විසල් මහත්තයාට පිස්සුද ?

විසල් මහත්තයාට පිස්සුද ?

දේ ඉඳන් වික්ටෝරියා ප්ලේස් එකේ ෆෝන් එකට නිවනක් නැහැ. එහෙන් කෝල් එනවා මෙහෙන් කෝල් එනවා.

සුභද්‍රා නෝනාත් එහෙට දුවනවා මෙහෙට දුවනවා. මාග්‍රට් නැන්දාත් උදේ පාන්දර ම මාර්කට් ගිය ගමන තාම ඇවිදින් නැහැ. යශෝදරා අක්කාත් කුස්සිය මුල්ලට වෙලා කේක් හදනවා.

 තඩි පුසීත් ඒ ඔක්කොම කලබල අස්සේ ඤාව් ඤාව් ගාගා එහෙට මෙහෙට කැරකෙනවා.

 ඒ නම් යශෝදරා අක්කාගෙන් බිත්තර කට්ටක් ඉල්ලගන්න ද කොහෙද. මේ ඔක්කොම කලබල එකක්වත් හන්දා නෙවේ.

පාදිලි උන්නාන්සේ කීව බෞතිසමේ හෙට උදේලු. ඒත් ඉතින් ඕකට ඔහොම මංගල්ලයක් වගේ කලබල වෙන්න කාරි නෑ නොවෑ.

වික්ටෝරියා ප්ලේස් එකේ මෙහෙම එකක් තියෙන්නේ සෑහෙන කාලෙකින් මයේ හිතේ. නැති නම් මෙච්චර කලබල කරන්න ඕනෑයෑ. විසල් මහත්තයා එක්ක දවස් 10ක නිවාඩුවකට වත්තේ තේ බංගලාවට ගිය ශාස්ත්‍රීත් එනවා හවස. විසල් මහත්තයාත් එක්ක ම වෙන්න ඕනි.

 එක අතකින් උන්දා නෑවිත් මයේ පඤ්ඤා වෙන්නේ කවුද හැබෑට. පඤ්ඤා කියන්නේ භාරකාර පියාටලු. එතකොට මඤ්ඤා කියන්නේ භාරකාර අම්මටලු. කොහොමත් ඉතින් භාරකාර අම්මා සුභද්‍රා නෝනා නේ.

ආගමේ හැටියට මව්දෙමව්පියන්ට අමතරව වගකීම ගන්න එහෙම දෙන්නෙකුත් ඕනිලු. මටත් කියලා දුන්නේ සුභද්‍රා නෝනා.

ඔහේ ඕනේ එකක්. මයේ මොකෝ. ඕනි එහෙකට මාත් එහෙයි කියාගෙන ඉන්නෝ. ආයෙත් පාරක් වික්ටෝරියා ප්ලේස් එකේ ෆෝන් මරහඬ තියලා වැදෙන්න ගත්තා...

“ සින්ඩි, ඔය ෆෝන් එක ගන්න දරුවෝ.. ”

ඒ පාර නම් සුභද්‍රා නෝනත් වැඩකට හිර වෙලාද කොහෙද..

“ සින්ඩි, මාව ඇහුවොත් මන් පුංචි වැඩක් කියලා පණිවිඩේ අහගන්න.. ”

ආයෙත් පාරක් සුභද්‍රා නෝනා කියද්දී මන් ගිහින් රිසිවරය උස්සලා කනේ තියාගත්තා.

“ හෙලෝ..”

“හෙලෝ.. වික්ටෝරියා ප්ලේස්.. ”

එහා පැත්තෙන් ඇහුණේ පිරිමි කටහඬක්.

“ ඔව්.. ”

මමත් හෙමිහිට උත්තර දුන්නේ.. කවුද කියලා දන්නේ නැති නිසා.

“කවුද මේ යශෝදරාද ? සුභද්‍රා ඇන්ටි නැද්ද යශෝදරා? මම විසල්.. ”

ගැස්සුන පාර තව ටිකෙන් මගේ අතින් ෆෝන් එක බිමට අතහැරෙනවා.

“ නෝ.. අහ්හ්.. එයාලා පුංචි වැඩක කියලා.. පණි..විඩයක් තියෙන..වා නම් අ..හන්න කිව්වා.. ”

තව පොඩ්ඩෙන් නෝනා කියවෙනවා. එහෙම වුණා නම් මේ වික්ටෝරියා ප්ලේස් එකේ කට්ටිය එක්ක මන් වසලා හමාරයි. වෙවුල වෙවුල ඒ ටික කියාගත්ත හැටි විසල් මහත්තයාට තේරුණාද මන්දා..

“ ආආ එහෙමද? ටිකක් ලොකු පණිවිඩයක් නම් තමයි.. එතකොට යශෝදරා කෝ.. ”

“ එයත් වැඩක්.. ”

“ හ්ම්ම්ම්.. හාකෝ.. මාග්‍රට් නැන්දා එතකොට.. ”

“ ගමනක් ගිහින්.. ”

“ අප්පේ.. මාග්‍රට් නැන්දාට දැන් හෙන ලොකු ගමනුත් තියෙනවාද ? ”

විසල් මහත්තයාට පිස්සුද ? මට පේන්නේ මෙයා කතා කරලා තියෙන්නේ යශෝදරා අක්කට කතා කරන්නද කොහෙද...බොරුවට සුභද්‍රා නෝනාව ඇහුවට. පිරිමි නේ. මන් සද්ද නැතිව උන්නා. මට බෑ පත්තරේ වගේ මෙයාට ඕපාදූප කියන්න, උත්තර දෙන්න වචන ගැටගහ ගන්නෙත් අමාරුවෙන් වෙච්චිකොට.

“ හෙලෝ.. මේ එහෙනම් ඔහේ ඉන්නවද නේද කවුද ගෑනු ළමයෙක්? එයාටවත් ෆෝන් එක දෙනවාද ? ”

“ කවුද ? ”

“ අනේ මට නම නම් මතක නැහැ.. මහා අමුතු නමක් තියෙන ගොළු ගෑනු ළමයෙක් ඉන්නවා නේද ?? ”

“ නෑ.. ”

“ ඇයි අර ඉන්නේ.. කොයි වෙලෙත් බිම බලාගෙන ඉන්න එක්කෙනෙක්.. ”

“ කවුද ? ”

“ ඇයි දරුවෝ, දැන් ඔය වික්ටෝරියා ප්ලේස් එකේ මහා ගොඩක් ගෑනු ළමයි ඉන්නවා යෑ.. අර නළලේ කුංකුම තිලක තියන ගොළු ගෑනු ළමයෙක් ඉන්නේ... කවුරුත් කතා කරාට හිනා වෙන්නවත් කැමති නැති කෙනෙක්.. ”

ඇත්තටම මේ විසල් මහත්තයාද නැති නම් මොකෙක් හරි පෝරිසාදයෙක්වත් ෆෝන් කරලද ?

“ පණිවිඩයක් නැති නම් මන් ෆෝන් එක තියන්නම්. මන් කියන්නම් ෆෝන් කරා කියලා.. ”

“හෝව් හෝව්.. මේක නම් අපේ නංගි කියනවා වගේ එක්ස්ප්‍රස් කෝච්චියක්මද කොහෙද ? නංගි මං විසල්.. අඳුරන්න බැරිද ?”

“පුළුවන්..”

“ මං විහිළුවක් දරුවෝ කරේ. ගණන් ගන්න එපා.. සුභද්‍රා ඇන්ටිට කියන්න ෆ්‍රී වෙලා මට කෝල් එකක් දෙන්න කියලා.. අපේ අප්පච්චි පණිවිඩ වගයක් කියන්න කිව්වා කියන්නකෝ... ”

“හා.. ”

විසල් මහත්තයා තව මොනාවත් කියන්න කලියෙන් මන් ෆෝන් එක තියලා කුස්සිය පැත්තට ගියේ පණිවිඩේ කියන්න. ඒ යද්දිත් සුභද්‍රා නෝනායි යශෝදරා අක්කයි එකතු වෙලා කේක් හදනවා.

“ කවුද පුතේ කතා කරේ..? ”

මන් කුස්සියෙන් එබෙද්දි ඇහුවේ සුභද්‍රා නෝනා..

“ ශාස්ත්‍රීගේ අයියා.. ”

“ මොනවද කිව්වේ.. ”

“ පණිවිඩයක් කියන්න තියෙනවා කියලා කතා කරන්නය කිව්වා. අප්පච්චිගේ පණිවිඩයක් කිව්වා..”

“හ්ම්ම්.. එහෙමද.. එහෙනම් මොකක් හරි තේ වත්තේ ප්‍රශ්නයක් වෙලාද දන්නේ නැහැ.. මං කතා කරලා එන්නම්කෝ.. පුතේ ඔයත් ඇවිල්ලා මෙතන ඉඳන් බලන් ඉන්න.. දැන් ඔයත් මේවා ඉගෙනගන්න ඕනි කාලේ.. ”

එහෙම කියපු සුභද්‍රා නෝනා කේක් එක හදන එකත් පැත්තකින් තියලා සාලෙට ගියා. මොකක් හරි හදිසියක් වෙන්න ඇති එහෙනම් ඇත්තටම. කේක් හදද්දී මුළු ගේ ම හරි ම සුවඳයි. ඒක බඩගිනි එන, හෙන අමුතු ම සුවඳක් අප්පා..

“ සින්ඩි.. ”

ඒ යශෝදරා අක්කා..

“ ම්ම්ම්ම්.. ”

“ ශාස්ත්‍රීගේ අයියාට.. නමක් නැහැලුද ? ”

අපෝ.. මෙයා ආයේ පටන් ගන්නද කොහෙද..

“ ඇති.. ”

“ ඇති නෙවේ .. තියෙනවනේ. නොදන්නවා වගේ කතා කරන අපූරුව. අනේ අනේ.. ඔහොම ලැජ්ජා වෙලා හරියනවාද.. ආඅ.. අනේ මන්දා මේ කෙල්ලව නම් කොහොම හදන්නද කියලා..”

එහෙම කියලා යශෝදරා අක්කා හිනා වෙන්න ගත්තා...මෙයාලට ඉතින් හිනා වෙනවටයි කොලොප්පන් කරනවටයි වැඩිය වැඩක් නැහැනේ.. පයිත්තියම් අප්පා.