භූමියට. ඒ හරියෙත් හිතුව තරම් ආලෝකයත් තිබුණෙ නැත්තේ විදුලි පහන් කණු රැසක් ඒ වන විටත් වහලා තිබුණ නිසයි.

රට විදුලි අර්බුදයකට මුහුණ පෑමේ තර්ජනයක් තියෙන වෙලාවක නිකරුණේ රාත්‍රී කාලයේ විදුලි පහන් දල්වා තිබීම අපරාධයක් හා සමානයි. ඉතින් ඒ නිසා නගර සභාව ප්‍රමුඛ බලධාරීන් ඒ වගේ පියවරක් අරගෙන තියෙන්න ඇති. අපට හිතුනෙ එහෙමයි. බොරැල්ල කනත්තට අපි යනකොට වටපිටාවෙන් උදාහිරු කිරණ පතිතවෙමින් තිබුණා.

ජීවිත අරගලයේ නොනවතින සටනක යෙදිලා දැන් සමාදානයේ සැතපිලා සිටින ඒ මිනිසුන්ගේ ඒ දැහැන නොබිඳෙන්නට මෙන් අපි හැමෝම නිහඬව ම ඒ නිශ්චලත්වයේ සුවය විඳගන්න බොහෝ වේලාවක් එතැන වාඩි වී ගිමන් හරිමින් සිටියා.

මේ විදිහට මුළු රැයක් කොළඹ වීදිවල ඇවිදිමින් නිදිනැති කොළඹ තිබුණ අපූරුව විඳිමින් ගෙවූ ඒ හෝරා කිහිපය අපේ ජීවිතවලට ගෙනාවේ අපූරු ම අත්දැකීමක්. නැවුම් බවක්.

ආයෙමත් අපි ගමන අරඹපු පිටකොටුවේ පාවෙන වෙළඳ සංකීර්ණය දිහාවට එද්දී මිනිසුන් උදෑසන ලහි ලහියේ වැඩ අරඹමින් සිටින අයුරු අපට දැකගන්නට ලැබුණා. මෙච්චර වෙලා සාමකාමීව දැහැන්ගතව සිටි කොළඹ ආයෙමත් කලබල වෙලා. පාවෙන වෙළඳ සංකීර්ණය අභියස එළවළු මාර්කට් එකට බඩු විකුණන්න වගේ ම බඩු ගන්න උදෙන් ම ආපු උදවියගේ හඬින් පරිසරය ම කලබලකාරී බවක් ඉසිලුවා.

අපිත් එක්ක ආපු අයත් එළවළු මල්ලක් අරන් යන්න කියලා පොළ පැත්තේ පුංචි රවුමක් ගහද්දි මමත් තවත් කිහිප දෙනෙකුත් බංකුවක් උඩ වාඩිවෙලා හිරු උදාවේ චමත්කාරය විඳිමින් දොඩමළු වුණා.

ආයෙමත් ඉරගින්නත් එක්ක ගිනියමින් කලබල වෙන කොළඹ තව පැය කිහිපයකින් සඳ සිසිලසින් සිසිල් ශාන්ත ස්වරූපයට පත්ව දැහැන්ගත වෙනවා. මේ අපූරු බව එක ම කාසියක දෙපැත්තක් වගේ, උදේ රෑ නොවෙනස්ව පවතිනවා. එහෙත් එහි පොරබදින අපි දවසින් දවස වෙනස්වෙනවා. එක කලක රජයන පිරිසක් තවත් කලෙක නැතිවෙලා, වෙන පිරිසක් ඒ තැන ගන්නවා. එත් කොළඹ තව දුරටත් තමාගේ ගමන යනවා. කොළඹ මේ වෙනස උපේක්ෂා සහගතව බලා සිටින්නේ අවුරුදු ගණනක ඉඳන්. ඒත් අපි තවමත් ජීවිත ගින්න නිවාගන්න මහා යුද්දෙක අදටත් කොළඹ පොළවේ සටන්වදිනවා. ඉතින් එහෙනම් ඒ කලබල කොළඹින් නික්මෙන්නට දැන් අපිට කාලය උදාවෙලා. පෙර දින සැන්දෑවේ හමු වූ තැනින් ම අද අපි එකිනෙකා වැළඳගෙන සමුගත්තා. ඒත් ඒ සමුගැන්මක් නෙවෙයි. පුංචි විරාමයක් පමණයි. ආයෙමත් අපි මේ වගේ ම අපූරු ගමනකදි හමුවෙනවා.

ඉතින් අපිත් එක්ක මේ වගේ අපූරු අත්දැකීමක් විඳින්න කැමති ඔයාලට අපි ආරාධනා කරනවා,අපිත් එක්ක යන්න එන්න කියලා. එටනල් ට්‍රැවලර්ස්, මෙගාහයික් සමූහයන් එක්ක එකතු වෙලා දිy by Road කණ්ඩායම කැළෑවකදි, කඳු පල්ලමකදි, දිය ඇල්ලක් අභියසදි ආයෙමත් හමුවෙනවා. ඒ, ජීවිත ජීවත් කරවන්නයි. ඉතින් ඔයාලටත් ඔයාලගේ ජීවිත ජීවත් කරවන්න හිතුනොත් කතා කරන්න අපිට.


දුලිප් - 0766 642 607 / 0703 174 417
ප්‍රදීප් - 0777 043 804 / 0703 207 207