සීල් නොතබන මතකය

සීල් නොතබන මතකය

රිවිර පුවත්පත් ආයතනය ඇති ගොඩනැගිල්ලට සීල් තැබූ කතාව අද අහන්නට ලැබුණා. ඒ එම බිල්ඩිමේ කුලිය පිළිබඳ ප්‍රශ්නයක් නිසා. එහි අග මුල කුමක්දැයි කියන්නට මා දන්නේ නැහැ.

ලංකාවේ පත්තර කන්තෝරු කියන්නේ සුන්දර තැන් නෙවෙයි. ඒවා විසකුරු සර්පයන්ගෙන්, දෙපිටකාට්ටුවන්ගෙන්, කුමන්ත්‍රණකාරයන්ගෙන් සහ දුර්ජනයින්ගෙන් පිරී ගිය තැන්. ඒ වුණත් රිවිර කියන්නේ පත්තරකාරයෙකු වශයෙන් මා හැදී වැඩුණු තැන. කොතරම් අසුන්දර දේ මැද වුණත් සුන්දර මතකයන් රැසක් ජීවිතයට එකතු කරපු තැන. මේ තීරුව පවා මා මුලින්ම ලියන්නට ගත්තේ රිවිර ඉරිදා පත්තරයටයි... ඒ මීට අවුරුදු එකොළහකට පමණ කලින්.

ඒ කාලයේ ගත කළ සුන්දර රාත්‍රීන් මේ මොහොතේත් මගේ මතකයට නැඟෙනො. මට ඒ කාලයේ ගෙදර යන්නට වෙලාවක් තිබුණේ නැහැ. ඇතැම් විට පාන්දර දෙක තුන වනකලුත් මා ගත කළේ පුවත්පත් කන්තෝරුව ඇතුළෙයි.

මැදියම් රැයේ විඩාවක් දැනුණ විට එළියට පැමිණ පඩියක වාඩි වී සිටින එක මගේ පුරුද්දක්. බොහෝ දිනවල මාලින්ද සෙනෙවිරත්නත් දුම්වැටියක් දල්වාගෙන එතැනටම එනවා. මා ළාබාල වාර්තාකාරයෙකු වුවත් ඔහු එවකට වැඩ කළේ නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙසයි.

ඇතැම් දිනක එහි මුරකුටියේ සිටි අහිංසක මහලු මිනිසෙකු වන රාජේන්ද්‍රන් රෑ දෙගොඩහරියේ අපට තේ සාදා දෙනවා. අද ඔහු ජීවතුන් අතර ඉන්නවා දැයි මා දන්නේ නැහැ.

ඒ පඩිය මත වාඩි වී අප බොහෝ දේ කතා කළා. ඒ බොහොමයක් වල්පල්. අතරින් පතර සාහිත්‍යය, කලාව, ප්‍රේමය ගැන වැදගැම්මකට ඇති දේ කතා කළත් බොහෝ විට අප කළේ කාලය නාස්ති කරන එකයි. එහෙත් අද ආපසු හැරී බලන විට එහෙම නාස්ති වුණු කාලය සුන්දරයි.

කිසිවෙකුත් නැති ඇතැම් රාත්‍රීන්වල අප බමන මතින් ගී ගැයුවා. මේස මත හිඳගෙන අමරදේවගේ 'ආරාධනා', කපුගේගේ 'මාරියාවේ' වගේ ගීත ගයන සැටි මට අද මෙන් මතකයි.

 

සති අන්ත පත්‍රයක වැඩ කළ නිසා ඒ කාලයේ අපි බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගෙදර ගියේ නැහැ. බ්‍රහස්පතින්දා කීයට හෝ වැඩ නිම වන වෙලාවට පත්තර කොළයක් එළා නිදාගෙන, කඩදාසි සහ තීන්ත සුවඳ විඳිමින් රැය පහන් කරනවා. පත්තරකාරයෙකුගේ ජීවිතයේ උපරිම සුන්දරත්වය!

බොහෝ සිකුරාදා දිනවල හිමිදිරියේ ම අවදිවන මා උඩුමහලේ ජනේලයක් ඇර මරදාන පාරේ යන්තම් දිලෙන විදුලි එළි දෙස බලා සිටිනවා. වසර ගණනක් ආනන්දයේ පාසල් ගිය නිසාත්, වසර ගණනක් මරදාන පාරේ ම පත්තර කන්තෝරුවක වැඩ කළ නිසාත් ඒ පාරේ හැම තැනක් ම මට ගෙදර සාලය මෙන් හුරු පුරුදුයි. කොතරම් වෙහෙස වුණත් එබඳු මොහොතක ජීවිතය දලුලා යළිත් ලියලන බව මට දැනෙනවා.

මේ බිත්ති හතර අතර මට බොහෝ යාළු මිත්‍රයන් මුණ ගැසුණා. මාත් සමඟ එකට රාජකාරි කළ ඔවුන් අද පුවත්පත් කලාවේ ඉහළ තනතුරු හොබවනවා. තවත් සමහරෙකු ජීවිතය සදහට ම හැර ගිහින්. තවත් සමහරුන් විවිධාකාර බල අරගල, කෝන්තර නිසා මගේ ජීවිතයෙන් ඈත් වෙලා. ලෝකයේ හැටි එහෙම තමයි. කිසිඳු පුද්ගල සබඳතාවක් සදාකාලික නැහැ.

මිනිසුන් සහ මිනිසුන් අතර ඇතිවන සබඳතා කෙටි කාලීන වුවත් මිනිසුන් සහ ස්ථාන අතර ඇති වන සබඳතා දිගු කාලීන බව මා තරයේ විශ්වාස කරන දෙයක්. ඇතැම් ස්ථාන මතකයේ සදාතනිකව නිදන්ගතව පවතිනවා. එබඳු අතීත සැමරුම් රැඳි තැනක් ගැන ඇසෙන විට පවා හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගන්නවා. පුද්ගලයන්ට ජීවිතයෙන් යන්නට ඉඩ දුන්නත් 'ස්ථාන' සමඟ ඇති බඳීම්වලට අප එහෙම යන්නට ඉඩ දෙන්නේ නැහැ.

හෙටත් අහම්බෙන් හෝ මරදානේ ට්‍රිච්බෝන් පටුමග පසු කරගෙන ගියොත් ඒ පත්තර කන්තෝරුව තිබුණු තැන දෙසට නොදැනීම මගේ ඇස් යොමු වෙන බව මා හොඳට ම දන්නවා..