ලෙඩ වෙන ගියර්

ලෙඩ වෙන ගියර්

වාහනේ හදවත, ගියර් බොක්ස් එකත් එක්ක ගෙවෙන තුන්වෙනි සතියේ ලෙඩ වෙන ගියර් ගැන කතා කරන්න හිතුණා.අපිටත් දාහක් ලෙඩ හැදෙන එකේ ගියර් බොක්ස් එකක් ලෙඩ වෙන්න බැරි කමක් නෑනේ.

 අසනීප වුණු වෙලාවට ඔළුවේ ඉඳන් පොරෝගෙන නිදාගන්න අපිට කිසි ම තහනමක් නැහැ තමයි.

 හැබැයි වාහනේ ලෙඩ වුණු වෙලාවට අපි ඒ තරම් නිවාඩුවක් ඒ අයට දෙන්න කැමැත්තක් නැති එකනේ ඇත්ත ම කතාව.

ඒ හින්දම “පොඩි හෙම්බිරිස්සාවක් අමතක කරවලා අදත් යමං ගමනක්” කියලා අපි කරන තර්ජනය වාහනේට නිව්මෝනියාව හදන්න බැරි කමක් නැහැ. ඒ නිසා ඒ ලෙඩ හැදෙනකොට ම ප්‍රතිකාර දෙන්න අමතක කරන්න එපා.

ඔටෝ ගියර් බොක්ස් එක කොහොමද ලෙඩ වෙන්නේ? ඔටෝ ගියර් දෙන කරදරකාරී ම ලෙඩක් කියලා වාහන කාර්මිකයෝ හඳුන්වන්නේ “automatic Transmission Slipping” කියන ලෙඩේ. ඉතින් මේ කතාව ඒ ගැන.

ඔටෝ ගියර් වාහනයක් D එකට දැම්මම පාඩුවෙ ගියර් මාරුවෙවී smoothly වාහනය ධාවනය වෙන්න ඕන කියලයි අපි බලාපොරොත්තු වෙන්නේ.

එහෙම වෙන්නෙ නෑ නම් ඒ ඉතින් ලෙඩක් තමයි. transmission එක D එකේදි යන්න බෑ ඕයි කියන්නා වගේ යනවා නම්, ඒ කියන්නෙ කොච්චර රේස් කරත් වාහනේ යන්නෙ හෙමින් නම් හරි එකම වේගෙන් නම් හරි, තවත් විදිහකට කිව්වොත් එන්ජිමේ වේගෙ වැඩි වුණාට වාහනේ වේගෙ වැඩි වෙන්නෙ නැත්නම් ඒ කියන්නෙ transmission slip එකක්.

ඒ වගේ ම තවත් ලක්ෂණයක් තමයි වාහනය ධාවනය කරගෙන යනකොට, සාමාන්‍යයෙන් rpm3000 වගේ පනිනකොට ගියර් එක පැනීම හෝ නොවැටී තිබීම.

අන්න එතකොට ගියර් බොක්ස් එක ලෙඩ වෙලා කියලා තේරුම් ගන්න ම වෙනවා.

ගියර් ඔයිල් මට්ටම අඩු වීම තමයි මුලික ම හේතුව මේ සිද්ධියට. Torque converter එකේ සිට engine torque එක transmission එකට යවන්න converter එක ඔයිල්වලින් පිරිලා තියෙන්න ඕනේ. ගියර් මාරු වීම ක්‍රමවත්ව වෙන්න, අභ්‍යන්තර පීඩනයට අවශ්‍ය තරම් ඔයිල් තියෙන්නත් ඕනේ. ඔයිල් අඩු වුණාම ඒ ක්‍රියාවලිය නිසි පරිදි වෙන්නේ නැහැ.

ඒ නිසා නිතර ම ඔයිල් මට්ටම පරික්ෂා කරන්න. ලීක් තියෙනවද බලන්න. අමතක නොකර ඔයිල් අඩු වෙන්න හේතුවත් හොයලා බලන්න.

තව හේතුවක් තමයි අභ්‍යන්තර ඔයිල් මට්ටම අඩු වීම, Automatic transmission එකක් නිසියාකාරව වැඩ කරන්න අවශ්‍ය අභ්‍යන්තර පීඩනයක් තියෙනවා. මේ පීඩනය දෙන පොම්පය ගෙවී ගිහින් හෝ ඔයිල් ෆිල්ටරය හෝ pickup tube එක අවහිර වෙලා තිබ්බොත් transmission එකට ගියර් මාරුකිරීම සඳහා අවශ්‍ය නිසි පීඩනය ලැබෙන්නෙ නෑ. සිංහලෙන් කිව්වොත් පොම්පෙ ගෙවිලා.

 

එතකොට transmission එක rebuilt හෝ replace කරන්න වෙනවා. ෆිල්ටරේ අවහිර වෙලා තිබ්බොත් transmission pan එක ගලවලා, ඔක්කොම ඔයිල් ටික අයින් කරලා, අලුත් ෆිල්ටරයක් දාලා, transmission pan එකත් පිරිසිදු කරලා සවි කරන්න පුළුවන්.

Pressure regulation හෝ control එක දෝෂ සහිත වීමත් ගැටලුවක්.

Automatic transmissionහි අභ්‍යන්තර ඔයිල් පීඩනය පාලනය කරන්නෙ pressure regulator එකකින් හෝ pressure solenoid valve එකකින්. එහි pressure gauge එකක් සම්බන්ධ කරලා එන්ජිම idle තියෙනකොට විවිධ ගියර්වල පීඩනය මනින්න පුළුවන්. එම අගයන් සාමාන්‍යයෙන් තිබිය යුතු අගයන්ට වඩා අඩු අගයක් ගන්නවා නම් පරිපථය දෝෂ සහිතයි. ඒකට තියෙන එක ම විසඳුම අලුතෙන් pressure regulator valve එකක් හෝ control solenoid එකක් සවිකිරීම. තිබිය යුතු අගයට වඩා වැඩි අගයත් තිබුණ හොත් transmission එක ම rebuild හෝ replace කරන්න වෙනවයි කියලත් අමතක කරන්න එපා.

මේ ලෙඩේ තියෙද්දී වාහනේ ගමන් බිමන් යන්න හිතන්නවත් එපා. හේතුව තමයි, ගියර් ස්ලිප් වෙද්දී ඝර්ෂණය වැඩියි. ගියර් ඔයිල්වල උෂ්ණත්වයත් වැඩි වෙනවා. ඒ නිසා ට්‍රබල් එක දැනෙනකොට ම පොඩි රෙපයාර් එකකින් වැඩේ ගොඩ දාගන්න. මොකද පහු පහු වෙද්දී කොහු කොහු වෙලා, වාහනේ ලෝක ලෙඩක් වෙන්න අනිවා පුළුවනි.

අනික තමයි බාල ඔයිල් වර්ග පාවිච්චි කරන්නත් එපා. මේ අවුල එන්න ලොකුම හේතුව බාල ඔයිල් වර්ග.

ඒ කතාව එහෙමයි. හැබැයි ලෙඩ ගැන කතාත් තව බොහොමයි. ඒ හැම ලෙඩක් ම උපදින හැටිත් ලේසියෙන් ගැලවෙන හැටිත් කතා නොකර බෑනේ.

ඒ නිසා ඒ ගැනත් ඉස්සරහට කතා කරමු.