තොල් තැටිය සහ මුර්සි කෙල්ලෝ

තොල් තැටිය සහ මුර්සි කෙල්ලෝ

මුර්සි(Mursi) එහෙමත් නැත්තං මුර්සු (Mursu ) කියන්නෙ ඉතියෝපියාවෙ ඕමෝ (Omo) මිටියාවතේ ඉන්න බොහොම ජනප්‍රිය ගෝත්‍රික ජන වර්ගයක්.

මේ අය කථා කරන්නෙත් මුර්සි භාෂාව. කෙතරම් ජනප්‍රියයි කියලා කිව්වත් සිරි ලංකාවෙ අපි නම් මේ අය ගැන අහලා තියෙන්නෙ අඩුවෙන්.

 ඒ හින්දම තමයි අද ජාලෙන් පෙරළලා ඒ අය ගැන බොලාට කියන්න මම කම්පනා කොලේ.

මේ කියන මුර්සි ජන වර්ගය ඔය කියන තරං ජනප්‍රිය වුණේ අමුතුම කාරණයක් නිසා...ඒ තමයි ඒ ගෝත්‍රයට අයිති කාන්තාවන් පළදින, ඒ අයට සුවිශේෂී වෙච්ච තොල් පලදනාව හෙවත් තොල් තැටිය (lip plate). ඒ ගැන තව ටිකකින් කියන්නම්. මේ කියන මුර්සි ජන වර්ගය ඉතියෝපියාවෙ ඕමෝ නදිය අසබඩ වගේම මාගෝ (Mago) කියන ජාතික උද්‍යානය තුළත් ජීවත් වෙනවා.

දේශගුණික සාධක හින්දයි ඒ අය වසරක් තුළ තමන්ගෙ වාසස්ථාන ස්ථාන දෙකකට අරන් යන්නෙ.

ඒ ශීත වැඩි කාලයට සහ රස්නය වැඩි කාලයට. නමුත් මුර්සි ජාතිකයො තමන්ගෙ ගව පාලන කටයුතු සහ වගා කටයුතු කරන්නෙ නම් ඕමෝ ගගේ ඉවුරු දෙපැත්තෙ. මේ ඇත්තන්ගෙ අසල්වැසියො විදිහට ජීවත් වෙන්නෙ තවත් ගෝත්‍රික කණ්ඩායම් කිහිපයක්.

ඒ අය ආරි Aari, බන්නා Banna, බොදි Bodi, කාරා Kara, ක්වේගු Kwegu, නියන්ගටොම් Nyangatom සහ සූරි Suri කියන නම්වලින් හඳුන්වනවා.

මුර්සි කාන්තාවො ගැන කියනවා නම් ඒ අය හැඩට ඉන්න හරිම මනාපයි. ඒ හින්දයි තද කළු පැහැයෙන් යුතු තමන්ගෙ සිරුරු සුදු පැහැය උපයෝගී කරගෙන අලංකාර කරගන්න හැම වෙලාවෙ ම මාන බලන්නෙ.

 

ඒ වගේ ම මම කලින් සඳහන් කරපු තොල් තැටියත් ඒ ඇත්තියො කෙරේ අමුතුම ආකර්ෂණයක් ඇති කරනවා කියලයි ඒ අයගෙ විශ්වාසය. මුර්සි දැරියක් වයස අවුරුදු 10 - 15 වගේ පහුකරගෙන එද්දි තමයි මේ තොල් තැටිය පලදන්න මූලික අඩිතාලම යොදන්නෙ.

තමන්ගෙ අම්මා.....එහෙමත් නැත්තං වෙනත් වැඩිහිටි කාන්තාවක් තමයි දැරිවියගෙ යටි තොල කපලා මේ කටයුත්තට මුල පුරන්නෙ. යටි තොල හරස් අතට කැපුමක් යොදලා ඒ තුවාල සුවවන තෙක් දැවයෙන් තැනූ ඇඹයක් රැඳවීම තමයි සිරිත. තුවාල සියල්ල හොඳ වුනාට පස්සෙ තරමක් විශාල ඇඹයක් මුව තුළ රඳවනවා. ඒ විශාල තොල් තැටියක් පලදින්න නම් ඇගේ තොල තව තවත් ඉදිරියට අදින්න අවශ්‍ය නිසා. මේ ක්‍රියාදාමය මාස කීපයක් පුරා කරන්නෙ මුව තුළ රදවන ඇඹයේ ප්‍රමාණයත් වරින් වර විශාල කරන ගමන්...

ඔන්න ඉතිං මේ විදිහට මාස කිහිපයක් ගත වුණාට පස්සෙ තමන්ගෙ පළමු තොල් තැටිය විදිහට සෙන්ටි මීටර 4 ක පමණ විශ්කම්භය තියෙන දැවමය හෝ මැටියෙන් තැනූ තොල් තැටියක් පැලඳුවත් එය පසුකාලීනව සෙන්ටි මීටර් 8 සිට 20 දක්වා පරාසයක විශ්කම්භයක් සහිත තොල් තැටියක් පැළදීම දක්වා දියුණු කරගන්න ඒ ඇත්තියන්ට හැකියි. මේ කියන අරුමපුදුම තොල්තැටියේ ප්‍රමාණය වැඩි වෙන්න වැඩිවෙන්න පති කුලයට යන මුර්සි තරුණියගේ වටිනාකමද වැඩි වෙනවා.

 ඒ කිව්වෙ මනාලයාගේ පාර්ශවයෙන් ඇගේ පවුල වෙත ලැබෙන දෑවැද්දේ වටිනාකමත් ඉහළ යනවා. බොහෝ විට දෑවැද්ද විදිහට ලැබෙන්නෙ හරකුන්. මුර්සි තරුණියන් හට තොල් තැටිය පැළදීම අනිවාර්ය නැතත් එය නොපලදින කාන්තාවන් සමාජයේ ගැරහුමට ලක්වීම, විවාහයේදී දෑවැද්ද නොලැබීම, තමා සුන්දර යැයි මුර්සි තරුණයන් විසින් නොසැලකීම යන කාරණාවලට මුහුණ දිය යුතු වෙනවා.

හැබෑටම මේ වගේ වේදනාකාරී සහ වෙහෙසකාරී පළදනාවක් කාන්තාවන්ට පලදින්න හේතුභූත වෙච්ච කාරණාව මොකක්ද...මේ ගැටලුව ඔබට ඇති වෙන්න හැකි නිසා ඒකටත් උත්තරයක් දෙන්නම්. ඈත අතීතයේ වහල් වෙළදාම පිණිස අප්‍රිකානුවන් සොයාගෙන පැමිණි අරාබි ජාතිකයන්ගෙන් ගැලවී සිටීමේ උපායක් විදියට තමයි මුලින්ම තොල් තැටිය කරළියට පැමිණ තියෙන්නෙ. මෙය පැලදි අවස්ථාවේ වගේ ම එය පැලද නැති අවස්ථාවෙත් මුර්සි කාන්තාවගෙන් දිස්වන ආසාමාන්‍ය පෙනුමට වහල් වෙළෙදුන් කැමති නොවෙන්න ඇති.

මුර්සි සංස්කෘතිය තුළ සුවිශේෂ ස්ථානයක් හිමිව තියෙන තොල් තැටිය මේ කාන්තාවන් නිතරම පැලද සිටින්නේ නෑ. තැටියේ බර වගේම එය පැළද සිටීමේදී දැනෙන අපහසුතාවත් එයට හේතූන්. නමුත් එය ඇයට ගලවා තැබිය හැක්කේ තමාගෙ නිවස තුළදි, නින්දට යන විටෙක හෝ කාන්තාවන් පිරිසක් සමඟ සිටින විට යන අවස්ථාවන්වලින් එකකදී පමණයි. එහෙත් පුරාතනයේ සිට පැවත එන මේ සිරිත්විරිත් ඒ ආකාරයෙන් ම සමහර විටක ඉටු වෙන්නෙ නෑ. තමා පලදින තොල් තැටිය තමා විසින් ම සාදා අලංකාර කර ගැනීමත් මේ සමාජයේ සිරිතක්.

ලීයෙන් හෝ මැටියෙන් තැටිය සෑදිය හැකි වුවත් බොහෝ විට එය සකසන්නෙ මැටියෙන්. බිම වැටීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් තැටිය පළුදු වූ විටෙක, එහෙමත් නැතිනම් තැටියේ ප්‍රමාණය විශාල කළ යුතු වූ විටෙක අලුත් තැටියක් තමා විසින් ම සාදා ගැනීමට මුර්සි කාන්තාවන් හැම විට ම ක්‍රියා කරනවා.

තැටියේ අනර්ඝ නිමාවක් ලබා ගැනීමට සමහර විටෙක තමාගේ ම මවුකිරි පවා යොදා ගන්නා බවයි කියන්නේ. සැමියා හෝ මුර්සි පිරිමින් ඉදිරියේ ඇය තොල් තැටිය සහිතව පෙනී සිටීම අනිවාර්යයි. තොල් තැටිය පැළඳ සිටින මුර්සි කාන්තාවකගෙන් සැමියා කෙරෙහි ඇගේ හිතේ ඇති ගෞරවය පිළිඹිඹු වෙනවා කියලත් මුර්සි ජන සමාජය විශ්වාස කරනවා.

මුර්සි පිරිමි පාර්ශවයත් කාන්තාවන් වගේ ම තමන්ගෙ ශරීර සුදු පැහැයෙන් අඳින විවිධ හැඩතල මඟින් අලංකාර කරගන්න මනාපයි. පහළ ඕමෝ මිටියාවතේ ඉන්න බොහෝ ගෝත්‍රිකයන්ටත් මේ පුරුද්ද තියෙනවා. ඉතා තද කළු හමක් තියෙන මේ ඇත්තන්ට පච්ච කෙටීමෙන් පලක් නැති නිසා ඒ වෙනුවට භාවිත කරන්නෙ හංවඩු ගසනවාට සමාන ක්‍රමයක්. Scarification යන ඉංග්‍රීසි වදනින් තමයි මෙය මුල් ලිපිය තුළ හඳුන්වා තියෙන්නෙ. එහිදී කරන්නෙ සම තුළ ගැඹුරට ඇති කරන කැපුම් නිසා ඇති වන තුවාල විවිධ ක්‍රම භාවිත කරමින් සුව කර අවසානයේ සිරුරේ යළි කිසිදිනක නොමැකෙන කැළලක් ඇති කිරීම.

තමාගේ අතින් මිය ගිය විරුද්ධවාදීන් සංඛ්‍යාව, තමා අයත් ජන වර්ගය, ආගමික විශ්වාස හා ඇදහිලි, විවාහක අවිවාහක බව වැනි කාරණා මේ ක්‍රමය මගින් විවිධ ගෝත්‍ර තම තමන්ගේ ශරීරවල සටහන් කරනා බවක් තමයි කියවෙන්නෙ. කාන්තා පිරිමි දෙපාර්ශවයට ම මේ ක්‍රමය අදාළයි.

මුර්සි ග්‍රෝතික තරුණයන්ට තමන්ට විවාහ වෙන්න හිතුනා කියලා ආවට ගියාට විවාහ වෙන්න ඉඩක් නෑ. ඒ ඇත්තො ඒ සඳහා කරන විශේෂ පරීක්ෂණයකින් සමත් විය යුතුමයි. ඩොංගා Donga නමින් හඳුන්වන ලීයක ආධාරයෙන් ප්‍රතිමල්ලවයෙකු සමඟ කරනා සටනකින් ජය ගැනීම අනිවාර්යය සාධකයක්. මේ ලීයෙන් එකිනෙකාට වැරෙන් පහර දීම තමයි සටනේ ස්වභාවය. සටනේ ජයග්‍රාහකයාට තරුණියන් කණ්ඩායමක් අතරින් තමන්ට කැමති තරුණියක් විවාහය සඳහා තෝරා ගැනීමට අවස්ථාව ලැබෙනවා.

කාලයේ අවෑමෙන් මුර්සි ජනසමාජය තුළත් විවිධ වෙනස්කම් ඇති වී තිබෙනවා....හරක් පාලනයෙන් සහ වගා කටයුතුවල නිරතවීමෙන් තමන්ගෙ එදිනෙදා ජනජීවිතය සකස් කරගෙන හිටිය ඒ ඇත්තො අත වර්තමානය වන විට AK 47 රයිෆල් පවා දකින්න පුළුවන්. අසල්වාසී ගෝත්‍රික කණ්ඩායම්වලින් එල්ල විය හැකි ආක්‍රමණයන් වලක්වාගැනීම තමයි එවැනි ආයුධ පරිහරණයෙන් ඔවුන් බලාපොරොත්තු වන්නෙ.

මුර්සි ගෝත්‍රිකයො කියන්නෙ ස්වභාවයෙන් ම වහා කිපෙනසුලු සහ සටනට ඉතා කැමති ජන කොට්ඨාසයක්. අප්‍රිකානු කලාපයට සංචාරකයන් ලෙස පැමිණෙන බහුතරයක් මේ ගෝත්‍රිකයන් දැක බලාගන්න එන්නෙ ඒ අයගෙ සමාජය තුළ තියෙන අමුතුම හැඩතල වගේ ම අරුම පුදුම තොල් තැටි නරඹන්න. මුර්සි කාන්තාවො තමන්ගෙ ඡායාරූප ගන්න සංචාරකයන්ට ඉඩ දෙන්නෙ හරිම කැමැත්තකින්. එහි රහස තමයි ගන්නා සෑම ඡායාරූපයක් ම ගනන් කර ඒ සඳහා නියමිත මුදලක් ලබා ගැනීම ඔවුන්ට ආදායමක් ගෙනදීම.

නූතන අධිවේගී සමාජ ක්‍රමය හමුවේ උඩුගම් බලා පිහිනන මෙවැනි ජන වර්ග තම අනන්‍යතාව රැකගෙන තවත් දිගු කාලයක් ජීවත් වේදෝයි විටෙක මට සිතෙයි.