වාසනාවන්ත කාලකන්නියා

මේ අමුතු ඇටේ දැන් හරිම වෙනස් වෙලා ය

 

වස් එකින් එක ගෙවී අහවර වී ඇත. වසරින් හරි අඩකට කිට්ටු ප්‍රමාණයක් අවසන් බව කිසිවෙකුට තවමත් දැනී නැත. ඒ කෙසේ වෙතත් දවසේ වැඩවලින් අඩක් වත් නිසි වෙලාවට කරගන්නට බැරි අපිට අවුරුද්දටම කෙලවෙලා, හැඳි ගෑවිලා ගියත් වගක් නම් නැති ය. කොහොමෙන් කොහොම වුණත් මේ දවස්වල ලෝක හිට් එක ලෝක ශූරයන් ය....

ඒ අපි නම් නොවුණට අපිට කමක් නැති ය. වෙන කවුරු ලෝක ශූරයෝ වුණත් අපිට ප්‍රශ්නයක් ගැටලුවක් නැත. හැබැයි ඒ ඉන්දියාව වුණොත් අපිට ලෝක ප්‍රශ්නයක් ය. කොහොමෙන් කොහොම හරි දැන් ඒ ප්‍රශ්න එන්නේ නැත. හේතුව ශූරයෝ පකිස්තානය ය. ප්ලාස්ටික් හාල් කාලා උන් ගහන ගැහිල්ල දැක්කම සුවඳැල් හාල් එක්කලා වෑංජන හය හතක් එක්ක කොටාබාන අපේ උන්ට මොන හෙනයක්ද කියලත් නොහිතුණාමත් නොවේ ය. ඒ සීන් එකෙන් පස්සේ ඊළඟ හොඳම සීන් එකට එන්නේ "ලීක්" වෙච්ච මොනා හරි එකක් ය.

ඒ දවස්වල නම් වතුර බෝතලය ඉස්කෝලේ බෑග් එකේ ලීක් විය. පස්සෙන් පහු ඉඳි ආප්ප කන්න ගෙනාව හොදි මුල ලීක් වුණා. ඒකෙන් පස්සේ තීන්ත පෑනේ බෝතලේ ලීක් වුණා. ඒ ඔක්කොගෙන්ම පස්සේ දැන් ෆෝන් එකෙන් ෆොටෝ ලීක් වෙන්න අරගෙන ය. ඉඳහිට වීඩියොත් ලීක් වෙනවා ය.

ඉතින් මේ අමුතු ඇටේ දැන් හරිම වෙනස් වෙලා ය. ඔක්කොම ලීක් වෙන අපේ පොරවල්වල ඔළුවෙ තියෙන මොළෙත් ටික ටික ලීක් වෙනවද කියලත් වෙලාවකට හිතෙනවා ය. ඉස්සර නම් කතාවට කියන්නේ ජාතියක් හැටියට අපි හෙන රොම්බ කරුණාවන්ත ජාතියක් කියලා ය. අද කාලේ ලංකාවේ හෙදියකගෙන් පවා කරුණාවක් ගන්නවට වඩා ඉබ්බියෙක්ගෙන් ගල් බනිස් පලුවක් ඉල්ල ගන්න එක හෙනම ලේසි ය.

 පහු ගිය දිනක මීගමුව මහ රෝහලේ සිදු වුණ සිද්දියක් මට තවත් මතක ය. සේලයින් බටය ගැලවුණ රෝගියෙකුට නැවත කටුව සම්බන්ධ කරගැනීමට විමසා සිටිය දි ඇය මගෙන් ඇහුවේ " මාව සේලයින් ගහන කෙනෙක් වගේද පේන්නේ?" යනුවෙනි....

අනේ නෑ ඔයා මට පේන්නේ ලීසා ඈන්ගේ ලොකු අක්කා වගේ....කියා කියන්න දිව අග්ගිස්සටම ආවත් ගිලගෙන ආපහු ගියේ ළඟපාත සේලයින් බටයක් තිබ්බා නම් අත පය හතරම ඒකෙන්ම ඔතලා, බාල්කේ එල්ලන්නට ආ කේන්තියත් යට කරගෙනම ය.

කොහොමෙන් කොහොම හරි ඒවා මේවා ගොඩක් කියලා, ලියලා කොලමේ ඉඩත් අහවර වෙලා ය. අමතක වෙන්න කලියෙන් අන්තිම සිද්ධියත් කොටලම යන්න ඕනේ ය.

ඊයේ පෙරේදා වෙනකම් උග්‍ර මුස්ලිම් විරෝධියෙක් වෙච්ච අපේ ඉස්සරහා ගෙදර කොලුවා මැච් එක දා හිටියේ පකිස්තාන් කාරයෙක්ට වඩා ලල් එකෙන් ය.

මම ඉතිං තාප්පේ අයිනට කතා කොරලා උගෙන් ඇහුවේ මේ වෙනසට හේතුව මක්කද කියන එක ය.

උත්තරේ උගේ වචනවලින්ම කියනවා නම්,

අයියට කියන්න අයියේ, කන්න ඕනේ නම් කබරගොයා හරි තලගොයා කොරන් කාපන්....

ඉතින් පරිස්සමින්....

මේ අමුතු ඇටේ මිනිස්සු දැන් හරි වෙනස්.