යංකෝ ට්‍රිංකෝ

යංකෝ ට්‍රිංකෝ

කොළඹ අහස වහගත්තු වැහි බිත්තර එකින් එක පුපුරලා, පොළොව තෙතබරියන් කරද්දි ඒ වැස්සට යටින් 2017 ජූනි 02දා සවස්වරුවේ MegaaHike කණ්ඩායමේ අපි කොළඹ කොටුව දුම්රියපොළට එක් රැස් වුණේ නවතම ගවේෂණ වැඩසටහන විදිහට මහවැලි ගඟ මුහුදට වැටෙන ත්‍රිකුණාමලේ ගවේෂණ චාරිකාව වෙනුවෙන්.....

කාලයකට කලින්, ඒ කියන්නේ රටේ නිරිතදිග ප්‍රදේශ ගංවතුරෙන් බැටකන්නට කලින් සියලු සැලැසුම් සකසා ගෙන තිබූ නිසා අපිට මේ වැඩසටහන අවලංගු කිරීමේ හැකියාවක් තිබුණේ නෑ. නැත්නම් අපිත් එක්ක වෙනදට එකතු වෙන ගොඩක් දෙනෙක් වැස්ස, ගංවතුර හෝ එහි අතුරුඵල නිසා වැඩසටහනට සහභාගී වීමට නොහැකි මට්ටමක තමයි අවසාන මොහොතේ සිටියේ...

මොනතරම් බාධක මැද්දේ වුණත් දුලිප්, මම, ළහිරු,සන්තුෂ්, හර්ෂ, ඉෂානි සහ නිමේෂා කොළඹින් මෙම වැඩසටහනට එක්වුණු අතර සුරංජ ත්‍රිකුණාමලයේදී අපිත් එක්ක එකතු වෙන්න නියමිතව හිටියා...

කොළඹින් රාත්‍රී 9.30ට පිටත් වෙන රාත්‍රී තැපැල් දුම්රියට නැඟුණු අපි වරින් වර ඇහැරෙන කෙටි නින්දක පහස ලබමින් උදේ හය හමාර පමණ වන විට ත්‍රිකුණාමලයට ළඟාවුණා..

ත්‍රිකුණාමලය නගරය

ලංකාවේ ප්‍රධාන ජන වර්ග තුනම සම සමව ජීවත්වන ත්‍රිකුණාමල නගරය "සහජීවනයේ නගරය" ලෙස හැඳින්වෙනවා... ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අගනගරය වන අතර දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,727 ක්. 2012දී සම්පූර්ණ ජනගහනය 378,182 ක්. ජනතාවගේ ප්‍රධාන ජීවිකාව ගොවිතැන සහ ධීවර කර්මාන්තය විදිහට හඳුන්වන්න පුළුවන්.

ත්‍රිකුණාමල චාරිකාවෙදි අපේ ගමන් රථයේ රියදුරා වන යූසුෆ්, දුම්රිය පොළෙන් එළියට බහින අපිව පිළිගන්න සූදානමින් හිටියා... ඔහුත් සමඟ සුප්‍රකට ලන්දේසි බොක්ක (Dutch Bay) මුහුදු තීරයේ පිහිටි අපගේ නවාතැනට ගිය අපි මුහුණකට සෝදාගෙන, අලුත් ඇඳුම් ඇඳගෙන අලුත් දවසක අලුත් වැඩසටහනකට සුපසන් සිතින් සූදානම් වුණා...

අපි නවාතැනෙන් එළියට බහිනකොටම පාරෙන් අනිත් පැත්තේ අයිනේ තණකොළ බුදිමින් හිටියේ අපි වගේම අහිසංක මුවන් රංචුවක්.... සාමාන්‍යයෙන් මුවන් බල්ලන්ට දක්වන්නේ දැඩි භීතියක් වුවත් සහජීවනයේ නගරයේ අරුත මොනවට පැහැදිලි කරමින් ඒ අසලම වීදි සරන සුනඛයෙක් හිටියත්, ත්‍රිකුණාමලයේ මුවන් රංචුව, වගේ වගක් නැතිව තණකොළ බුදිමින් සැහැල්ලුවෙන් හිටියා...

අපි ඊළඟට පිවිසුණේ Dutch Bay වෙරළ තීරයට... ත්‍රිකුණාමල නගරයේ සංචාරකයින් බහුලවම ගැවසෙන වෙරළ තීරය වෙන්නේ මේ වෙරළ තීරය තමයි. කොළඹ ගාලුමුවදොර වෙරළ තීරය හා සමානව ම පෙම්වතුන්, කුඩා ළමුන්, පවුලේ සාමාජිකයින්ගෙන් දවස පුරා පිරී ඉතිරෙන මෙම වෙරළ තීරයේ සංචාරකයින් සඳහා ජලක්‍රීඩා පහසුකම් පවා ක්‍රියාත්මකයි. මීටර් පන්සියයකට අධික දුරකට පවා මුහුදේ අවිද යා හැකි මෙම මුහුදු තීරයේ දැඩි රැල්ලක් නම් ඇත්තෙම නෑ. උදෑසන නිසා අපි එහි පිවිසෙනකොට හිටියේ ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් පමණයි...

Dutch Bay වෙරළ තීරය අවසන් වන්නේ ත්‍රිකුණාමලය ලන්දේසි බළකොටුව සීමාවෙන්... බළකොටුවට ඉදිරියෙන් පිහිටා තිබෙන්නේ සංඝමිත්තා විහාරය. වන්දනා අරමුණෙන් පැමිණෙන පිරිස් සඳහා නවාතැන් පහසුකම් පිරිනමන සංඝමිත්තා විශ්‍රාම ශාලාව පිහිටා තිබෙන්නෙත් මෙම විහාරයට යාබදවයි. රට පුරා කොහේ ගියත් හමුවන බව කියන, සුප්‍රකට මාතර බත්කඩේ තිබෙන්නෙත් ඒ ආසන්නයේමයි. ගෝකණ්න රාජමහා විහාරය සහ දෙස් විදෙස් සුපතල තිරුකෝණේෂ්වරම් හින්දු කෝවිල පිහිටා තිබෙන්නේ ලන්දේසි බලකොටුව තුළයි.

ගෝකණ්න වරාය

සහජිවනයේ නගරය ලෙස අද දවසේ හැඳින්වූවත් අතීත රජ සමයේ පටන් වරෙක සිංහල රජවරුන් අතිනුත්, වරෙක ලංකාව ආක්‍රමණය කළ චෝල රජවරුන් අතිනුත් පාලනය වුණු ත්‍රිකුණාමලයේ, ආගමික ගැටුම් සහ ජාතීන් අතර ගැටුම්වලින් හිඟයක් තිබිලා නම් නෑ... ලෝකයේ දෙවැනියට විශාල ස්වභාවික වරාය වන ත්‍රිකුණාමලයේ ගෝකණ්න වරාය රාවණා සමයේ පටන්ම ඉතිහාස කතන්දරවල හමුවන සාධකයක්.... මෙම වරාය හෙක්ටයාර 1630ක පමණ ජල වපසරියකින් යුක්ත වන අතර වරකට නැව් දහසක් පමණ නවතා තැබීමේ හැකියාව ඇති බව සඳහන්.

 බුදුන්වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදුවන්නේත් ගෝකණ්න වරාය හරහා බව කියවෙනවා... ලංකාවේ පළමු වෙහෙර ඉදිකරන තපස්සු භල්ලුකත්, විජයගෙන් පසු රජවන පණ්ඩුවාසදේව සේම ඔහුගේ බිසව බවට පත්වන භද්දකච්චායනා දේවියත් මෙරටට ගොඩබසින්නේ ගෝකණ්න වරායෙන්....

ලන්දේසි බලකොටුවේ මහ විශාල තාප්පය අයින දිගේ ඉදිරියට ඇවිද ගිය අපි එහි පිවිසුමට ළඟාවුණා...පැරණි කාලතුවක්කු කිහිපයක් රඳවා තිබෙන දොරටුව ආසන්නයේ ම දකුණු අතට වන්නට ගණදෙවි පිළිමයක් සහිත පුංචි පුල්ලේයාර් දේවාලයක් දක්නට ලැබුණා... හින්දු ආභාසය සහිත ප්‍රදේශවල කුඩා සංහිඳ ලෙසින් පුල්ලෙයාර් දේවාල පැවැතීම සාමාන්‍ය ලක්ෂණයක්.

ගෝකණ්න විහාරය

ප්‍රතාපවත් කොටු දොරටුවෙන් ඇතුළත් වුණු අපි දෙපස අරලිය ගසින් හැඩවුණු ප්‍රධාන වීදිය දිගේ ඉදිරියට ගියා... ඒ යනවිට වම් පසින් ඓතිහාසික ගෝකණ්න විහාරය පිහිටා තිබුණා... විහාරාධිපති කහටරුප්පේ ධම්මාලංකාර හිමියන් පැවැසූ පරිදි මෙම විහාරය කලකට පෙර පැවතී ඇත්තේ වත්මන් කෝණේෂ්වරම් පූජා භූමිය පිහිටි කඳු මුදුනේ ය.

අද වන විට පැරණි බෝධියේ අංකුරයකින් ස්ථාපිත කළ නව බෝධිය ද, නව චෛත්‍යය ද, නව බුදු පිළිමය ද සහිත ගෝකණ්න විහාරය ලන්දේසි බළකොටුවේ බටහිර සීමාවේ කොටු බැම්මට යාබදව හුදකලාව පවතී...

ගෝකණ්න විහාරයෙන් නික්මුණු අපි ඊළඟට කෝණේෂ්වරම් කෝවිල හොයාගෙන කඳු මුදුනට ගියා... ඒ යන අතරමඟින් දෙකට බෙදෙන පාරේ දකුණට විහිදෙන මාර්ගය කෙළවර වන්නේ සුප්‍රකට ලවර්ස් ලීප් කඳු මුදුනෙන්.... ලන්දේසි පාලන සමයේ නාවික හමුදා සෙබළෙකුට පෙම් බැඳි මරීනා නමැති ලන්දේසි ජාතික තරුණියක් සිය ආදරවන්තයා නැව් නැග, සිය රට යෑම දරාගත නොහැකිව මෙම ස්ථානයෙන් පැන සියදිවි නසාගැනීම හා ඊට පසුකාලීනව ප්‍රේම සබඳතා හේතුවෙන් බොහෝ දෙනකු මෙම ස්ථානයෙන් පැන සියදිවි නසා ගැනීම නිසා මේ කඳු මුදුන "ලවර්ස් ලීප්" නමින් හඳුන්වනවා. කඳු මුදුනේ කෙළවර ඇත්තේ අඩි 150කට වඩා වැඩි ප්‍රපාතාකාර බෑවුමක්... ප්‍රේමය නිසාවෙන් හෝ වෙනත් කිසියම් හේතුවක් නිසාවෙන් එම ස්ථානයෙන් මුහුදට පනින අයෙක් ජීවත්වනු ඇතැයි නම් සිතිය නොහැකියි. ඒ නිසාම පොලීසියෙන් එම ස්ථානයට පිවිසීම සීමා කර තිබෙනවා...

කෝනේෂ්වරම් කෝවිල

එම බෑවුම වම් පසින් කඳු මුදුනේ කෝනේෂ්වරම් කෝවිල පිහිටා තිබෙනවා... මේ කඳු මුදුන් දෙක අතර පිහිටි තියුණු කැපුමක් බඳු කොටස හඳුන්වන්නේ "රාවණා කැපුම" නමින්....සූර්ය නමස්කාරය සේ ම ශිව දෙවියන් ඇදහීම ද සිදු කළ රාවණයන් ශිව දෙවියන් හමුවේ කළ ප්‍රාර්ථනයක් ඉටු නොවීම පිළිබඳ උරණ වී, මෙම කෝවිල් බිම පිහිටි කඳු මුදුන දෙපළු කිරීමට තම කඩුවෙන් කෙටූ ස්ථානය අද 'රාවණා කැපුම' ලෙස හඳුන්වන බව ඒ අසල පිහිටි පුවරුවක දැක්වෙනවා.

සම්ප්‍රදායක් විදිහට කෝවිලකට ඇතුළු වන විට දෙපා සෝදා ඇතුළු වීම සිදුකළ යුතුයි. අපිත් ඊට ගරු කරමින් පසෙක ඇති භාජනයකින් දෙපා සෝදාගෙන, විශාල ශිව දේව ප්‍රතිමාවක් සහිත තිරුකෝණේශ්වරම් පූජා භුමියට ඇතුළු වුණා... බෞද්ධ රටක් ලෙස හැඳින්වූවත් සැළකිය යුතු දෙමළ ජනතාවක් වෙසෙන රටක්, වරින් වර චෝල ආක්‍රමණයන්ට ලක්වූ රටක් ලෙස අපේ රටෙත් වසර ගණනක අතීතයට දිවෙන සැළකිය යුතු හින්දු අනන්‍යතාවයක් සහිතයි කියන කාරණය අවිවාදිතයි. ලංකාව වටා මුහුදු වෙරළට යාබද ස්ථාන පහක ශිව දෙවියන් සඳහා ඉදිවුණු ප්‍රධාන දේවාල පහක් පිහිටා තිබෙනවා... මඩකලපුවෙ කාන්තෝන්දීශ්වරම් කෝවිල , ත්‍රිකුණාමලයේ කෝණේෂ්වරම්, යාපනයේ නගුලේශ්වරම්, හලාවත මුන්නේෂ්වරම්, මන්නාරමේ තිරිකේදීශ්වරම් ඒ දේවාල පහයි.

ලිංග ජූජාව ශිව භක්තිකයින් විසින් මහත් භක්තියෙන් කරන පූජාවක්.... ඒ නිසාම ශිව කෝවිල්වලට ආශිර්වාද පතා අලුත විවාහ වූ අයවලුන් පැමිණෙන බව සඳහන්... විශේෂයෙන්ම දරුඵල පතා ශිව දේවාලවලට භාරහාර වීම සිදුවෙනවා... කෝණේෂ්වරම් කෝවිලෙත් එසේ දරුඵල පතා "කුඩා තොටිලි" ගසක ගැටගසා කරන බාරහාර වීම් දැකගන්නට අපිට පුළුවන්කම ලැබුණා. දේවාල භූමිය තුළ ආගන්තුක භාවයක් කිසිම ලෙසකින් අපිට දැනුනේ නෑ... පූජාව මෙහෙයවන පූසාරීන්ගේ සහ දමිළ වන්දනාකරුවන්ගේ පමණට ම සිංහල වන්දනාකරුවන් සහ වෙළෙන්දන් කෝවිල සහ අවට භූමියේ රැඳී සිටීම එයට හේතුවයි. කෝණේෂ්වරම පාර දෙපස පිහිටි සියලු වෙළඳසැල් හිමියන් සිංහල ජාතිකයින්.

 ඔවුන් යුද සමයට පෙර සිටම ත්‍රිකුණාමලයේ ජිවත්වූවන්... යම් යම් අමිහිරි මතක පැවැතියත් 'සහජීවනයේ නගරයේ" සහජීවනය රකිමින් දිවි ගෙවන්නට කැමැත්තක් සහ වුවමනාවක් ඔවුන් තුළ තිබීම ආගන්තුක අපිට ගෙනාවේ සුන්දර සතුටක්.

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමඟ ලංකාවේ ඕනෑම අස්සකමුල්ලක, වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් හෝ Y by Road කණ්ඩායම සමඟ අපූරු සංචාරවල යෙදෙන්නට අවශ්‍ය නම් අපිට කතා කරන්න... Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්. කතා කරන්න අපිට... අපේ මීළඟ සංචාරය බතලේගලට.....

ප්‍රදීප් 076 66 42 607 / 0703 17 44 17
දුලිප් 0777 043 804 / 0703 207 207