එන්න මල් කැකුළකට පැන් පොදක් ඉසින්න

එන්න මල් කැකුළකට පැන් පොදක් ඉසින්න

දිගු කලක් තිස්සේ පැවති මහා නියඟයකින් පසු පොළෝතලය මතට ඇදහැලෙනා පළමු වැහි දිය පොද හෙවත් අක් වැස්සකින් කෙතරම් සිත් නිවේවිද? සැනහේවිද..? කාෂ්ටක අව්වත් සමඟින් පොරබදා හෙම්බත් වන මිනිසුන්ට ජීවිතය කෙතරම් කටුක වුවත් ජීවිතය හැර දා පලා යා නොහැකියි.

 ඒ උරුමය යැයි කියා සුසුමකින් ළය සනසා ගන්නවා මිසක, හිස් අහස දෙස බලා වැස්ස වලාහක දෙවියන්ට කන්නලව් කර දිය පොදක් අයදිනවා මිසක ඔවුන් වෙන කුමක් නම් කියා කරන්නද...?

නාගරික ලෝකයෙන් ඈත්ව නොයිඳුල් අහිංසක ලෝකයක හුස්මගන්නා කුඩා දරුවන්ගේ ජීවිත ද එසේමයි. ජීවිතය කෙතරම් නියං සායෙන් පිරී ඉතිරී ගිය ද ළපටි වන මල් කැකුළු කෙසේ හෝ පිපෙන්නට හීන දකිනවා.

කුස්සිය මුල්ලේ තම්බා ඇති දෙයක් කුසගින්න නිවාගන්නට බඩට දාගන්නා ඔවුන් කහට පැල්ලම් වැදී දිරාපත් වූ පාසල් නිල ඇදුම් හැඳ, පොත් පැන්සල් ද රැගෙන පාසල වෙත දිව යන්නේ අකුරක් හෝ ඉගෙන ජීවිතය දිනීමේ ආසාවෙන්. බාටා කෑලි දෙකක් හෝ ඇඟිලි එළියට පනින ඉරී ගිය සපත්තු පය ලා පාසල් යන දරුවන් තවමත් හිඳීම අරුමයක් නෙවෙයි.

ජීවිතේ දුෂ්කරතම අගාධයේ හිඳින ඔවුන්ට ජීවිත ජය ගත හැකි එක ම මඟ අධ්‍යාපනයයි. ඉතින් නිවී නිවී ගැස්සෙන කුප්පි ලාම්පු එළියෙන් අකුරු වනපොත් කරනවා මිසක කුලී වැඩට ගොස් ජීවිත කාලය ම ලේ දහඩිය එක්ක දුක් විඳින්නට ඔවුන් කෙසේ හීන දකින්නද ?

අසරණ දුගී දුප්පත් දරුවන් ලෙස ඉපිද විටෙක ඉගෙන ගන්න මුදල් සොයා කුලී වැඩට අත් උදව් දෙන්නට දරුවන්ට ද යන්නට සිදු වෙන අවස්ථා ඕනි තරම්. නමුත් එසේ ඈත දුෂ්කර ගම් වල හිද දහසකුත් බාධක මැද ජීවිතය දිනා උසස් අධ්‍යාපනය ලබන්නට සරසවියට ගොඩවෙන සිසුන් ද ඕනි තරම්. නමුත් එසේ ම අකුරක් ඉගෙනීමට අවශ්‍ය පොත්, පෑන්, පැන්සල් ඇඳුම් පැළදුම් ගන්නට අතේ සොච්චමක්වත් නැතිව, තරගකාරී අධ්‍යාපන රටාව එක්ක ඔට්ටු වෙන්න දැනුම සපයා ගන්නට පොත් පත්තර නැතිව සිය අධ්‍යාපනය අත හරින්නට වන දරුවන් ද අනන්තයි අප්‍රමාණයි. දුක් විඳ හෝ මව්පියන් හා එක්ව කුලී වැඩට යන ඔවුන්ගේ අනාගතය ගැන වගකීමක් ගන්නට කවුරුන් නම් කියා හිදීවීද ?

සියල්ල මෙසේ වන්නට ඉඩ දී නිහඬව බලා හිඳින්නේ කෙසේ දැයි කල්පනා කළ සරසවි සිසුන් කිහිප දෙනෙකු එක්ව "IMCD"නමින් සංගමයක් පිහිටවා ගන්නේ මේ දරුවන් වෙනුවෙන් යමක් කරන්නට ඕනා වූ නිසායි. IMCD යනු නිකම්ම නමක් ද නොවේ. සමාජ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික සහයෝගිතාව (International Movement for Community Development)එහි අරුතයි. ජීවිතයේ දුක දන්නා නිසාවට, අධ්‍යාපනයේ වටිනාකම දන්නා නිසාවට අසරණ දරුවන්ට හයියක් වන්නට සිතාගෙන ආරම්භ කළ ද IMCD යනු මහා වත්කමක් ඇති තැනක් ද නොවේ.

සරසවි අධ්‍යාපනය ලබන දරුවන් ලෙසින් තමන්ගේ ද එදිනෙදා වියදම් සොයා ගන්නා අතර තුරේ ම තැනින් තැන ඇවිද, විවිධ පුද්ගලයින් හමුව එසේ ම හැකියාවන් තුළින් උපයාගන්නා මුදල් ද එක්කර මේ දරුවන් වෙනුවෙන් ආධාර එක්කාසු කරනා IMCD සාමාජිකයින් ඊළඟට ඈත දුෂ්කර ගම් දනව් හි හුස්ම ගන්නා අහිංසක දරුවන් සොයා යන්නේ පාසල් උපකරණ, පොත් පත් ඇතුළු ඔවුන්ට අවශ්‍ය බොහෝ දෑ අරගෙනයි. ඒ පෙරළා කිසිවක් බලාපොරොත්තුව ද නොවේ.

අහිංසක මල් වැනි දරුවන්ගේ මුවග පිපෙනා සිනාවකින් පමණක් තෘප්තිමත් වන මෙම තරුණ පිරිස ගැන දිනමිණ y අපි ලියන්නට සිතුවේ ද ඒ නිසාවෙන්මයි.

ලක්දිව පුරා දහස් ගණන් පාසැල්වලට, ආයතනවලට, පුස්තකාලවලට ලක්ෂ ගණනින් පොත් මෙන් ම පාසල් උපකරණ ලබා දී ඇති මෙම තරුණ කැල 2012 වසරේ පටන් මේ ලෙසට සමාජ මෙහෙවරක නියැලෙන්නේ ඔවුන්ගේ ජීවිතවල ද වූ දහසකුත් දුෂ්කරතා බාධක මැද්දෙයි. "පොතක් දී අනාගතයක් එළිය කරමු" ( DONATE A BOOK, LIGHT A FUTURE ) යන්න සිය තේමාව කරගත් ඔවුන් Needy Readers, Color a Dream, path to wisdom, My dream School, Amuzed යනුවෙන් සිය ව්‍යාපෘති බෙදා වෙන් කර ඇත්තේ සිය සමාජ මෙහෙවර තව තවත් අරුත් ගන්වමින්. විටක සිය දැනුම, අධ්‍යාපනය වැඩසටහන් තියමින් බෙදා දෙන ඔවුන්...

විටෙක සායම් මැකී බොඳ වී ගිය පාසල් කරා ගොස් ඒ පාසල් බිත්ති මත තීන්ත ගා, පාසල් පුටු බංකු ද වර්ණ ගන්වන්නේ දින දෙක තුන දුෂ්කර ගම්මානවල කොහේ හෝ නැවතී හිඳිමින්. වෙසක්, අවුරුදු, නත්තල් සැමරිය නොහැකිව හිඳිනා අසරණ සිත් සොයා යන මෙම තරුණ පිරිස ඔවුන් සමඟින් සතුටින් එකී උත්සව, වැඩසටහන් සංවිධානය කරන්නේ, මහලු අය මෙන්ම අනාථ දරුවන් අභිමුවට ගොස් ඔවුන් නහවා කවා පොවා සනසන්නේ මේ අපේ ශ්‍රී ලාංකීය තරුණ පිරිසක් නේද යන ආඩම්බරයත් හැම හිතකට ම ගෙන දෙමින්.

කොළඹින් රෑ මැදියමේ එකට එකතුව පාසල් සොයා සිය ගමන ආරම්භ කරන IMCD සාමාජිකයින් විටක අවදිවන්නේ යාපනේ තල් ගස් අස්සෙන් පොළොවට වැටෙන හිරු රැස් සමඟින්. එහෙමත් නැතිනම් උදේ පාන්දර මන්නාරමේ මුහුදේ ලුණු රසය එක්ක මුහුණට වැටෙන පිච්චෙන ගතියයි, අනුරාධපුරේ පදවිය වැනි දුෂ්කර පළාත්වල හැංගිච්ච කෑලෑබද ගමක මල්වල පුසුඹයි ඝන සැරේට මුහුණට වද දෙන දුවිහිලි සුවඳයි එක්ක. ඈත කඳු අස්සේ කම්මුල සීතලෙන් ගල් ගැහෙද්දී පාසල් සොයා ගියේ ද ඔවුන්මයි.

 හැබැයි කොයිතරම් ගමන දුෂ්කර වුව ද හැමදාම පුංචි ඈයින්ගේ සතුට පිරිණු ඇස්, නොයිඳුල් හිනාවන්, හුරතල් කතා බහ අභිමුව හැම දුෂ්කරකමක් ම අමතක කරන IMCD තරුණ පිරිස් සිය කාර්ය මේ වන විට නොපිරිහෙලා ඉටු කරමින් හිඳිනවා. කිසිවක් ආපිට බලාපොරොත්තු නොවී, සිය ජීවිතයෙ තාරුණ්‍ය අසරණ සිත්වලට සිනාවක් දෙන්නට කැප කළ ඔවුන් සැබෑවට මේ රටට ආඩම්බරයක්. ඔබටත් හැකියි ඔවුන් හා එක්ව අසරණ ජීවිතවලට හයියක් වෙන්න. අහිංසක ජීවිත එළිය කරන්නට උදව් වන්නට.

0774570889 – අමර්
0777174993 - අරුණි
0713687837 – තිමාලි
http://imcds.org