ප්‍රේමය සමඟ 'ඇක්සිඩන්ට්' වීම

ප්‍රේමය සමඟ 'ඇක්සිඩන්ට්' වීම

නයෝමි වොට්ස් රඟපාන 'ඩයනා' චිත්‍රපටය අවසන් වන්නේ 13 වැනි සියවසේ ජීවත් වූ පර්සියානු ජාතික කවියෙකු වන 'රුමි' ගේ පුංචි කවියකින්.

"Somewhere beyond right and

wrong

there is a garden,

I will meet you there..."

"වැරැද්ද සහ නිවැරැද්දට ඔබ්බෙන්

උද්‍යානයක් තිබේ.

මම ඔබ එතැනදී හමුවන්නෙමි..."

ඩයනා මියගිය පසු ඇගේ හිටපු පෙම්වතා වන හස්නත් ඛාන් ඇය ජීවත් වූ මාළිගය අභියස තැන්පත් කරන මල් පොකුරේ සටහන්ව ඇත්තේ එම කවියයි.

ඕනෑම මිනිසෙකුගේ හෝ ගැහැණියකගේ ජීවිතයේ 'ප්‍රේමය' ස්ථානගත වන්නේ වැරැද්ද සහ නිවැරැද්ද විසින් නිර්ණය කරන සීමාවන්ට ඔබ්බෙනුයි. එහි හරි වැරැද්ද, සදාචාරය, යුක්ති යුක්ත බව මෙන්ම සමාජ සම්මතයන්ද හොයන්නට පුළුවන්කමක් නැහැ. එවිට 'ප්‍රේමය' හමුවන්නේ රුමි කියනවාක් මෙන් වැරැද්දට සහ නිවැරැද්දට ඔබ්බෙන් ඇති නමක් ගමක් නැති උද්‍යානයේදී පමණයි.

මේ ලියන මොහොතේදී මට අතීතයේ කියවූ ලියෝ තෝල්ස්තෝයිගේ 'ඇනා කැරනිනා' නවකතාව සිහියට නැගෙනවා. ඇනා තුන්වැන්නෙකු සමග ඇති කරගන්නා ප්‍රේම සම්බන්ධය වැරදිද, නිවැරදිද, යුක්ති සහගතද, අයුක්ති සහගතදැයි කිව හැක්කේ කාටද? නවකතාව කියවන ඕනෑම කෙනෙකු ඇනාට මෙන්ම ඇගේ ප්‍රේමයටත් ප්‍රේම කරනවා. ඇගේ ජීවිතයට තුන්වැන්නකු අවශ්‍යද, එසේත් නැත්නම් ඇය එසේ කරන්නේ ඇයිද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වන්නේ නැහැ.

මිනීමැරුමක නම් සැලසුම් සහගතව සිදු කළ මිනිමැරුම්, ක්ෂණික කෝපය නිසා කරන මිනීමැරුම්, ආත්මාරක්ෂාව සඳහා කරන මිනිමැරුම්, පළිගැනීම සඳහා කරන මිනීමැරුම් යනාදි වශයෙන් නොයෙක් විදියට එය වර්ගීකරණය කළ හැකියි. එහෙත් ආදරයට මෙය වලංගු වන්නේ නැහැ. උපුල් ශාන්ත සන්නස්ගල වරක් කොතැනක හෝ කියූ විදියට ආදරය යනු 'ඇක්සිඩන්ට්' එකක්.. අප කැමති වුණත්, අකමැති වුණත්, වළක්වන්නට උත්සහ කළත්, පැන යන්නට තැත් කෙරුවත් ඒ 'ඇක්සිඩන්ට් එක' අප ලුහු බැඳ එනවා.

ජීවිතය එහෙම තමයි...

මා ඉතා ආදරය කරන චිලී ජාතික කවියෙකු වුණු පැබ්ලෝ නෙරූඩා 1928 සිට 1930 දක්වා එම රාජ්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කොන්සල් වරයා ලෙස කටයුතු කළා. මේ කාලය තුළ ඔහු ප්‍රේම කළේ දිනපතා තමන්ගේ වැසිකිළිය සුද්ද කළ ගැහැනියටයි. මෙම ගැහැනිය කළුවන් සුරුවමකට උපමා කළ ඔහු තවත් විටක ඇය හැඳින්වූයේ ලංකාවේ ඔහු දැක තිබුණු ලස්සනම ගැහැනිය ලෙසයි.

මීට වසර ගණනාවකට ඉහත තිස්ස අබේසේකර පුවත්පතකට ලිපියක් ලියමින් නෙරූඩාගේ මේ ප්‍රේමය ගැන මෙවැනි සටහනක් තැබුවා..ඒ නෙරූඩා ඇය පිළිබඳ ලියූ ඇතැම් දේත් උපුටා දක්වමින්.

'ඇය බියෙන් සහ සැකයෙන් යුතු වන සිවුපාවෙකු වැන්න. ඇය මා නොදන්නා විචිත්‍ර ලෝකයකින් පැමිණියකි. මට ඇයව අමතක කළ නොහැකි විය.'

එතැන් සිට බොහෝ දින ගනණක් නෙරූඩා ඇය එන මඟ රැක සිටියේය. ඇයව අවනත කරගැනීම සඳහා තෑගි බෝග ඇය එන මගට දැම්මේය. එසේ දින ගනණක් ගිය පසු එක් උදයක අය ඔහුට අවනත වූවාය. ඇයගේ අතින් අල්ලාගෙන ඔහුගේ යහන් ගැබ වෙත කැටුව යාමට ඉඩ දුන්නාය.

'මගේ යහන මත වැතිරුණේ දකුණු ඉන්දියාව පුරා වූ හින්දු කෝවිල්වල මා දැක තිබුණු වසර දහස් ගණනක් ඉපැරණි දෙව් පිළිමයකි.'

ඒ කළුවන් රුවැති දෙව් පිළිමයත් තමාත් අතර වූ සම්භෝගය, මිනිසෙකු සහ පිළිමයක් අතර වූවක් මෙන් ඒක පාර්ශ්වික ව්‍යායාමයක් වූ බව ඔහු පවසන්නේ ඒ අහිංසක සක්කිලි ළඳ වරදින් නිදොස් කිරීමටද? කිසියම් ශුද්ධ වූ වස්තුවක් කෙලෙසුවකුගේ පශ්චාත්තාපය වැනි හැඟීමක් මේ විස්තරය කරන නෙරූඩාගේ බසට යටි පෙළක් මෙන් පිවිසෙයි.

'ඇය හිතින් හා කයින් දෙකින්ම මාව පිළිකුල් කළාය. ඇයට මම දොස් නොකියමි. 'නෙරූඩා එසේ කියන්නේ ආත්ම ශුද්ධිය පතා දෙවියන් ඉදිරියේ සමාව යදින්නෙකු මෙනි." - (තිස්ස අබේසේකර - අයාලේ ගිය සිතක සටහන්)

සමහරුන් විශ්වාස කරන්නේ නෙරූඩා අතින් ලියැවුණු විශිෂ්ටතම පෙම් කවියක් වන 'Sonnet XVII' ලියැවුණේ කොළඹදී ඔහුට හමුවුණු මෙම වැසිකිළි සුද්ද කරන ගැහැණිය වෙනුවෙන් බවයි.

ඇතැම් අඳුරු දේට මිනිසුන් ආදරය කරන්නාක් මෙන් ආත්මය සහ සෙවණැල්ල අතර හිඳ තමන් ඇයට ප්‍රේම කළ බව නෙරූඩා ඒ කවියෙන් කියනවා..

ඉතින් ඔහු හෝ ඔහු සමග නිදාගත් ඒ අහිංසක ගැහැණිය වැරදි වන්නේ කොහොමද?