තාම පරක්කු නෑ... එන්න ජීවිතේ විඳින්න

තාම පරක්කු නෑ... එන්න ජීවිතේ විඳින්න

 

තිහාසික, සංස්කෘතික, සාමාජීය සහ පාරිසරික වැදගත්කම් ගණනාවක් තිබෙන ත්‍රිකුණාමලය පුරවරය, දෙදවසක වැඩසටහනකින් ආවරණය කරන්නට උත්සාහ දැරීම ම වෙහෙසකර කටයුත්තක්... ඒ නිසාම පළමු දවසේ අපේ වැඩසටහන් පෙළගැහිලා තිබුණේ විවේකයක්- ඉස්පාසුවක් ගන්න බැරි විදිහට..... මෙම චාරිකාවේ සටහන් ඇතුළත් දෙවැනි ලිපිය පසුගිය සතියේ Y by Road අතිරේකයේ පළවුණා... අද දවසේ සටහන් වෙන්නේ එම චාරිකාවේ විස්තර ඇතුළත් තෙවැනි සටහන....

දහවල් කෑමෙන් සිතත්,ගතත් පුරවාගත්තු අපි ආපහු මරතඩි කෝවිල් බිම ඉදිරිපිටින් අපේ වෑන් රථය වෙත පාගමනින් යන විට, ඉදිරියෙන්ම ගිය නිමේෂාට ඒ අසල පහන්, තලඇට සහ එළඟි තෙල් විකුණමින් සිටි පුංචි දැරියක් කතා කළා.

"නැන්දේ.... මම සිංහල...."

ඇත්තටම හින්දු බහුතරයක් සිටින පරිසරයක, හින්දු කෝවිලක් ඉදිරිපිට සිංහල දැරියක් වෙළඳාමේ යෙදෙමින් සිටින්නට ඇතැයි වරක් දෙවරක් එතැන පසුකර ගිය අපිට කලින් හිතිලා තිබ්බේ නෑ.... කොහොමින් කොහොම හරි ඒ ඇතිවූ ලෙන්ගතු කතාබහ වෙනුවෙන් අඩහෝරා අඩක් පමණ ගෙවිලා ගියේ අපිටත් නොදැනිම.

නමින් ආශා වන ඇගේ පියා ධීවරයෙක්.... දකුණෙන් ත්‍රීකුණාමලයට ධීවර කටයුතු සඳහා නිදහසින් පසුව පිවිසුණු ඇගේ සීයා සහ සමකාලීනයින් එහිම පදිංචි වීම නිසා ඇගේ නිජබිම වුණේ ත්‍රිකුණාමලය. මව, පියා සහ සොයුරා සමඟ දිවිගෙවන ඇගේ වයස අවුරුදු 10ක්. මෙවර ශිෂ්‍යත්වයට ලියන ඇය, එයින් සමත්වීම ගැන නම් ලොකු බලාපොරොත්තුවකින් කතා කළේ නෑ....

සහජීවනයේ නගරයේ අරුතට යටින් ඇති, බොහෝ දෑ ගැන ඉඟි මේ කතාබහත්, ඉන් අනතුරුව ගොඩනැඟුණු අතුරු කතාබහත් එක්ක හෙළිකරගත් අපි ඇගෙන් සමුගෙන අපේ ඊළඟ චාරිකා නැවතුම සඳහා පිටත්වුණා... ඒ කන්නියා උණුවතුර ලිං වෙත.

කන්නියා උණුවතුර ළිං

ත්‍රිකුණාමලය- කොළඹ පාරේ මඳ දුරක් පැමිණි විට හමුවන අනුරාධපුර හන්දියෙන් දකුණට හැරී, තවත් දුරක් යන විට උණු වතුර ළිං කරා ප්‍රවිෂ්ට වන මාර්ගය දකින්න පුළුවන්. අතරමඟ හමුවන පුල්ලෙයාර් පිළිමවලින් මඟ සළකුණු සොයාගෙන අපි කින්නියාවට යනකොට එතරම් ලොකු සෙනඟක් එහි සිටියේ නෑ.

වාහනයෙන් බැස තල්ගස් සරුවට වැවුණු බිමක ඉදිවුණු , දෙපස නෙක නෙක දේ විකිණෙන සල්පිල් මණ්ඩියක ඉදිරියට ගිය අපි ඊළඟට පිවිසියේ විශාල බෝරුක් සෙවණකට.... කලකට පෙර හඳුනාගත් පුරාවිද්‍යා සාධක අනුව මේ බිම භාතික තිස්ස රජු විසින් සඟ සතු කොට පූජා කළ බෞද්ධ පින්බිමක්... දැන් නම් ඒ අසල ම හින්දු පූජා බිමක ලක්ෂණත් සහිතයි. ඊට අමතරව පිවිසුම් දොරටුව අසල මෑතක දී ඉදිවූ ඉස්ලාම් පල්ලියකුත් දකින්න පුළුවන්...

අපි එහි යන විට දෙමළ ජාතික පෙර පාසැල් සිසුන් කණ්ඩායමක් සිය දෙමාපියන් සමඟ උණුවතුර ළිං බලන්නට පැමිණ තිබුණා... මඳ වේලාවකින් ඔවුන් නික්ම ගිය පසු එම බිමේ ඉතිරි වුණේ අප කණ්ඩායම පමණයි... ළිං හතකින් සමන්විත මෙහි එක් එක් උල්පතෙහි ජලයේ උණුසුම තව උල්පතකට වඩා වෙනස්....

ඉර ඇවිලෙන මහ දවාලක උණු වතුරෙන් පැන් සැනසෙන්නට නොහැකි නිසා අපි එයින් දිය නොනෑවත් මුව දොවා ගන්නට නම් අමතක කළේ නෑ. ආපසු පැමිණෙන විට කඩමණ්ඩියෙන් "තල් චොකලට්" නම් අපූරු නව නිෂ්පාදනයත් මිලදී ගත් අපි, තල් කුරුම්බයකත් රස බලන්නට අමතක කළේ නෑ... තල් කුරුම්බා, අපිට හුරු පොල් කුරුම්බා මෙන් පානය කළ නොහැකි වුවත් රසය නම් අඩුවක් නෑ....

 

ඕලන්ද කොටුව වෙරළ

ඊළඟට නැවත ත්‍රිකුණාමලය නගරයට ආ අපි ඊළඟට ගියේ මුහුදේ නාන්නට.... ඒ අපේ නවාතැන පිටුපසින් තිබුණු ඩච් බේ වෙරළට.... කොළඹ ගාලු මුවදොර පිටිය හා සමානව ජනප්‍රිය මේ මුහුදු වෙරළ පෙම්වතුන්ට, කුඩා දරුවන්ට, සංචාරකයින්ට රිසි බිමක්.

පැයක් එකහමාරක් පමණ නොගැඹුරු මුහුදේ දිය නාමින්, ජල ක්‍රීඩා කරමින් ගත කළ අපිට දුලිප්ගේ රස කතා සංග්‍රහයක රසයත් විඳින්නට පුළුවන් වුණා... නොදැනුවත්වම වෙලාව ගලාගෙන ගිහින් හවස හයට කිට්ටු වෙනකොට අපේ පිරිසට ඊළඟ වැඩසටහන් අංගය වෙත නික්මෙන්නට කාලය ඇවිත් තිබුණා.

ඉෆ්තාර් උළෙල

එකම රටේ වෙසෙන ප්‍රධාන ජාතීන් තුනක් හිටියත් අපි එකිනෙකාගේ සංස්කෘතික උරුමයන්, වත්පිළිවෙත්, සිරිත්විරිත් ගැන උනන්දු නොවෙන තරම්.... එහෙත් කණ්ඩායමේ අපි හැමවිටම ගවේෂණ චාරිකාවන්වලදී ඒ ඒ ප්‍රදේශවල ජනජීවිතය විනිවිද යන්නට උත්සාහ දැරීම අතාරින්නේ නෑ... මෙවර චාරිකාවේ දී රාමසාන් ශීලය රකින ඉස්ලාම් භක්තිකයින්ගේ දෛනික උපවාසය අත්හැරීමේ "ඉෆ්තාර්" වස්ථාවට සහභාගී වීමට අපි අපේක්ෂා කළා... ඒ වෙනුවෙන් ත්‍රිකුණාමයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සහ ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරියක යුවතීපතීත්වය දරණ නගරයේම නිවෙසක් තෝරාගත් අපි හරියටම හවස හය වන විට එහි යා යුතුව තිබුණා.

ඊළඟ මොහොතේ ඔවුනගේ නිවෙසට පිවිසි අපි ඉෆ්තාර් යාඥාවන් අවසන් වන තුරු ආලින්දයට වී සිටියා... අප කණ්ඩායමට අමතරව මේ අවස්ථාවට ඔවුන්ගේ පවුලට හිතැති ත්‍රිකුණාමල පොලීසියේ රථවාහන අංශයේ රණසිංහ මහතාත්, ආයුර්වේද වෛද්‍යවරයෙකුත් සහභාගී වී සිටියා...

යාඥාවෙන් අනතුරුව අපව සාදරයෙන් පිළිගත් ගෘහපතියා සමඟ විසිත්ත කාමරයට පිවිසි අපි "ඉෆ්තාර්" අවස්ථාවට සකසා තිබූ විශේෂ භෝජනයට අසුන්ගත්තා... පවුලේ පිරිමි සාමාජිකයින් වෙනුවෙන් වෙනමත්, කාන්තා සාමාජිකයින් වෙනුවෙන් වෙනමත් ඉෆ්තාර් සංග්‍රහය සැලසුම් කර තිබූ අතර අපේ කණ්ඩායමේ ඉෂානි නම් අපිත් සමඟම වාඩිවී ඉෆ්තාර් සංග්‍රහය විඳින්නට සූදානම් වුණා...

උදෑසන හතරේ පමණ සිට නිරාහාරව දවස ගෙවන ඉස්ලාම් භක්තිකයින් පැය දාහතරකට පසු ගන්නා පළමු ආහාරය වන මෙය කැඳ වර්ගයක්, පලතුරු බීම, වතුර, පලතුරු වර්ග කිහිපයක්, කෙටි කෑම, රට ඉඳි සහ සූකිරි ආදියෙන් සමන්විතයි. තමන්ගේ ආර්ථික, සාමාජීය තත්ත්වය අනුව එකිනෙකාගේ ඉෆ්තාර් ආහාරය වෙනස් වන අතර එය බොහෝ විට සරල නමුත් ශක්තිජනක ආහාරයක් විය යුතු බවයි ගෙහිමි නවුෆර් මහතා අපිට විස්තර කළේ...

ඉෆ්තාර් ආහාරය අනුභවයට නියමයක් නියතියක් නොවූවත් නවුෆර් මහතා අනුගමනය කරමින් පළමුව රටඉඳි ඇටයකින් පටන්ගෙන හෙමින් හෙමින් අඩ පැයකදී පමණ ඒ සංග්‍රහය භුක්ති විඳ අවසන් කරන්නට අපිට හැකියාව ලැබුණා.

ඉන්පසුව පවුලේ පිරිස සමඟ සුහද සාකච්ඡාවක යෙදුණු අපි, ඔවුනගේ කාර්යබහුල ජීවිතයේදී රාමසාන් චාරිත්‍ර ඉටුකරන්නට කරන කැපවීම ගැන අවබෝධයක් ලබා ගත්තා... අවසානයේ අපේ කණ්ඩායමත්,පවුලේ පිරිසත් සමඟ ඡායාරූපයකටත් පෙනී සිට, අපි බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි කැපවීමෙනුත්, මහන්සියෙනුත් කළ සංග්‍රහයට ස්තූතිවන්ත වෙමින් ඔවුන්ගෙන් සමුගත්තා...

අපේ පැමිණීම ගැන ද ස්තූතිවන්ත වූ නවුෆර් මහතා අපිට කීවේ... රටේ පුරවැසියන් එකිනෙකා අතර අවබෝධය ඇතිවීම පිණිස මෙවන් සංස්කෘතික හුවමාරු වැඩසටහන් වැදගත් වනු ඇති බවයි.... ඉෆ්තාර් සංග්‍රහය නිසාම අපිට අපේ රෑ කෑම රාත්‍රී දහය දක්වා පමා කරන්නට සිදුවුණේ එතෙක් වේලා කුසගින්න පරාද කරන්නට ඒ සංග්‍රහය ප්‍රබල වූ නිසා.... රාත්‍රිය එළඹෙද්දි නිදියන ත්‍රිකුණාමල නගරයේ ඒ වෙනකොට "සී ෆුඩ් කොත්තුව"ක් හෝ "සී ෆුඩ් රයිස්" හොයාගන්නට නොතිබුණු නිසා අපිට සැලැස්මේ හැටියට රාත්‍රී ආහාරය ලබාගන්නට බැරි වුණත් ලැබුණු "චිකන් කොත්තුවෙන්" බඩ සනහාගෙන නින්දට ගියේ පසු දින උදයේ වැඩසටහනට උදෑසනින්ම අවදි වන බලාපොරොත්තුවෙන්...

නගර සංචාරය

කෙතරම් පිළිවදන් දී නින්දට ගියත් පසුදින උදෑසන පහමාරට අවදි වන්නට සමත් වුණේ මම, ළහිරු වගේ ම දුලිප් පමණයි. අනෙක් පිරිසට බාධා නොකළ අපි සැලැස්මේ හැටියට අපේ නගර සංචාරය ආරම්භ කළා... හිරු හිනහෙන ඕලන්ද වෙරළෙන් ගමන ඇරඹූ අපි නගරය කරා පිවිසියා... ත්‍රිකුණාමල නගරයේ මංසන්ධි ගණනාවක් පවතින අතර මේ හැම එකක්ම වගේ හින්දු සාහිත්‍යයට, සමාජ ප්‍රගමනයට සේවාවන් කළ පුද්ගලයින්ගේ පිළිරූවලින් සමන්විතයි. සමහර තැනක බුදු පිළිමත් දකින්නට ලැබුණා..

නගරයේ කොටුව වීදියේ ධීවර කටයුතුවලට අදාළ මාළු වෙළඳසැළ, කරවල වෙළඳපොළ පිහිටා තිබුණා.. අතීත නගර මධ්‍යය සනිටුහන් කළ ඔරලෝසු කණුව අද වන විට නගර මධ්‍යයෙන් බැහැරවෙලා තිබ්බා.

ඔරලෝසු කණුව අසලම පොදු වෙළඳපොළත් ප්‍රධාන කඩ වීදියත් පිහිටා තිබුණා... නගරයේ ප්‍රසිද්ධ ම සිනමාහල වන ''නෙල්සන්" සිනමාහල නගර මධ්‍යයෙන් තානායම දෙසට යන විට දකින්නට ලැබුණා...

අතීතයේ ගෝකණ්න වරායේ උතුරු සීමාව වන ත්‍රිකුණාමලයත්- දකුණු සීමාව වන මූතුර් සාම්පූර් ප්‍රදේශයත් යාවුණේ මුහුදු මාර්ගයෙන්... ඒ වෙනුවෙන් "සේරුවිලා" සහ තවත් ට්‍රෝලර් යාත්‍රවක් එසමයෙහි යොදවා තිබුණා...

එහෙත් යුද්ධයෙන් පසුව මහවැලි ගඟේ තොටමුණුවලට ඉහළින් පාලම් ඉදිවීමෙන් පසුව ත්‍රිකුණාමලය සහ මූතුරුව ගොඩබිම් මාර්ගයෙන් සම්බන්ධ වුණා...

මේ මඟ දිගේ මහවැලි තොටමුණ සොයා යන දෙවැනි දවසේ වැඩසටහන වෙනුවෙන් සූදානම් විය යුතු නිසා අබලන් ත්‍රිකුණාමල සේරුවිල ජැටියත් බලාගෙන ඕර්ස් හිල් කන්ද අද්දරින් අපි නවාතැන වෙත ගමන් ඇරඹුවා....

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමඟ ලංකාවේ ඕනෑම අස්සකමුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් හෝ Y by Road කණ්ඩායම සමඟ අපූරු සංචාරවල යෙදෙන්නට අවශ්‍ය නම් අපිට කතා කරන්න...

 Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට... අපේ මීළඟ සංචාරය බතලේගලට.....

ප්‍රදීප් 076 66 42 607 / 0703 17 44 17

දුලිප් 0777 043 804 / 0703 207 207