විප්ලවවාදියකු නොවන උඹ උඩුබුරලන සුනඛයෙකි

විප්ලවවාදියකු නොවන උඹ උඩුබුරලන සුනඛයෙකි

ලෝකය අපගේ මෙන් ම ඔබගේ ය. එහෙත් අවසාන විග්‍රහයේදී එය ඔබගේ ය. කාය ශක්තියෙන් සහ ජීව බලයෙන් පිරිපුන් තරුණ ජනයා වන ඔබ උදා සූර්යයා මෙන් ජීවිතයේ පුෂ්ප සමයෙහි පසුවෙන්නාහු ය. අපේ බලාපොරොත්තුව ඔබ මත තබා ඇත.

ලෝකය ඔබට අයත් ය. චීනයේ අනාගතය ඔබට අයත් ය.” මෙලෙසින් තම රටේ තරුණයින් වෙත ආමන්ත්‍රණය කරනු ලැබුයේ මාඕ සේතුං විසිනි. ඒ 1957 වැනි ඈත යුගයක ය. මෙලෙස ආමන්ත්‍රණයට ලක් වූ චීන තරුණයින් විසින් ගොඩනඟන ලද චීනය අද ලෝක බලවතෙකු බවට පත්ව ඇත.

එසේම ලෝකය තම අණසකට ගනිමින් සිටී. චීනය නම් නිදා සිටි යෝදයා නැගිටවනු ලැබුයේ චීන විප්ලවය විසිනි.

නිවැරදි මඟ පෙන්වීම තුළ, දුප්පත්කමින් පීඩා විඳි චීනය අද වන විට ලෝකයේ දැවැන්තම ආර්ථික වර්ධනය සහිත රට බවට පත් කරනු ලැබුයේ කෙසේද? සමාජවාදි දේශපාලන ක්‍රමය විසින් ඇති කළ වෙහෙස වී වැඩ කිරීමේ පුරුද්ද, චීනය ලෝක බලවතෙකු දක්වා ගෙන යාමේ ගාමක බලවේගය බවට පත් විය.

අරමුණු සහගතව වෙහෙස වී වැඩ කිරීම තුළින් රටක පවතින දුක්ඛිත භාවය නැති කිරීමට එක් පරම්පරාවකට හැකි වූ බව චීනය අපිට කියාදෙන පාඩමයි.

එමෙන්ම වැඩ කිරීමේ සංස්කෘතියක් නිර්මාණය වූ විට රටක් ආපස්සට ගමන් නොකරන බව ජපානය අපිට කියාදෙන පාඩමයි. ඕනෑම රටක් තුළ සිටින තරුණයින් යනු ගතානුගතිකත්වය සහ පෙර සිරිත්වල සරණ යාම අඩුවෙන්ම කරනු ලබන පිරිසයි.

 ඉගෙනීමෙන් සහ ක්‍රියාශීලි භාවයෙන් අනූන මෙම පිරිස රටක අනාගතය වෙනස් කරන බව විස්වාස කළ රාජ්‍ය නායකයෝ නිරන්තරයෙන් තම රටවල සංවර්ධනය වෙනුවෙන් තරුණයින්ට ආමන්ත්‍රණය කළහ.

රුසියාව, ජපානය, චීනය මෙයට උදාහරණ කිහිපයක් පමණකි.

ඇමෙරිකන් විප්ලවය මෙන්ම ප්‍රංශ විප්ලවය, එංගලන්ත විප්ලවය තුළ තරුණයන් ඇති කළ බලපෑම විසින් එම රටවල් පැවති තත්ත්වයට වඩා කිහිප ගුණයකින් ඉහළට ඔසවා තැබීය. ඔවුන් විසින් තනනු ලැබූ නව සංස්කෘතික මානයන් විසින් එම රටවල ඉරණම වෙනස් කරනු ලැබීය.

තාරුණ්‍යය ජව සම්පන්න ය. ආත්මාර්ථයෙන් තොර ය. විප්ලවවාදී ජීව ගුණයෙන් අනූන ය. එබැවින් වෙනස් කළ යුතු ඉරණමක් ඇති රටවල් පළමුවෙන් ආමන්ත්‍රණය කළ යුත්තේ එම රටේ තරුණයින්ටයි. අද අපි සිටින්නේ වෙනස් කළ යුතු ඉරණමක් අභියස ය. පැරණි වැඩිහිටියන් තැනූ රට අවලස්සන, අවිධිමත් සේ ම ප්‍රිය උපදවන එකක් නොවන බව ඔබ මෙන්ම මම ද විස්වාස කරමි.

තව දුරටත් මහලු වැඩිහිටි ගතානුගතික පෙරසිරිත හා බැඳුණු කපටි මෙන්ම තරුණයින්ට වෙඩි තැබීමට යෝජනා කරන මිනිසුන්ට මේ රට වෙනස් කළ නොහැකි බව පමණක් ඔප්පු කර ඇත. ඔවුන් තනා ඇත්තේ වෛරය පිරුණු, කුහකත්වය සහ බොරුව රජ කරන, මහපොළොවට ඇති ආදරය උදුරා දැමූ පරම්පරාවකි.

නිදහසින් පසු තරුණයින්ට ඇමතු කිසිඳු රාජ්‍ය නායකයෙකු අපට නොමැත. තම ආත්මාර්ථය උදෙසා ද යුද්ධයට යැවීමටත් විප්ලව කිරීමටත් තරුණයින්ට කතා කළා හැරෙන්නට මේ රට වෙනුවෙන්, රට ගොඩනැඟීමේ වගකීම භාර දෙනු පිණිස උගත්, බුද්ධිමත් තරුණයින්ට කතා කළ එකඳු නායකයෙක් නොමැත. තුරුණු වියේ උරුමයක් වූ පරාර්ථකාමී බවත් ජවයත් නව අදහසුත් පැළ කිරීමට නොහැකිව තම හදවත්වල ම මරා දමමින් ගතානුගතික ක්‍රමවේදයන්වල සූරයන් බවට පත් වන විට තනතුරු, වරප්‍රසාද දෙන මිනිසුන් වැඳ පීදීමට ලක් කරන සමාජ සංස්කෘතික ක්‍රමය තුළින් දිගින් දිගටම සිදු වූයේ ගතානුගතික මිනිසුන් පිරිසක් මෙන්ම නායකයින් පිරිසක් බිහිවීමයි.

ප්‍රශ්න කිරීම තුළ ඇති වන භයානක අනතුරු ලංකාව තුළ සුලබ වන විට ප්‍රශ්න කිරීමකින් තොරව ම ඉදිරිපත් වන කෙනා සුදුස්සා බවට පත්වීම සාමාන්‍ය දෙයක් වී තිබේ. රජයේ ආයතන පද්ධතිය මෙයට ඇති හොඳ ම සාක්ෂියයි.

ශුෂ්ක කලාපීය ප්‍රදේශවලත් ටයි පොලු එල්ලාගෙන චක්‍රලේඛන කට පාඩම් කරන, පෙර සිරිත පමණක් වැඩ කිරීමේ දී භාවිතයට ගන්නා ආයතන ප්‍රධානීන්ටත් නිලධාරීන්ටත් මේ රටට ඇවසි වෙනස ලබා දිය නොහැක. “යර්ස් සර්” න්‍යාය රට දුප්පත්කම කරා ගෙන යන ප්‍රධාන සාධකය බවට පත්ව ඇත. ප්‍රශ්න කිරීම අවශ්‍ය වන්නේ මේ නිසාවෙනි. සෑම ස්ථාවරත්වයකම ප්‍රතිස්ථාවරත්වයක් නිර්මාණය කළ යුතු අතර ඒ තුළ ඇති කරනු ලබන ගැටුම තුළින් නව ස්ථාවරත්වයකට යා හැකි වේ. එම ස්ථාවරත්වයට ද ප්‍රතිස්ථාවරත්වයක් නිර්මාණය කළ යුතු වේ.

 තරුණයින් අවශ්‍ය කරනුයේ මෙම ප්‍රතිස්ථාවරත්වය නිර්මාණය කිරීම වෙනුවෙනි. ඒ ගතානුගතිකත්වය ප්‍රතික්ෂේප කිරීම තුළ වඩා නිවැරදි ස්ථාවරත්වයක් වෙනුවෙනි. තරුණ වියේදීවත් විප්ලවවාදී නොවන්නේ (වෙනස් විදිහට සිතිය නොහැකි) නම් ඌ බල්ලෙකි. එසේම තරුණ වියේ ඇති ක්‍රියාශීලි, ජීව බලසම්පන්න බවට ඇමතිය නොහැකි පාලකයා ද .........