අන්තිමේදි මගේ පුංචි ඇස් දෙක මාව දාලා හුඟක් දුර ගිහින්

අන්තිමේදි මගේ පුංචි ඇස් දෙක මාව දාලා හුඟක් දුර ගිහින්

තමන් මේ ලෝකේ හුඟාක් ආදරේ කරපු කෙනෙක් සදහටම අහිමි වෙනකොට දැනෙන වේදනාව කොයිතරම්ද කියලා දන්නේ ඒ අත්දැකීමට මුහුණ දීපු කෙනෙක්ම විතරයි. අපි හුඟාක් ආදරේ කරන දේවල් ඇස් ඉස්සරහම නැති වෙලා යනකොට ඒ දුකට නමක් දෙන්න, මං පෑන අතට ගන්නකොට පාන්දර එකත් පහුවෙලා.

සුදු කොළේ උඩට ඒ වෙලාවේ වැටුණු තෙතම තෙත කඳුළක් දුක්මුසු ඇරඹුමක් අරන් දුන්නා.කොයි තරම් වේදනාවක් වුණත් උහුලගන්න පුළුවන් විදිහෙ ගල් හිතක් පිරිමි අපිට දෙවියෝ දුන්නා කිව්වට ඒ ගල් හිතත් මේ කඳුළු එක්කම දියවෙලා ගිහින්ද කොහෙද? ජීවිතේ කිසිම දිනෙක පරාජිත කඳුළකට ඇසේ ඉඩ නොතියපු මං අද ඇස්වලට උපරිම නිදහසක් දීලා, හෙමින් සැරේ හිත පාරන ගෙවුණු මතකයන් හොයාගෙන ආයෙත් සැරයක් ජීවිතේ ආපස්සට අරන් ගියා.

එයා මට අන්තිමට මුණගැහුණෙ නුවර වැව රවුමෙදි. ඒ ලස්සන දවසෙ එයා මගේ පපුවට තුරුල් වෙලා කිව්ව හැම වචනයක්ම අදත් මට හොඳට මතකයි. ඒ මතකය මං කවදා හරි මැරෙනකල්ම මගෙ හිතේ තියේවි.

"සුදු අයියේ, ඔයා මට කොච්චර ආදරෙයිද?" කියලා එදා එයා මගෙන් ඇහුවම මං කිව්වා,"චුට්ටක්වත් ආදරේ නෑ ගෙම්බිට" කියලා.ඊට පස්සේ එයා "මං මේ වැවට පැනලා මැරෙනවා" කියලා වැව දිහාට දුවන් ගියේ නම් බොරුවට කියලා මං හොඳටම දන්නවා. මොකද එයා දන්නවා මං එයාට චුට්ටක්වත් ආදරේ නෑ කිව්වේ විහිළුවට කියලා.

වැව ළඟටම ගිහින් ආපහු හැරිලා එයා ආයෙත් සැරයක් "ආදරෙයිද? නැද්ද?" කියලා මගෙන් අහනකොට මං "ඔව් ඔව් මගේ මැණිකට මං හුඟාක් ආදරෙයි" කියලා කිව්වා. එහෙම කියලා තත්පරයක් යන්න කලින් එයා මං ළඟට ඇවිත් තුරුළු වුණේ ඇස් දෙකටම කඳුළු පුරෝගෙන. මං එයාව තව තවත් මගේ පපුවට තුරුළු කරගත්තා. ඒත් ඒ තමයි අපේ ආදර කතාවේ අන්තිම දවස. සුදු නංගි නැති පාළුව මට දැන් නිතරම දැනෙනවා. ඒ පාළුව අන්තිමට මැකෙන්නේ සීතල කඳුළු ගංඟාවකින්.

ඉන්න තැනක මගේ මැණික සතුටින් තියන්න කියලා මං හැමදාම දෙවියන්ට කියන්නේ ඊට වඩා ප්‍රාර්ථනාවක් කරන්න දැන් එයා මගේ ළඟ නැති හින්දා. සුදු නංගි මාව දාලා ගිය ඒ දුක්බර මතකයත් හිතේ තුරුළු කරන් මං එදා Pulsur බයික් එකට නැග්ගේ එයාව අවසාන වතාවටවත් බලන්න ඕනේ කියන බලාපොරොත්තුව හිත යට තියාගෙනමයි. එදා එයාගේ මූණ බලාගන්න නොලැබුණොත් ආයෙත් ඒ ලස්සන මූණ කිසිම දවසක බලාගන්න බැරි වෙයි කියලා මං දැනන් හිටියා. එහෙම හිතාගෙන මං නුවර දිහාට ඉගිලුණේ මහමෙරක් දුක හිතේ හංඟගෙන. ඒත් සුදු නංගි මාව දාලා ගිය අමිහිරි මතකයට තවත් මතකයක් එක් වෙන්න ගියේ තත්පර කීපයක් විතරයි. වේගෙන් ආව බස් එකක් මගේ බයික් එකේ හැප්පුණේ මටවත් හිතාගන්න බැරි විදිහට. සිහිය එනකොට මං හිටියේ ඉස්පිරිතාලෙ. ටිකට් කපන් ගෙදර එන්න හරියටම සති එකහමාරක් ගියා. මේ ලියන්නේ ඊටත් දවස් තුනකට පස්සේ.

"මොකද මැට්ටෝ මේ මහ රෑ ඇහැරගෙන කරන්නේ?" කියලා එදා Callආපු ෆෝන් එක අද පැත්තකට වෙලා සද්දයක්වත් නැතුව ඉන්නවා. හැමදාම ඉරිදට නුවර වැව රවුමේ අපි අයිති කරන් හිටපු Bench එකේ අද අලුත් දෙන්නෙක් ආදරේ කරනවා. අපිව හැමතැනම එක්කන් ගියපු Pulsur බයික් එකේ දැන් දූවිල්ල රජ කරනවා. ඒත් තවමත් ඔයා මං දිහා බලන් හිනා වෙනවා. අනේ ඒත් ඔයා ආයෙත් මගෙන් "මොකද මැට්ටෝ මේ මහ රෑ ඇහැරගෙන කරන්නේ?" කියලා අහන්නේ නැත්තේ ඇයි? අනේ මන්දා මට නම් මේ මුකුත්ම තේරෙන් නෑ. ඒත් ඒ නොතේරීම අස්සේ ඔයා තවමත් මං දිහා බලන් හිනාවෙනවා.මේක කියවන ඔයාලත් හිතනවා ඇති මගේ මැට්ටි මේ හිනාවෙන්නේ කොහේ ඉඳන්ද කියලා. ඔව් මගේ මැට්ටි මං ළඟ ඉන්නවා. මේ දැන් මගේ ළඟින්ම ඉන්නවා. ඒත් මේ විදිහට ඉන්නේ එදා මං එක්ක රණ්ඩු කරපු මගේ මැණික නෙවෙයි. එයා වෙනුවට අද මං දිහා බලන් ඉන්නේ එයාගේ ලස්සන Photo එකක් විතරයි.

මං ලියන එක පැත්තකින් තියලා ඒ Photo එක දිහාම බලාගෙන හිටියා. මටත් නොදැනිම මගේ ඇස් දෙකට කඳුළු පිරිලා, සුදු නංගිගේ රූපය බොඳවෙලා පේන්න ගත්තා. බිත්තියේ අයිනට වෙන්න අළවලා තිබුණු තනි සුදු හතරැස් කොළයක මැදට වෙන්න තමයි එයාගේ ඒ ලස්සන Photo එක තිබුණේ. හැමෝම හිතන් හිටියේ සුදු නංගි මාව දාලා ගිහින් වෙන කොල්ලෙක්ට ආදරේ කරන්න ඇති කියලා නම් ඒක වැරදියි. එයාගේ ඒ ලස්සන Photo එකට වම් පැත්තේ තිබුණේ උපත 1999-05-18 කියලා. ඒත් අනික් පැත්තේ තිබුණ දේ කියවන්න යද්දී මගේ ඇස් බොඳවෙලාම ගියා. ඒ බොඳවීම අස්සෙන් යාන්තමට වගේ "අනිච්චාවත සංඛාරා" කියලා ලොකු අකුරින් ලියපු වචන දෙකක් දැක්කා. එදා මං මහ පාරෙදි Accident නොවෙන්න මට මගේ මැණිකගේ මූණ අන්තිම වතාවට හරි බලා ගන්න තිබුණා. ඒත් දවස් තුනකට පස්සේ මට සිහිය එනකොට මගේ මැණික මාව දාලා හුඟාක් දුර ගිහින් ඉවරයි. ඇස් අගින් වැටෙන කඳුළුත් එක්ක මට ඒ නපුරු කෝච්චියේ හඬයි සුදු නංගිගේ විලාපයයි මාරුවෙන් මාරුවට ඇහෙන්න ගත්තා. "අනේ මං එදා එයාට ඒ Callඑක ගත්තේ නැත්නම් අදත් මගේ පණ මං එක්කම ඉන්නවා නේද?" කියලා මට ඒත් එක්කම හිතුණා. අන්තිමේදි මගේ පුංචි ඇස් දෙක මාව දාලා හුඟක් දුර ගිහින්.