තව දුරටත් ඇස් පියාගෙන ඉන්නවද?

තව දුරටත් ඇස් පියාගෙන ඉන්නවද?

දැරිය නොහැකි තරමේ අගහිඟකම් ඉදිරියේ බිරියන්, දියණියන් සේ ම මව්වරුන් මැදපෙරදිග ගෘහසේවයට නික්ම යන්නේ ඉසුරු සොයන්නට ය. ගරාවැටෙන ගේ කෑල්ල පිළිසකර කරගැනීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම, අනාගතේ වෙනුවෙන් අතේමිටේ කීයක් හෝ ඉතිරි කරගැනීම වැනි අහිංසක බලාපොරොත්තු රැසක් ඔවුන්ගේ හිත්වල හිර වී ඇත. කිරෙන් අත්නොහැරුණු පුංචි දරුපැටවු පවා ඥාතීන්ගේ රැකවරණය යටතේ තියා, දුප්පත්කමට පැලැස්තර ඇලවීමට විදෙස්ගත වන අපේ කාන්තාවන්ට ඇතැම්විට මුහුණ දෙන්නට සිදුවන්නේ දරුණු ඛේදවාචකයන්ට ය.

මීට වසර දෙකකට පෙර සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා නික්ම ගිය ඉන්ද්‍රකාන්ති නම් තැනැත්තිය මුහුණ පා සිටින අකරතැබ්බිය මේ වන විට රට ම දන්නා කරුණක් බවට පත් වී හමාර ය. වසර දෙකක ගිවිසුම් කාලය අවසන් වෙමින් පැවතිය ද ඇයට නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු ලකලෑස්ති කරගැනීමට පවා ඉඩකඩ අහුරවමින් නිවැසියන් ඇය අමානුෂික ලෙස වධයට පමුණුවන්නේ ඇගේ එක් වකුගඩුවක් මුදලට ලබාදීමට බලකිරීමෙනි.

වකුගඩුවක් ලබාදෙන තුරු ලංකාවට යෑමට ඉඩ නොදෙන බව පවසමින් ඇය සේවය කරන නිවසේ හිමිකරු ඇයට බලපෑම් කරන අතර මාස හතරක සිට ඇයට වැටුප් ගෙවීම ද වර්ජනය කර සිටීම හේතුවෙන් ඉන්ද්‍රකාන්තිගේ දියණියන් තිදෙනාත් මවත් මෙරට කල්ගෙවන්නේ දරිද්‍රතාවයේ සාපයෙන් දරුණුවට බැට කමිනි. ඇගේ ජීවිතය පිළිබඳව ද විශ්වාසයක් තැබිය නොහැකි අවදානමක දී ඇගේ මව විසින් මේ පිළිබඳ ව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දී තිබුණ ද තව ම ඔවුන් වෙත සහනයක සේයාවකුදු වැටී නැත.

මැදපෙරදිග ගෘහසේවයේ නියුතු ලාංකේය කතුන් අමානුෂික ලෙස වධ බන්ධනයට ලක්වන්නේ අදක ඊයෙක සිට නොවන බව නොරහසකි. පැතුම් පොදි බැඳගෙන එතෙරට පියඹන ගොඩදෙනෙකු නැවත සිය රට බලා එන්නේ අධික වදහිංසාවන්ට මුහුණ පෑමෙන් අනතුරුව ය. කකුල් දෙකෙන් ගිය ඇතැම් කෙනෙකු රෝද පුටුවෙන් පැමිණෙන විට තවත් කෙනෙකු පැමිණෙන්නේ පෙට්ටියෙනි. ඒ මරණ සමහරක් අදටත් අබිරහස් ය. ඒ අතර ඇතැමුන් වදවේදනා දරාගත නොහැකිව ඇඳිවතින් පැන එන අතර තවත් සමහරුන් නැවත සිය රටට ගොඩබැසීමට නොහැකිව අපා දුක් විඳී. තව සමහරුන් අදටත් ආගිය අතක් නැත.

මේ සියල්ල දැනදැනත් දැකදැකත් තවමත් අපේ කතුන් මැදපෙරදිග ඉසුරු සොයා ඇදෙන්නේ නිවසේ අගහිඟකම් දෙස දෑස් අයා බලාසිටීමට නොහැකි තැන ය. එක අතකින් එය අප රටට විදෙස් විනිමය ගලා එන ප්‍රධාන මාර්ගයකි. කතුන් ගෘහසේවය සඳහා රට පටවන්නට සුරංගනා ලෝක මවන බලපත්‍රලාභී සේ ම හොර ඒජන්සි මෙරට අඩියෙන් අඩිය, අඟලෙන් අඟල ඇති මුත් එසේ විදෙස්ගත කරන කතුන්ගේ ජීවිත සම්බන්ධයෙන් නිසි වගකීමක් ගන්නා ඒජන්සි ඇත්තේ අල්ප වශයෙනි. මේ සියල්ල සලකා බලන විට විදෙස් සේවයේ නියුතු අපේ කාන්තාවන් වෙනුවෙන් දැනට වඩා ප්‍රමිතිගත න්‍යාමනයක් පැවැතිය යුතු බව නම් සක්සුදක් සේ පැහැදිලි ය.

මීට වසර කිහිපයකට පෙර රිසානාට අත් වූ ඉරණම අපට හොඳහැටි මතක ය. නිවසේ අගහිඟකම්වලට පිළිතුරු සොයන්නට එතෙර ගිය රිසානාගේ කඳින් හිස වෙන්වීම ජාතියක් ලෙස අප ලැබූ පරාජයකි. එදා රිසානා වෙනුවෙන් ජාතියක් ලෙස අප නිහඬව නොසිටි බව නම් සැබෑ ය. නමුත් රිසානා ගලවාගන්නට ඒ නැඟූ හඬ ප්‍රමාණවත් නොවූ බව කිව මනා ය. රිසානා අපට සමාව දේවි. නමුත් එදා රිසානාට සිදු වූ දෙය අද හෙට ම ඉන්ද්‍රකාන්තිට සිදුවීම වැලකීමට නම් අප විසින් කළ යුතු බොහෝ දේ ඇත. එසේ නම් මේ, හඬනැඟීමට කාලයයි.