කළුවන් වඩාගෙන මාරපන් යන අපේ එවුන්

කළුවන් වඩාගෙන මාරපන් යන අපේ එවුන්

පට පෙනෙන, ඇසෙන දෙය සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇත. තාක්ෂණය සහ විද්‍යාවේ දියුණුව නිසාවෙන් අද දවසේ අපට පෙනෙන සහ ඇසෙන දේවල ප්‍රමාණය අති විශාල ය.

සන්නිවේදන මාධ්‍ය දියුණුව නිසා විවිධ කෝණයන්ගෙන් තොරතුරු නිරන්තරයෙන් අපට ලැබේ. දියුණු සන්නිවේදන ක්‍රමවේදයන් වර්ධනය වන විට ඒ හා සමානව තොරතුරු සම්බන්ධ විද්‍යාවන් වර්ධනය විය යුතු ය. එනම් මාධ්‍ය මඟින් ලබා දෙන පණිවිඩ නිවැරදිව ග්‍රහණය කර ගැනීමේ අධ්‍යාපනයයි.

එය මාධ්‍ය සාක්ෂරතාව ලෙස හැඳින්වේ. වඩා නිවැරදි අර්ථකථනයකට ගියහොත් මාධ්‍ය සාක්ෂරතාව යනු මාධ්‍යයෙන් සෑම ආකාරයෙන් ම ඉදිරිපත් කෙරෙන තොරතුරු පරිහරණය කිරීමට, විශ්ලේෂණය කිරීමට, ඇගයුමට හා නිර්මාණය කිරීමට ලබාගන්නා හැකියාව මාධ්‍ය සාක්ෂරතාව ලෙස යුරෝපා කොමිසම විසින් විස්තර කර ඇත.

රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත් පත් මෙන් ම අන්තර්ජාලය තුළින් අපට ලබාදෙන පණිවිඩ සහ තොරතුරු පරිහරණය කිරීමේ කුසලතාවක් අපට තිබිය යුතු ය.

ෆේස්බුක් නිර්මාතෘවරයා නිවි සැනසිල්ලේ තම ආදායම් ගනිමින්, විවේකීව පොත් කියවමින් කාලය ගතකරන විට අපි ෆේස්බුක් තුළින් නොකරන දෙයක් නැත. ඒ තුළින් මානසික සහනය අහිමි කරගනිමින් කටයුතු කරන්නෙමු. ඒ අප මේ මාධ්‍ය පරිහරණය පිළිබඳව ඇති අසමත්කම නිසාවෙනි. මාධ්‍ය සාක්ෂරතාව යනු අවම වශයෙන් අප මාධ්‍ය භාවිතය පිළිබඳව ලබාගන්නා දැනුමයි.

රූපවාහිනියෙන් පෙන්වන සියලු දේ බැලීම සඳහා අපි වෙහෙසෙන්නෙමු. තම ජීවිතයේ වටිනා කාලය රූපවාහිනිය ඉදිරියේ අපතේ යවමින් විනාඩි කිහිපයක ටෙලි නාට්‍යයක් වෙනුවෙන් පැය ගනන් වෙළඳ දැන්වීම් නරඹමින්, මානසික ආතතිය වැඩි කර ගන්නෙමු. එයට අමතරව පවුලේ අය සමඟ ගත කිරීමට ඇති කාලය මෙන් ම ඔවුන් සමඟ සන්නිවේදනය කරමින් මනා සබඳතාවක් ගොඩනඟා ගැනීමට ඇති කාලය අපි විනාශ කර ගන්නෙමු.

නොවැදගත් වැඩසටහන් බලමින්, රූපවාහිනී රේට් වැඩි කර දෙමින් අප මාධයවලට ලබාදෙන පණිවිඩය වන්නේ වැදගැම්මකට නැති ඕනෑම කුණු ගොඩක් අප බලන බවයි.

 නොවැදගත් වැඩසටහන් ප්‍රචාරය වන විට රූපවාහිනී චැනලය මාරු කිරීමට හෝ වසා දැමිමට පෙළඹෙන්නේ නම් ග්‍රාහක සංඛ්‍යාව අවමකිරීම තුළ, වඩා ගුණාත්මක වැඩසටහන් වෙනුවෙන් අපට බලපෑමක් කළ හැකි බව අපි නොදන්නෙමු.

 මෙම දැනුම මාධ්‍ය සාක්ෂරතාවයේ මාධ්‍ය පරිහරණය කිරීමේ කුසලතාවයි. බුද්ධිය වර්ධනය නොකරන, මිත්‍යාව වපුරන, ලේ කඳුළු විකුණන ජනාමාධ්‍ය භාවිතාව වෙනස් කිරීමට නම් ජනතාව මාධ්‍ය පරිහරණය පිළිබඳ කුසලතාව වර්ධනය කරගත යුතු ය.

මාධ්‍යවලින් ලබාදෙන පණිවිඩ නිවැරදිව විශ්ලේෂනය කර ගැනීමේ කුසලතාව මාධ්‍ය සාක්ෂරතාවයේ තවත් කුසලතාවකි. බෙලි ගෙඩිය තල් අත්ත මතට වැටුණු විට දිව්ව හාවා සේ අද දවසේ මාධ්‍ය ලබාදෙන පණිවිඩ ඔස්සේ දුවමින් මුලාවේ වැටුණු ජනතාවක් තව තවත් මුලාවේ වැටෙමින් සිටී. මාධ්‍ය යනු ලාබ ලබන කර්මාන්තයක් යන්න අද දවසේ මිනිසුන්ට සඟවා ඇත. මේ නිසා ජාතියේ නාලිකාවන් මෙන් ම සත්‍යයේ හඬවල් පිටුපස ඇති ලාභයේ නිරුවත වසා, වෙනත් සළුපිළි පොරවා, මාධ්‍ය අප වෙතට එවා ඇත.

සමාජ මෙහෙවරවල් නමින් ජනතාව මුලා කර තම ග්‍රාහකයින් වැඩිකර ගනිමින් වෙළඳ දැන්වීම් සඳහා ඉහළ මිලකට කේවල් කිරීම, කිසිඳු මාධ්‍යයක් ජනතාවට හෙළි නොකරන්නේ ඇයිදැයි අප තෙරුම්ගත යුතු ය.

වෙළඳ දැන්වීම තුළින් කෙරෙන භාණ්ඩ විකුණා ගැනීම උදෙසා වෛද්‍යවරුන්, දරුවන් මෙන් ම ක්‍රීඩකයින්, මව්වරු භාවිත කරනුයේ පුද්ගලයින් භාණ්ඩ හා සේවාවන් භාවිත කිරීමේ දී ජනප්‍රිය පුද්ගලයින් සමඟ අනන්‍ය වීමට ඇති මනෝවිද්‍යාත්මක කැමැත්ත උපයෝගී කරගෙන ය. එහෙයින් අපි අනවශ්‍ය පාරිහෝජන රටාවක් වැළඳගෙන අසහනයට පත්ව සිටිමු. වර්තමානයේ මානසික රෝගීන් විශාල වශයෙන් වැඩි වීම තුළ ඇති යථාර්ථය වන්නේ අපට නිර්මාණය කර දී ඇති පාරිභෝජන සංස්කෘතිය විඳ ගැනීමට ඇති නොහැකියාවයි. මෙම පාරිභෝජන සංස්කෘතිය නිර්මාණය කරනු ලබන්නේ මාධ්‍ය තුළිනි .

මාධ්‍ය ලබාදෙන පණිවිඩ තුළ ඇති සැබෑ ස්වරූපය වටහා ගෙන එයට ලබා දිය යුතු වටිනාකම නැතහොත් එයට ලබා දිය යුතු ස්වරූපය තක්සේරු කිරීමේ හැකියාව ද මාධ්‍ය සාක්ෂරතාව සඳහා දියුණු කරගත යුතු තවත් කුසලතාවයකි. මිනිසුන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සෘජුව ම මාධ්‍යවල බලපෑම දැකිය හැකි ය. මාධ්‍ය සාක්ෂරතාවය නොමැති විට සිදුවන්නේ අප වැරදි තීරණ නැවත නැවතත් ගනිමින් සිටීමයි. උදාහරණයක් ලෙස රටේ ප්‍රධාන පුරවැසියා මිත්‍යාවන් පසු පස යන දර්ශන දකින පුරවැසියා එවැනි දේ සඳහා ප්‍රවේශ වීමට උත්සාහ ගනියි.

අප මාධ්‍ය සාක්ෂරතාව නැමති අධ්‍යාපනය නොමැති නිසාවෙන් වර්තමානයේ පැටලී ඇත්තේ මාධ්‍ය උගුලක ය. සරල, චාම්, සාමාන්‍ය මිනිසුන් මෙන් ම අල්පේච්ඡ ජීවිත ගත කරන භික්ෂූන්වහන්සේ පවා මේකප් දමාගෙන රූපවාහිනී කැමරා ඉදිරියට එන්නේ මේ නිසාවෙනි. මිනිසුන්ට වැඩසටහන් නිෂ්පාදනය මෙන් ම කැමරා කෝණයන් පිළිබඳවත් පෑන පිටුපස සිට ලියන ලේඛකයාට ගෙවන වැටුපත් එම මාධ්‍යවල අයිතිකරුවන් කවුද යන්නත් ඔවුන්ගේ දේශපාලන වුවමනා එපාකම් මොනවාද යන්නත් තේරුම් ගත හැකිනම් එය ඇගයිමේ කුසලතාවය වේ.

 මෙම කුසලතා දියුණු කරගත් මිනිසුන් විචාරශීලි වන අතර සවිඥානක අය වෙයි. ඔවුන් ගන්නා තීරණ සෑම විට ම වඩා නිවැරදි වනු ඇත.

 එවැනි මිනිසුන් කිසිවෙකුටත් කඩේ යැවීමට නොහැකි වනු ඇත.