මැච් එකෙන් මැච් කර ගනිමු

මැච් එකෙන් මැච් කර ගනිමු

ලොව පුරා ක්‍රිකට් ලෝලීන් තුළ නොසිදෙන උද්යෝගයක් ඇති කළ උන්මාදනීය ක්‍රිකට් වසන්තයේ නිමාව සනිටුහන් වූයේ චැම්පියන් කුසලානය පකිස්ථානය අතට පත්වීමෙනි. එතෙක් ඒ වෙනුවෙන් තරගවැදි සෑම රටක්ම පාහේ චැම්පියන් කුසලානය එසවීමේ සිහිනය තුළ අතරමංව සිටි වග නම් අමුතුවෙන් කිව යුතු නැත. තරගාවලිය තුළ දී වරක් බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ ඉන්දීය පිළ පහසුවෙන් පරදවාලීමෙන් මෙරට ක්‍රිකට් රසිකයින්ට ලබා දුන් අහිංසක සතුට වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බෙහෙවින් ම ස්තූතිවන්ත විය යුතු ය. කෙසේ වෙතත් පසුගිය 18 වනදා ඉන්දියාවත් පකිස්ථානයත් අතර පැවැති අවසන් මහා තරගයේ දී පකිස්ථානය ජය ගැනීම නම් ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට කිසිඳු ආකාරයකින් ඉවසා දරා සිටින්නට නොහැකි කරුණක් විය.

ලකුණු 180ක් ලබාගත් පකිස්ථානය ඉතිහාසයේ ප්‍රථම වරට චැම්පියන් කුසලානය දිනා ගන්නා විට ඒ පිළිබඳ තදබල ලෙස බලාපොරොත්තු දල්වගෙන සිටි ඉන්දියාව නොසිතූ පරිදි දැවී ගියේ ලකුණු 158කට. කෝටි ගණනක් ඉන්දියානුවන්ගේ ඒ බොඳවුණු සිහිනය මේ වෙද්දි වියරුවක් වෙලා. පරාජයේ වේදනාව විඳදරාගත නොහැකි ඉන්දියානුවන් රූපවාහිනී යන්ත්‍ර පොළොවෙ ගසමින්... ක්‍රිකට් තරුවලට ප්‍රසිද්ධියේ බැන වැදෙමින්, ඔවුන්ගේ බැනර්වලට පවා ගිනිතබමින් කලහකාරී ලෙස හැසිරුණු සිදුවීම් පහුගිය දිනවල ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකින් ම වාර්තා වී තිබුණා.

මේ ඔවුන් මෙලෙස හැසිරෙන පළමු අවස්ථාව නොවන වග නම් ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. ඉන්දීය ක්‍රිකට් පිළ යම් ජයග්‍රහණයක් අත්කරගත් සෑම අවස්ථාවක ම මල්මාලා දමා, පාවඩ එළා, ඔවුන්ව මහත් හරසරින් පිළිගන්නවා සේ ම අනික් අතට ඔවුන් අතින් යම් වරදක් වූ විට, පරාජයට පත් වූ විට... සිතාමතා කළ වරදකට සේ ගල්මුල් මෙන්ම නින්දා අපහාස ද ඔවුන් වෙත එල්ල වෙන්නේ මදි නොකියා ය.

 1996 දී අප ලෝක කුසලානය එස වූ අවස්ථාව ඔබට මෙන් ම මට ද අමතක නොවන ස්වර්ණමය අවස්ථාවකි. එම අවස්ථාවේ දී ද ඉන්දියානුවන් ප්‍රේක්ෂකාගාරයට ගිනි තබා, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගේදොර බිඳ දමා කලහකාරී ලෙස හැසිරෙමින් ක්‍රීඩකයින් වෙත බලවත් පීඩනයක් එල්ල කළ අන්දම නින්දා සහගත ය. මන්ද ක්‍රීඩාවේ දී ජය සේ ම පරාජය එක ලෙස බාර ගත යුතු ය. මන්ද පරාජයට බිය වන්නා නියම ක්‍රීඩකයෙකු බවට පත් නොවන අතර, ක්‍රීඩාවේ දී කිසි ලෙසකත් ජයග්‍රහණය පමණක් බරාපොරොත්තු විය නොහැක.

චැම්පියන් කුසලානයේ සිහිනය බොඳව ගියේ ඉන්දියාවට පමණක් නොව. අපට ද එය එසේ ම ය. නමුදු ඒ පරාජය දරාගත නොහැකිව, අපේ ක්‍රිකට් කණ්ඩායමේ සිංහ පැටවුන්ට නිගා දෙන්නට තරම් අප මුග්ධයින් විය යුතු නොවේ. සැබවින් ම ඔවුන් පැරදුණේ නැත, වැරදුණා පමණි. දෙස් විදෙස් කෙළිබිම් හි පැවැති ක්‍රිකට් තරග හා තරගාවලීන්වලදී අතිවිශිෂ්ට අන්දමේ ජයග්‍රහණ අත්කර දෙමින් මේ පුංචි දිවයිනේ නම ලෝකයක් ඉදිරියට ගෙනියන්නට ඇපකැප වූ අපේ ම ක්‍රිකට් වීරයින්ට දේශයේ උත්තමාචාරය සදා හිමි විය යුතු ය.

කෙසේ වෙතත් තරගයක් පරාජය වූ තැන තරගකරුවන්ගේ ගෙවල් ගිනිබත් කරන, ඔවුන්ට ප්‍රසිද්ධියේ නිගා දෙන, හෙළා දකින රටක නිදහස් මනසින් හෙබි ක්‍රීඩකයන් බිහි නොවන වග ලාංකේය ක්‍රීඩා රසිකයින් යම් තරමකට හෝ අවබෝධ කොටගෙන තිබීම සැබැවින් ම සතුටට කරුණකි.