සින්ඩි තමයි මගේ ජීවිතේ එකම බලාපොරොත්තුව

සින්ඩි තමයි මගේ ජීවිතේ එකම බලාපොරොත්තුව

විසල් මහත්තයා ඇවිදින් කලබලයෙන් කුස්සිය පැත්තට ගියායින් පස්සේ ටික වෙලාවක් ඉඳලා ආපහු යන්න ගියා. ඒ වෙද්දී අනුරාධ සර්රුත් ගිහින්. සුභද්‍රා නෝනාටයි ගැමුණු මහත්තයාටයි හවුලේ අයිති වෙච්ච තේ වත්තක් ගැමුණු මහත්තයාගේ අලුත් නෝනා කෙනෙක් හොරාට විකුණන්න හදලාලු. සුභද්‍රා නෝනාගේ වත්තේ වැඩ ටික බලන්න ගිය තේනුවර මහත්තයා ඒකෙ පණිවිඩ වගයක් විසල් මහත්තයා අතේ එවලාලු.

 සේරම ටික හෙමින් සීරුවට අහන් උන්නු සුභද්‍රා නෝනා කිව්වලු "අනේ කමක් නැහැ පුතා. මැරෙන කොට ගෙනියන එකක් යෑ.. ගැමුණු ඕනා එකක් කරගත්තාවේ.. ඔයාලා ඕවට පැටලෙන්න එපා දරුවෝ.." කියලා.

අනේ මන්දා සුභද්‍රා නෝනාත්. මෙහෙම බෝසත් වෙන්න පුළුවන්ද අප්පා. යශෝදරා අක්කා කිව්ව විදිහට විසල් මහත්තයා කිව්වෙත් "ඒක තමා..අල්ලලා දාමු ඇන්ටි.. ඒ මිනිස්සුන්ගේත් තණ්හාවනේ " කියලාලු.

 ඒත් තේනුවර මහත්තයා නම් ගැමුණු මහත්තයාට දෙකක් කතා කරනවා කිව්වාලු, සුභද්‍රා නෝනාගේ ජීවිතේ කාබාසිනියා කළා මදිවට තියෙන දේපල ටිකත් කාබාසිනියා කරලා දානවා කියලා.

විසල් මහත්තයාටත් තේ වත්ත ගැන වගේ වගක් නැති නම් අහවල් දේකට අච්චර රකුසු මූණක් මවාගෙන උන්නද මන්දා. ඒක අහන්න ගිහින් මාග්‍රට් නැන්දා කිව්වේ "ඕනාවට වැඩිය කොල්ලෝ, ගුරුවරු එක්ක සිරික්කිය දාන්න ගියාම මොන මහත්තයාටද නෝනේ යක්සාරුඩ වෙන්නේ නැත්තේ?" කියලා. ඒක යස කතාවක් නේ අප්පා...මනුස්සකමට හිනා වෙන එක කොහෙද සිරික්කියක් වෙන්නේ. අනික කොල්ලෝ, ගුරුවරු කියන්නේ අමුතු සත්තු යෑ.

අනික මං අනුරාධ සර් එක්ක සිරික්කිය දැම්මේ නැහැ නේ. එහෙම කරත් විසල් මහත්තයාට මොකෝ.. පයිත්තියම් අප්පා.

 විසල් මහත්තයා ආපහු යද්දී නම් පොත් මේසෙට ම වෙලා පාඩම් කර කර උන්නු මං දිහාවේ නම් හැරිලාවත් බැලුවේ නැහැ. හැමෝමටම වැඳලා කරලා යනවා කිව්වට, මට නම් අඩු තරමේ යනවා කිව්වෙත් නැහැ. මයේ මොකෝ. තෑග්ගට තවම මොකුත් කියන්න බැරි වුණ නිසා මට නම් විසල් මහත්තයට නන්රි කියන්න සෑහෙන්න ඕනාකම තිබ්බා. ඒත් ඉතින් එයයිගේ ගෑස් බලන්න ඕනි යෑ මං.

"දන්නවද විසල් ආයේ එන්නේ නැහැ "

ඊටත් සෑහෙන වෙලාවකට පස්සේ මං හිටිය තැනට ඇවිදින් යශෝදරා අක්කා කිව්ව විදිහ නම් මට එච්චර ඇල්ලුවේ නැහැ.

"ඇයි ?"

"තේ වත්තේ ටික දවසක් ඉඳලා, ආයේ රට යනවයි කියලයි ඔය ගියේ."

"විසල් මහත්තයා ??"

"හ්ම්ම්ම්.. "

"මට කිව්වේ නැහැ නේ එහෙම එකක් "

"එහෙම එකක් කියන්නවත් ඔයා ඒ මනුස්සයගේ මූණවත් බලන්නේ නැහැනේ සින්ඩි.. එච්චර තමන් වෙනුවෙන් ලංකාවට ආව මනුස්සයාට අද වෙනකම් වචන දෙකක්වත් කතා කරාද? අන්න බුම්බගෙන ගියේ, එයා එක්ක හිනා වෙන්න තමා බැරි අනිත් අය එක්ක නම් සිරික්කිය දාන්න පුළුවන් කියලා.."

යශෝදරා අක්කටත් ඕනි අඬන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් අනින්නද මන්දා. මං මොකුත්ම නොකිය බිම බලාගෙන හිටියා. විසල් මහත්තයා එක්ක මං කියලත් මොනවා කතා කරන්නද මුරුගා? ඒත්... ඒ කියන්නේ ආයේ කවදාවත් විසල් මහත්තයාව දකින්න ලැබෙන්නේ නැහැ කියන එකද ? මං යශෝදරා අක්කා දිහාවේ බැලුවේ එයා විහිළුවක් කරනවද කියලාවත් බලන්න. ඒත් එහෙම පාටක්වත් නැහැ..

"මොකද සින්ඩි.. ඒ පාර අඬන්න වගේ මූණ හදාගත්තේ? "

"කවුද..? මොකටද අඬන්නෙ? "

යශෝදරා අක්කා මට තමයි කියන්නේ ගෙදරට එන මිනිස්සුන්ට කතා කරන්නේ නැහැ කියලා. ඒත් ඉතිං එයත් අනුරාධ මහත්තයා එක්ක වචනයක් කතා කරනවා කියලාද...මුල් කාලේ නම් යස අගේට කතා කරා. දැන් තමා බොරු සෝබනේ.. මං හෙමිහිට නැගිටලා කුස්සිය පැත්තට ගියේ යශෝදරා අක්කාව මඟ අරින්න ඕනිකම හොඳටෝම තිබ්බ හන්දා.

"එක අතකින් තේනුවරයි විසලුයි දෙන්නම මේ වෙලාවේ ලංකාවේ ඉන්න එක මට මහා හයියක් මාග්‍රට්. ගැමුණුගේ ප්‍රශ්න නම් කවදා ඉවර වෙයිද මන්දා "

"විසල් මහත්තයා දැන් තේ වත්තේ බංගලාවේ පදිංචිම වෙලා ඉන්නද කල්පනාව නෝනේ.. ?"

"ප්‍රියංකා කිව්ව විදිහට නම් කට්ටියම හපුතලේ බංග්ලෝ එකට ටික දවසකට යනවාලු. එතකොට මේ වත්තේ ප්‍රශ්න ටික බලන්නත් ඇහැකිනේ. විසල්ට ටී බිස්නස් ගැන ස්ටඩි කරන්න ඕනි කියනවලුනේ.. "

"විසල් මහත්තයා දැන් තේනුවර මහත්තයාගේ බිස්නස් ටික බාරගන්න වගෙයි සූදානම. නේද නෝනේ?"

"මං හිතන්නේ නැහැ මාග්‍රට්. විසල් පොඩි කාලේ ඉඳන් බිස්නස් තියා වත්ත පිටියටත් ආස කරපු දරුවෙක් නෙවෙයි. බිස්නස් එක ගැන ඉගෙනගෙන ආයේ ඉංග්ලන්ඩ් යයි මයේ හිතේ. විසල්ගේ හිත තියෙන්නේ මෙහෙට නෙවේ එහෙට. සින්ඩිව නොහම්බුණා නම් මාත් මේ සේරම විකුණලා දාලා ඉංග්ලන්ඩ්වලට යනවා මාග්‍රට්. සින්ඩි විතරයි මට තියෙන එකම සැනසීම. නැතිනම් ලංකාවට ආව දවසේ ඉඳන් මට තිබුණෙ ප්‍රශ්න විතරයි.."

"එහෙම හිතන්න එපා නෝනේ. හැමදේම හරියයි. සින්ඩි නෝනේ මෙහෙට ආව එකෙන් නම් මුළු ගෙදර ම එළිය වුණා. දැන් ඇවිල්ලත් කී දොහක්ද අප්පේ... තව ටික දොහකින් ඇක්වයිනාස් කොලේජ් යන්නත් පටන් ගනීවි. ඒ වගේම කාලෙක හරිම අපූරු ලොකු නෝනා කෙනෙක් වෙලා, වික්ටෝරියා ප්ලේස් එකේ ඉඳන් දීග තුලාත් යාවි නේද නෝනේ?"

"සින්ඩි තමයි මගේ ජීවිතේ එකම බලාපොරොත්තුව මාග්‍රට්. ඒ හැමදෙයක්ම ගැන මං හිතලා තියෙන්නේ. සින්ඩිව දවසක මං කාට හරි දෙන්නේ කුමාරිකාවක් වගේ. ඒත් ඒ වෙනකම් මේ වික්ටෝරියා ප්ලේස් එකට කිසිම ප්‍රශ්නයක් කරදරයක් නොවී තියෙන්නයි කියලයි මංන් ප්‍රේ කරන්නේ"

"වික්ටෝරියා ප්ලේස් එකටයි සින්ඩි නෝනේටයි තියෙන එකම කරුමේ අර නැට්ටුට්කාරි නෝනේ. වෙන කවුරුත් නෙවෙයි... ඕං මං අද කියන්නම් හූනා කිව්වා වගේ. පත්තිනි අම්මා වගේ නමට රූපෙට උන්නට ඔය කෙල්ල හරි මායම්කාරි. තඹ සතේකට විශ්වාසයක් තියන්න එපා."

"කවුද මාග්‍රට් ? "

"වෙන කවුද නෝනේ අර බෝඩිම්කාර සක්කරවට්ටම මිසක්... නෝනේ දන්නවාද උන්දාගේ වැඩ... කාර් එකට නඟින්න ගිය විසල් මහත්තයාගෙන් පස්සෙන් එලෝලා ගිහින් ෆෝන් නම්බරේ ඉල්ලගත්ත ඒ බඩ්ඩ තමයි දැන් ඔය යශෝදරා දේවි වගේ සීරුවට එහෙට මෙහෙට වඩින්නේ."