ඉන්බොක්ස් කුලේ

ඉන්බොක්ස් කුලේ

මේ දවස්වල සිද්ධ වෙන දේවල්වල හැටියට මොකක් ගැන ලියන්නද කියලා හිතාගන්න බැරි ය... හැබැයි මොනා හරි එකක් නොලිව්වොතින් මේ සතියේ කොලම "ඇබොලිස්" වෙලා යන්නත් බැරි කමක් නැති ය... ඔය එව්වා මෙව්වා ඇබොලිස් කරන අස්සේ පරිප්පුවලට නිවිති දාන එකත් ඇබොලිස් කරගන්න තිබ්බා නම් මරු කියලා මට ඉඳහිට හිතෙනවා ය. ප්‍රයිවට් යුනි යන උන් දන්න රෙද්දක් නෑ කියන හින්දම ඕවා ගැන වැඩිය කතා කරන්නත් හොඳ නෑ....

ඒ කතාව එතනින් "ඇබොලිස්" කරලා මේ එන්න යන්නේ වෙන ස්ටෝරියකට ය....

අපි ජීවත් වෙන්නේ විසි එක්වෙනි සියවසේද කොහෙද කියලා මම මේ ළඟදි පත්තරේක දැක්කෙමි. නමුත් පත්තරවල එක එකා උන්ට හිතු මානපෙට මඟුල් ලියන නිසා ඕවා විස්වාස කොරන්නත් බැරි ය.

පහුගිය දාක කඩන් වැටුණු බිල්ඩිමට එච්චර තට්ටු ගානක් තිබ්බා කියලා ඒක හදපු බාස් දැනගෙන තියෙන්නෙත් පත්තරෙන් කියලා ටී.වී එකේ පත්තර කියවන බුවෙක් කියනවා මම අහන් උන්නෙමි. කොහොමෙන් කොහොම උනත් මේ කතාවට මේසන් බාස්ලගේ සම්බන්ධයක් නැති ය. මේකට සම්බන්ධ වෙන්නේ ග්‍රහ තරු සහ කුල මලය....

මේ ළඟ දි දොහක මම දන්න ගෑනු පරානෙකට බුකියෙන් මගුල් පරස්තාවක් ඇවිල්ලා ය. ඔව් ඔව් ඔය ඉන්බොක්ස් එකෙන් එන එකක් තමයි. ලෝකේ දියුණු වෙනකොට ඒවා එන විදිහත් දියුණු වෙනවා යකුනේ....නම ගම ඇහුවායෙන් පස්සේ කොල්ලගේ දැවෙන ගැටලුව වෙලා තියෙන්නේ කුලය මොකක්ද කියන එක....

මේ කෙල්ල කුලේ ගැන මෙලෝ අන්දො සංසාරයක් දන්නේ නැති වීම කොල්ලට හෙන පුරශ්නයක් වෙලා....

කොහොම නමුත් අඩු කුලේද නැද්ද කියන එක ඔක්කොටම කලින් හොයාපු බුවා සරසවි සිසුවෙක්.

සරසවියකට වැස්සකට හරි ගොඩවැදුණු මිනිහෙක්ගේ ඔළුවෙන් ඔය කුල භේද, ජාති භේද කියන ගොබ්බ අදහස් අයින් වෙලා මිනිස් ජාතිය ගැන වෙන විදිහකට හිතන්න පුරුදු කරනවා කියන එක මම අත්දැකීමෙන් දන්න දෙයක්...ඒත් එහෙමවත් අයින් කොරන්න බැරි තරම්ම ඔළුවේ ජාතිය, කුලය කියන එක හාඩ් කෝඩ් වෙලා කියන එක නම් හරි දුකට කාරණාවක්....

වෙන රටවල් අභ්‍යවකාශය ජය ගන්න සැලසුම් අඳිද්දි අපේ තරුණ පරපුර කුලේ හොයාගෙන ඉන්බොක්ස් එකේ වැලපෙනවා....

එක අතකට මෙහෙව් රටේ සමන්ට බඩ්ඩලා පහල නොවී බුදුවරු පහලවෙයිද කියන එකත් හෙනම රොම්බ ගැටලුවක් නෙමෙයි කියා මට හිතුණි.