ලෝකෙටම වයිබර් ස්ටිකර් හදන ලංකාවේ ඩෙයිලන්

ලෝකෙටම වයිබර් ස්ටිකර් හදන ලංකාවේ ඩෙයින්

l ඩෙයිලන් වෛජයන්ත කොහොමද වයිබර් එක්ක සම්බන්ධ වෙන්නේ ?

මෙහෙමයි, කොළඹ විශ්ව විද්‍යාලයෙන් මල්ටි මීඩියා විෂුවල් ඉෆෙක්ට්ස් ගැන ඉගෙනගෙන පසුව මම කාලයක් එහි ම උපදේශකවරයෙක් විදිහට වැඩ කරා. එතනින් අයින් වෙලා මම රස්සාවක් හොය හොයා ඉන්න කාලෙක තමයි මට හිතුනේ කොහොමද මේ වයිබර් ස්ටිකර්ස් හැදෙන්නේ? මොකක්ද මේ තියෙන වැඩේ කියලා. ඊට පස්සේ මම ඒ ගැන නිකමට හොයලා බැලුවා. එතැනදී තමයි මම දැක්කේ වයිබර් ස්ටිකර් හදන්න තරගයක් තියෙනවා.

මම කලබලේට උඩින්පල්ලෙන් කියවලා තරගෙට ලෑස්ති වෙනකොට තමයි දැක්කේ ඒක ඒ වෙද්දී ඉවර වුණ තරගයක් කියලා. ඊට පස්සේ මට ජොබ් එකක් හම්බුණා. ඔෆිස් එකේ වැඩ කරගෙන ඉද්දිත් මම විවේකයක් ලැබුණම ස්ටිකර්ස් අඳිනවා.

එහෙම කුරුටු ගගා ඉන්න වෙලාවක තමයි අලියාගේ ස්ටිකර් එක ඇඳුණේත්.

ඊට පස්සේ ආයේ වයිබර් ස්ටිකර් එකෙන් තරගයක් තිබ්බ වෙලාවක ඒකට මම ඇඳලා තිබුණ ස්ටිකර්ස් යැව්වා. ඒකේ පළවෙනි පස් දෙනෙක් තෝරලා එයාලා වයිබර් එක අතුළට ගන්නවා. ඊට අමතර තව විසි දෙනෙක් තෝරා ගන්නවා, අමතරව එයාලගේ වැඩවලට තියාගන්න. මට මාසයකට විතර පස්සේ වයිබර් එකෙන් කෝල් එකක් ආවා.

එයාලා මට කිව්වේ මාව ලංකාවේ ස්ටිකර්ස් හදන්න තෝරාගෙන තියෙනවා කියලා. ඊට පස්සේ අලියාගේ ස්ටිකර් එක්ක තමා වැඩේ පටන් ගත්තේ ගිවිසුම් ගහලා. පස්සේ ඔයයි මමයි වගේ ස්ටිකර් පැක් හැදුවා. එහෙම තමයි වයිබර් එක්ක සම්බන්ධ වුණේ.

l කොච්චර කාලයක් තිස්සේ මේ විදිහට ස්ටිකර්ස් හදනවද ?

දැන් අවුරුද්දක් තිස්සේ වගේ ඉඳන් හදනවා. ගිය අවුරුද්දේ පෙබරවාරි වගේ තමයි ගිවිසුම් අත්සන් කරේ. මේ වෙද්දී වයිබර් ස්ටිකර් පැක් 21,22 ක් වගේ හදලා තියෙනවා. අපි වයිබර් ස්ටිකර් හදද්දී අනන්‍යතාවක් සහ ගුණාත්මක බවක් තියෙන ස්ටිකර් විතරයි හදන්නේ. කාටවත් අපහාස කරලා, මඩ ගහන ස්ටිකර් හදන්නේ නැහැ කවදාවත්.

ඒක අපේ ගිවිසුම්වලටත් විරුද්ධයි. ලංකාවට අමතරව නේපාලයටත් මම ස්ටිකර් හදලා තියෙනවා.

l මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

මේ වෙද්දී ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇත්තටම. ලංකාවේ ඩයලොග් නෙස්ටමෝල්ට් වගේ ඒවාටත් මම ස්ටිකර් කරා. මගේ ස්ටිකර්ස්වලට හොඳ ප්‍රතිචාර තියෙන නිසානේ එයාලා වුණත් මට කතා කරන්නේ. මේ වෙද්දී ලංකාවේ මිලියන 7ක් විතර වයිබර් පාවිච්චි කරනවා. ස්ටිකර් පැක් එකක් අලුතින් දැම්මම ලක්ෂ 7ක් වගේ ඉක්මනින් download කරන තත්වයක් මේ වෙද්දී තියෙනවා.

l වයිබර් ස්ටිකර් හදනවාට අමතරව වෙන වෘත්තියක නියැලෙනවාද ?

මම කලින් ග්‍රැපික් ඩිසයිනර් කෙනෙක්, ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට තමයි වැඩ කරේ. ඊට පස්සේ වයිබර් එක එක්ක මට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන් නිසා සහ හොඳ ගෙවීමක් ලැබෙන නිසා මම වයිබර් එක එක්ක වැඩ කරන එක තෝරාගත්තා. වයිබර්වලට ෆේස්බුක් කැම්පේන්, පෝස්ට් කැම්පේන් වගෙත් කරනවා දැන් නම්. ඊට අමතරව සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ විසිටින් ලෙක්චර් කෙනෙක් විදිහටත් වැඩ කරනවා.

l ලංකාවේ ඩෙයිලන් හැර තවත් මේ වගේ වයිබර් ස්ටිකර් හදන අය ඉන්නවාද ?

ලංකාවේ ඉන්නවා. නමුත් ලංකාවේ වයිබර් ස්ටිකර් කරන්නේ මමයි.

තව ලුක්ස් කියලා ඒජන්සි එකක් තියෙනවා. ඒ අය තමා ලංකාවේ ෆේස්බුක් එක කරන්නේ. එයාලාත් කරා ස්ටිකර් පැක් දෙක තුනක් සහ තව කිහිපයක්. මේ ක්ෂේත්‍රයේ අවස්ථා ගොඩක් තියෙනවා.

නමුත් අපිට මේකට කට්ටිය ඕනි වුණත් ප්‍රශ්නෙකට තියෙන්නේ ලංකාවේ අඳින්න පුළුවන් අය කොච්චර හිටියත් නිර්මාණශීලි අය නොමැති වීම.

l පාසල් කාලේ දී මේ ක්ෂේත්‍රය ගැන හැදෑරීමක් කරලා තිබුණාද ?

අනුරාධපුරේ තමයි මගේ ගම. මම පාසල් තුනකට ගියා. මුලින්ම අනුරාධපුරේ සෙන්ට් ජෝශප් එකට ගියා. ඊට පස්සේ කැකිරාව සෙන්ට්‍රල් එකට ගියා. ඒකෙන් ආයේ අනුරාධපුරේ වලිසිංහ හරිස්චන්ද්‍රයට ගියා.

 ඉස්කොලේ යන කාලේ ආර්ට් කියන්නේ ලොකුවට ගණන් ගත්ත දෙයක් නෙවෙයි. මගේ තාත්තා කැකිරාව සෙන්ට්‍රල් එකේ උපවිදුහල්පති වෙලාත් හිටියා. ඊට පස්සේ අමාත්‍ය ලේකම්වරයෙක් විදිහටත් වැඩ කරා. ඒ කාලේ මට කෘෂිකර්ම විෂයන් හදාරන්න අදහසක් තිබුණත් තාත්තා තමා මට ආර්ට් කරන්න කිව්වේ. ඊට පස්සේ මම ආර්ට් කරා.

 ආර්ට් කරලා මම කොළඹ විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අංශයට එනවා.

මල්ටි මීඩියා විෂයක් විදිහට තිබුණත් අපිට පැකල්ටි එකක් තිබුණේ නැහැ. යාළුවො එකතු වෙලා සම්පත් හදාගෙන, පැකල්ටි එකක් අපි ඊට පස්සේ පටන් ගත්තා. අපිට එහෙම ලෙක්චර්ස්ලා හිටියෙත් නැහැ. ටියුට්වලින් හොයලා කරලා තමයි අපි ඉගෙන ගත්තෙත්.

l ඩෙයිලන් සිනමාව එක්කත් සම්බන්ධ වෙලා හිටියා නේද කාලයක් ?

මහා රජ ගැමුණු චිත්‍රපටය එක්ක වැඩ කරා. ඒකෙ මට vfx ඒකට කතා කරා. මං ඊට පස්සේ එහි ඇඳුම් නිර්මාණ පැත්තටත් දායක වුණා. ඉතිහාසය සම්බන්ධව ලොකු අධ්‍යයනයක් කරලා මම එකේ වැඩ කරා.

නමුත් පසුව ආපු ප්‍රශ්න එක්ක මම ඒ වැඩෙන් අයින් වුණා. නමුත් එයාලා මගේ අදහස් එක්ක චිත්‍රපටිය කරා. මහරජ ගැමුණු එකෙන් පස්සේ 4D ෆිල්ම් එකක් කරා brandix එකට. විජයබාහු රජතුමන් ගැන.

l ඔබේ පවුලේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ අය ඉන්නවාද ?

මගේ අයියා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. නමින් ෂර්ලි වෛජයන්ත. ඔහුත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධයි. නමුත් ඔහු ගොඩක් ඉන්නේ pencil drawing සයිඩ් එකේ. නංගි කෙනෙක් ඉන්නවා. එයාත් දක්ෂයි. නමුත් එයා සම්බන්ධ නීති ක්ෂේත්‍රයට.

l තරුණයෙක් විදිහට රැකියාවක් කරලා ඉස්සරහට යනවට වැඩිය හැකියාවෙන් ඉස්සරහට යන එක පහසුද ?

රැකියාවක් කියන එක පටන් ගන්නකොට හොඳයි. නමුත් අපිට ඒ රැකියාවට ආදරයක්, ආසාවක් නැති නම් ඒක පවත්වාගෙන යන්න බැහැ. ලෝකේ තියෙන අවස්ථා, නව ප්‍රවණතා ගැන අවබෝධයෙන් ඉන්න ඕනි කවුරු වුණත්. ඒ වගේ freelance කරලා තමන්ගේ හැකියාවෙන් ඉස්සරහට යන්න ඕනි තරම් අවස්ථාත් මේ වෙද්දී තියෙනවා. රැකියා අවස්ථා සහ සල්ලි හොයන විධි මේ වෙද්දී ඕනි තරම් තියෙනවා. සම්ප්‍රධායිකව හිතන්නේ නැතිව, තමන් ආදරේ කරන ක්ෂේත්‍රයක් තෝරාගෙන ඒකට අවංක වුණොත් බොහෝ දුරක් යන්න පුළුවන්.