මට සමාවෙන්න අම්මේ

මට සමාවෙන්න අම්මේ

ස් දෙකට තව ඕන තරම් නිදාගන්න පුළුවන්කම තියෙද්දිත් හිටි ගමන උඩවිසිවෙලා ඇහැරුණේ වෙනදා වගේ සද්දෙට වදින එලාම් එකට නෙවි, කන ගාවම තියන් හිටිය මොබයිල් එකේ රින්ගින් ටෝන් එකට...කතා කළේ ලොකු අක්කා. අම්මට ආයෙමත් අමාරු වෙලා ඉස්පිරිතාලෙ ගෙනිච්චලු... ඒක අහපු වෙලාවෙ ඉඳන් හිතට දැනෙන්නෙ මහ ම මහා බර ගතියක්.

අම්මා කොයිතරම් හයිහත්තියක් තිබුණු ගෑනියෙක්ද? තාත්තා නැති වුණායින් පස්සෙ අපි තුන්දෙනෙක් උස්මහත් කරන්න, ජීවිතෙත් එක්ක හරිහරියට හැප්පුණේ පිරිමියෙක් වගේ.

 රස්සාවකට කියලා රට ගිය පොඩ්ඩා එහේ සුද්දියෙක් එක්ක පවුල් කනවයි කියලා දැනගත්තයින් පස්සෙ තමයි අම්මට ඔය කරුම ලෙඩේ හැදුණෙ. දැන් ඔය දෙවෙනි ඇටෑක් එක...

කරකියා ගන්න දෙයක් හිතාගන්න බැරුව මං ඇඳේ කොනක වාඩි වුණා. ඒ වෙලාවෙම තමයි නෙස්ටමෝල්ට් එකකුත් හදාගෙන සමදරා කාමරේට ආවෙ. ආව පරක්කුවට එයාට මගේ වෙනස තේරෙන්න ඇති.

“ඇයි මොකද වුණේ?” තේ එක පැත්තකින් තියලා එයා මගෙන් ඇහුවෙ පුදුමෙන් වගේ..

“අම්මා හොස්පිට්ල් ඇඩ්මිඩ් කරලලු. බලන්න යන්න ලෑස්තිවෙන්න.”

“කවුද කිව්වේ?”

“ලොකු අක්කා කෝල් කරා.”

“හුඟක් අමාරුලුද?”

“අනේ මං දන්නෑ සමදරා. ප්‍රශ්න අහන් නැතුව යන්න ලෑස්ති වෙන්න” මගේ ඇතුළෙ තිබුණ නොසන්සුන් ගතිය වචනවලින් පිට වුණා.

කාර් එකට නැගලා ගොඩ වෙලාවක් යනකම් අපි එක වචනයක්වත් කතා කළේ නෑ. මං හිටියෙ මගේ ම කල්පනා ලෝකෙක. එහෙම වෙලාවට මගෙ කල්පනාව බිඳින්නෙ නැතුව ඉන්න එයා පුරුදු වෙලා හිටියා. කොළඹ ඉඳන් කුරුණෑගලට මහ දුරක් නැති වුණත් මට නිතර අම්මා බලන්න යන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. ජීවිතේ තිබුණෙ ටියුෂන් පංතිවලට ම යටවෙලා. ඉරිදා ඇරෙන්න අනිත් හැම දවසකම මං රට වටේම වගේ ටියුෂන් පංති කළා.

 ටියුෂන් කෙරුවාව පටන්ගත්තයින් පස්සෙ සල්ලිවලින් නම් මදිපාඩුවක් තිබුණෙ ම නෑ. ඒ වුණත් පිස්සෙක් වගේ සල්ලි පස්සෙ පන්නන්න පටන් ගත්තයින් පස්සෙ මට මගේ දුප්පත් අම්මා මඟහැරුණද මන්දා. කිසි කතාවක්බහක් නැතුවම අපි ටික ටික කුරුණෑගලට ලං කළා. හුළං කපාගෙන කාර් එක ඉස්සරහට ඇදෙද්දි... මගේ හිත පාවෙලා ගිහින් නතර වුණේ එක ම එක මතකයක් ළඟ. ඇත්තමයි ඒ දවස නම් මං මැරුණත් අමතක වෙන්නෙ නෑ.

ඉස්කෝලෙ ඇරුණු පරක්කුවට වෙල නියර දිගේ පිම්මට දුවන් ආවේ දඩිබිඩියෙ ඇඳුම් මාරුකරලා පිට්ටනියෙ බෝලගහන්න යන්න, හතිදාගෙන ගෙදර දුවද්දි අම්මා ගේ ඉස්සරහා මඤ්ඤොක්කා පාත්තියක් සුද්ද කරනවා... ගෙට දුවලා ගිය මම පිළිකන්නෙන් එළියට බැහැලා, දොළ පාරෙන් මූණකටත් හෝදගෙන, වැලේ එල්ලිලා තිබුණු කහගැහුණු බැනියමත් දාගෙන ආයෙමත් ගෙට ගොඩ වුණේ බඩගින්නට කන්න දෙයක් හොයාගන්නයි. ඒ යනකොට කුස්සියේ මේසයක් උඩ අඩිවලඳකින් වහලා පොල් රොටී දෙකකුයි කෙහෙල් ගෙඩි තුනකුයි තිබුණා. හාකුෂ්ට බඩගින්නෙ හිටිය මං රොටි දෙකටයි කෙහෙල් ගෙඩි තුනටයි ලස්සනට වග කියලා ආයෙමත් පිම්මට දුවන්න තියාගත්තෙ ‍පිට්ටනියෙ සෙල්ලම් කරන්න යන්න.

“කොල්ලො ඔය ආව හැටියෙ දුවනවා නේද ඉතිං? කාලා පලයං පුතේ.. කුස්සියේ මේසෙ උඩ රොටී දෙකකුයි කෙසෙල් ගෙඩි තුනකුයි තියලා ඇති. උඹ රොටියකුයි කෙහෙල් ගෙඩි දෙකකුයි කාලා ඉතිරි එක මට තියහං...”

ඒ වචන ඇහුණු හැටියෙ මගෙ කකුල් පණ නැතුව ගියා. කරකියාගන්න දෙයක් නැතුව මාව එතනම ගල්ගැහුණා... වහින්න ළං වුණු අහසක් වගේ මුළු හිත ම බරයි... මං අඩිය දෙක තියලා පිට්ටනියට ගෑටුවෙ ආයෙමත් හැරිලා යන බැරිකමටමයි... අනිත් ළමයි කෑගගහා සෙල්ලම් කළත් එදා මට සෙල්ලම් කරන්න හිත දුන්නෙ ම නෑ. පිට්ටනිය මුල්ලකට වෙලා මං හොඳට ම ඇඬුවා...යාළුවො වට වෙලා ඇයි කිය කියා ඇහුවත් මං කාටවත් මොනවත් කියන්න ගියෙත් නෑ. මගේ අම්මට දවල්ට කන්න තිබුණ කෑම ටිකත් මං කිසි හෙවිල්ලක්බැලිල්ලක් නැතුව කාලා දාලා..

දෙයියනේ දැන් වත්තෙ වැඩ කරලා කරලා ඇවිල්ලා අම්මට බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ. මට හීල්ලුණා. ගෙදර අගහිඟකම් අහස උසට තිබුණ විත්තියත් මම දැනන් හිටියා. කියාගන්න බැරි තරම් කරදරකාරී හැඟීමක් හරි දරුණුවට හිත පාරද්දි, ගෙදර යන්නැතුව මං කළුවර වැටෙනකම් ම ගම්මැද්දෙ ඇවිද්දා... අන්තිමේදි රෑට රෑ වෙලා ගෙදර එද්දි අම්මා ගෙයි ඉස්සරහා සිමෙන්ති පඩියට වෙලා මඟ බලන් ඉන්නවා.

“මොකද පුතේ මේ තරම් කළුවර වැටෙනකම් කළේ? තව ඩිංගක් බලලා මං ලොකු අක්කත් එක්ක උඹව හොයන්න එන්නයි හිටියේ...”

කුස්සියෙ වහලා තිබුණු රොටි දෙකට වෙච්චි දේ අම්මා කවදාවත් මගෙන් ඇහුවෙ නෑ. ඒ වුණත් අදටත් ඒ සිද්ධිය මතක් වෙන හැම වෙලාවක ම, මගෙ පපුව උල් පිහියකින් හාරනවා වගේ වේදනාවක් දැනෙනවා මට වෙනසක්, අඩුවක් නැතුව ම.

කොහොම හරි අපි හොස්පිට්ල් එකට කිට්ටු කරනකොට ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වෙන්නත් කිට්ටුයි. මායි සමදරයි අඩිය ඉක්මන් කළා. ලොකු අක්කා විස්තර කියලා තිබුණු නිසා වාට්ටුව හොයාගන්න අමාරුවක් වුණේ නෑ.

“මයෙ පුතේ උඹ ආවද? මං ඒත් ලොක්කිට කිව්වා උඹට කරදර කරන්න එපයි කියලා. මට ඒ හැටි අමාරුවක් නෑ බං. උඹලෑ අක්කා නිකරුණේ බය වෙලා. මයෙ පුතා ටියුෂන් පංති ටිකත් පාඩු කරගෙන වෙන්ඩෑ එන්නැත්තෙ...” කාලෙකට පස්සෙ මාව දැක්කම අම්මා එක හුස්මට කියවන්න පටන්ගත්තෙ ලෙඩත් අමතක කරලා... ඒත් ඒ වෙලාවෙ මගේ දිව අගට වචන ආවෙ නෑ. ඉස්පිරිතාලෙ ඇඳක් උඩ ඉඳන් හිටිය මගේ වයසක, දුප්පත් අම්මව මං මගේ දෝතින් ම බදාගත්තා. ඒ, වෙව්ලන අත්දෙකෙන් අල්ලගෙන ආදරෙන් නළල ඉම්බහම අම්මගෙ ඇස්වලින් වැටුණු කඳුළුවලින් මගෙ පපුව සීතල වෙලා ගියා... මට සමාවෙන්න අම්මෙ. ආයෙ නම් තනිකරන්නෙ නෑ.