අනුකරණය කරන්න මේ වගේ චරිත

අනුකරණය කරන්න මේ වගේ චරිත

RuRi කියන්නේ දරුවන්ගේ මානසික සතුට සහ ජීවිතය කඩා වැටුණු දරුවන් ශක්තිමත් කිරීමේ සුබසාධන අරමුණින් ගොඩනැඟුණ, නිහඬ සේවයක නියැලෙන, වටිනා එකමුතුවක්. RuRi අදහස සුමුදුගේ. එංගලන්තයට වෙලා ජීවිතය ගෙව්වත් නිතර ලංකාවට ඇවිත් මේ දරුවන් වෙනුවෙන් කැප වෙන සුමුදු සහ RuRi ගැනයි අපි මේ සතියේ ලියන්නේ.

 

RuRi පටන් ගන්නේ කොහොමද ?

අපිට දරුවෝ ලැබෙන්න, බැඳලා ටික කාලයක් ගියා. ප්‍රෙග්නන්ට් වෙලා මාස 8ක් විතර යද්දී දවසක් ඩිනර් එකකට ගිය වෙලේ සල්ලි වගයක් තෑග්ගකට ලැබුණා, ඉපදෙන්න හිටිය නිවුන් බබාලා දෙන්නා වෙනුවෙන් කියලා... මගේ හොඳම යාළුවා අවුරුදු 19 දී කාර් ඇක්සිඩන්ට් එකකින් නැති වුණා.

 එයාගේ අම්මයි තාත්තයි තමයි ඒ ගිෆ්ට් එක දුන්නෙ. ඒ සල්ලිවලින් අපි හිතුවා, ලංකාවේ ළමයි දෙන්නෙක් හොයලා fund එකක් හදන්න. අපේ බබාලා දෙන්නට වැඩිය මාස 6ක විතර වයස් පරතරයක් තියෙන නිවුන් ළමයි දෙන්නෙක් අපිට ඒ වෙලේ දී හම්බුණා.

වස්ගමුව පැත්තේ කෑලැව ආශ්‍රිතව, පොඩි මැටි ගෙදරක හිටියේ. ඉතින් අපේ බබාලා දෙන්නා රුවා සහ රිදී ඉපදෙන්නත් කලින්ම ඒ දෙන්නගේ නම් දෙකෙන් රුරි (RuRi ) කියලා අකවුන්ට් එකක් හැදුවා. දැන් ඒ බබාලා දෙන්නට අවුරුදු 5ක් වෙන්න ළඟයි. එයාලා වෙනුවෙන් තවම ඒ fund එක තියෙනවා. අපි දිගටම එයාලා ගැන බලනවා. ඒ නිවුන් බබාලා දෙන්නා මගේ බබාලා දෙන්නත් එක්ක හරිම යාළුයි. එයාලා හරිම එකමුතුයි. එක පවුලක් වගේ. එයාලා තමයි මේ හැමදේකම ආරම්භය.

RuRi අරමුදල RuRi පදනම වෙන්නේ කොහොමද ?

ගිය අවුරුද්දේ මම ලංකාවට ගිය වෙලේ කැන්සර්වලින් පීඩා විඳින ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න ඕනි කියලා හිතුණා. ඉතිං රුරි අරමුදල අපි වෙනස් කරා රුරි පදනම විදිහට. ඒ වෙලේ තමයි මගේ කොණ්ඩෙත් ලබා දුන්නේ කැන්සර් හැදුණ ළමයින් වෙනුවෙන් විග් එකක් හදන්න. මගේ කොණ්ඩේ නම් හැමදාම වැවෙනවා. නමුත් ඒ දරුවන්ගේ මුහුණට හිනාවක් දෙන එක, සතුටක් දෙන එක වටිනවා. ඒ වගේම අපි මහරගම පිළිකා රෝහලේ පටන් ගත්තා play therapy කියලා.

 එයලාගේ තියෙනවා cc හවුස් කියලා වෙනම පන්ති කාමරයක්, වේදිකාවක් එහෙම තියෙන. අපේ ස්වෙච්ඡා සේවකයින් එක්ක අපි එතනට ගිහින්, එයාලා එක්ක ඉඳලා, සින්දු කියලා, මානසික සතුට වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා...

එයාලාව මානසිකව ශක්තිමත් කරන ගමන් එයාලගේ ලෙඩ අමතක වෙන්න. ඒකට අවශ්‍ය කරන චිකිත්සකවරුන් අපි එංගලන්තයෙනුත් අරගෙන ඇවිත් ලංකාවේ දී පුහුණුව දීලා තියෙනවා. ඒ වගේම ලිංගික අපචාරවලට ලක් වුණ ළමයින්ගෙ මානසික මට්ටම හොඳ අතට හරවන්නත් එයාලාව බලාගන්නත් අපි කටයුතු කරනවා.

ඒ වගේ අත්දැකීම්වලට ලක් වෙලා තියෙන වැඩිහිටියෝ අපි එක්ක එකතු වෙලා, එයාලගේ අත්දැකීම් බෙදාගෙන, අර දරුවන්ගේ හිත ශක්තිමත් කරන්න කටයුතු කරනවා වගේ ම ඒ අයට ජීවිතය ඉස්සරහට යන්නත් කියා දෙනවා. අපි ලොකු ලොකු දේවල් කරලා නැහැ. නමුත් අපේ දැක්ම එක්ක පුංචි පුංචි දේවල් එක්ක ඉදිරියට පියවර තියෙනවා.

මේ RuRi පදනම පිටුපස ඉන්න සුමුදු ගොඩගම කියන්නේ කවුද කියලා මම ඇහුවොත්?

මම ඉපදුණේ කොළඹ. මට අවුරුදු එකහමාරක් වෙද්දී තමා මම එංගලන්තයට එන්නේ. මං මෙහෙ තමයි හැදුනේ, ඉගෙන ගත්තේ. ඊට පස්සේ මං ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙනගත්තා. දැන් ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට කටයුතු කරනවා. මම කළුබෝවිල රෝහලේත් ස්වෙච්ඡා සේවයේ නිරත වෙලා තියෙනවා. මගේ තාත්තා ශාන්ත ගොඩගමත් ආයුර්වේද වෛද්‍යවරයෙක්. තාත්තාගෙන් තමයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. ඉස්කොලේ යන කාලේ ඉඳන් මම පුණ්‍ය කටයුතුවලට ගොඩක් දායක වුණ කෙනෙක්.

ඉස්කොලේ යන කාලේදී සමාජය වෙනුවෙන් සේවය කරාට සම්මානයකුත් ලැබිලා තියෙනවා. ඒ කාලේ ඉඳන් ම දවසක ළමයින්ගේ දුක් අඩු කරන්න දෙයක් කරන්න ඕනෙයි කියන එක මගෙ හිතේ තිබ්බා. මගේ සැමියා සංඛ එදිරිසිංහ. ඔහුගේ පියා තමයි ප්‍රවීණ සංගීතඥයයෙකු වන සුනිල් එදිරිසිංහ. මමත් මගේ පවුලත් ඉස්සර ඉඳන් සංගීතයට නැඹුරුයි. සංඛයි මමයි හම්බුණෙත් සංගීතය නිසා තමයි.

RuRi පදනම මේ කරන දේවල්වලින් ඔබ දෙන්න යන පණිවිඩය මොකක්ද ?

මම හිතන්නේ හැමෝම මගේ දරුවෝ. එයාලට සතුටක් දෙන්නයි මට ඕනි. මානසික සතුට, ශක්තිමත් බව මූලික දේවල්. දරුවන්ගේ ජීවිතවල සතුට තියෙන්නේ අපේ අතේ. අපි එයාලගෙ ජීවිත ලස්සනට නිර්මාණය කරන්න ඕනි. ජීවිතේ ප්‍රශ්නවලට ශක්තිමත් ව මුහුණ දෙන්න අපි එයාලට හොඳ පසුබිමක් වගේ ම හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනි. ඒ වගේම අපචාරයකට ලක් වුණාමත් දැන් කියන්නේ ඔයා කාටවත් මේ ගැන කියන්න එපා කියලානේ. ඒත් එහෙම නෙවෙයි.

අපිට ඒ දේට ප්‍රතිකාර ලබා දෙන්න නම්, මානසික වශයෙන් ශක්තිමත් කරන්න නම්, නිහඬව ඉඳලා හරියන්නේ නැහැ. ඔවුන්ට නිහඬව ඉන්න කියලා අපි කරන්නේ එයාලව තවත් වේදනාවට පත්කරන එක. ඒ වගේම ඒ දරුවන්ට සමාජයෙන් වෙනම ලේබල් ගහනවා. ඒක වැරදියි. ඒ ලේබල් එක හිතින් අයින් කරලා, ඒ දරුවන්ව අපි සාමන්‍ය දරුවන් වගේ ඉදිරියට අරන් යන්න ඕනි. ඒක තමයි මගේ අරමුණ වගේ ම RuRi පදනමෙත් අරමුණ.