ලංකාවේ හෙළුවැලි photo කලාව (23+) Nude Photogrphy (18+)

ලංකාවේ හෙළුවැලි photo කලාව (23+) Nude Photogrphy (18+)

ලිය ලියා උන්නේ පොටෝ ඇල්ලිල්ල ගැනය. මාතලන් පොටෝවලට බොහොම කැමතිය, ඒ නිසා "පින්තූරූ" නමින් බොගක්ද, "Classic Pics" නමින් තවත් බොගක්ද, පවත්වාගෙන ගියේය. කාල කළමනාකරණයේ කේස් එකක් නිසා, ඒවා අප්ඩේට් කොරන්නට වෙලාවක් නැති එක ගැන ඇත්තටම මාර දුකය.

ලංකාවේ පොරසිද්ද ම පොටෝ කාරයා, මම හිතන විදිහට ලාල් හෑගොඩය. එයා පොටෝ ඉස්කූල් එකකුත් කරනවාය. ඒ වගේම පට්ට කවියෙක්ය. ඇත්තටම හොඳ පොටෝකාරයෙක්,

හොඳ කවියෙක් හෝ ටැලන්ට් සාගරයක්ය කියන එකට, බ්ලොග්වල තියෙන උදාහරණය නම් සොසීමය.

ඉස්සෙල්ලත් කිව්වා වගේ, මගුල් පොටෝවල ක්ලැසික් පොටෝ කාරයෝ උන්නත්, අනෙකුත් ඡායාරුපවලට ප්‍රසිද්ධ පොරවල් ගැන දැන ගැනීමට නම් ඇත්තේම නැතිය. කොහොම උනත් එයාලාගේ සංගමයක් තියෙන්නේය.

 

මම කරපු බ්ලොග් දෙකෙන්, "Classic Pics" බොගේ තිබුණේ, කලාත්මක නිරුවත් ඡායාරූපයන්ය. එය මාතලන් කුඩා කළ සිට බොහෝ රස වින්ද කලාවක්ය. අද නම් ඕවා කරන්න ගොහින්, රාවණා බළකායේ හෝ නානසාරලාගෙන් නොමිලේ නිවන් දකින්නට ඇහැකිය, එහෙම නැත්නම් විමලේගේ සැට් එකෙන් හෝ චම්පිකලාගෙන් ඇක්සිඩොන්ට් වෝඩ් යන්නම සබ්බත්ත පාරවල් ටිකක් කන්නට ඇහැකිය.

අද තත්ත්වය එසේ වූවද, ලංකාවේ හෙළුවැලි කලාව එන්නේ ඈත අතීතයේ සිටමය. සීගිරිය එක් උදාහරණයකි. ඒවා ලෝකේම පොරසිද්දය. අනෙක ඉසුරුමුණියයි. බොහෝ දෙනෙක් නොදන්නා කාරණය නම් ඉන්දියාවේ කජුරාහෝවල ඇති ලිංගික ඉරියව් නිරූපණය කරනා කැටයම් ඇති පුරා විජ්ජා ඉස්තානයක් ලංකාවේද තියෙන බවය. ඔය බ්ලොග් ලියන මාරයා නම් මෑතකදි ඔහේ ගිහින් ඇවිත් එරෝටික් ස්කල්ප්චර් දැක්කාද ඇහුවාම කොර වෙලා ගියේය. ඒ මාතලේ ඇති නාලන්දා ගෙඩි ගේය.. අද ඇත්තේ කැටයම් දෙක තුනක් පමණය. අනික්වා සීගීරියේ තන්වල තාර ගෑවා වගේ විනාස කොරලා දාන්න ඇතිය.

ලයනල් වෙන්ඩ්ට් (1900-1944)

ඉන් පසු හෙළුවැලි පොටෝ කලාව යන්නේ, නිදහසටත් පෙර අතීතයටය. ඒ සුන්දර මිනිසකු වූ ලයනල් වෙන්ඩ්ට් නම් මහා කලාකරුවාය. ලයනල් ඇත්තටම ඉන්ගිරිස් හා ජරමානු සම්භවයක් ඇති සුද්දෙක්ය. මුළු පවුලම නඩුකාරයෝ හෝ අධිනීතිකාරයෝය. තරුණ ලයනල් ලන්ඩන් ගියේ නීතියේ කෙළ පැමිණිලා එන්නය. ඒ උනාට එහේ ගිහින් කළේ, රාජකීය සංගීත පාසලේ නොම්මර එකේ පියානෝ වාදයෙක් වීමය.

ලංකාවට ආවාට පස්සේ ඔහුගේ දැනුමෙන් කළ හැකි දෙයක් නොමැති කල ඔහු යොමු වූයේ ඡායාරූප කලාවටය. එම කලාවත් ඇඟේ තියෙන්න ඕන එකක් කියන්නේ මේ නිසාය. ලයනල්ගේ ඡායාරූප ලංකාව ලෝකයට ගෙන ගියේය. ලංකිය සංස්කෘතිය, කලාව, ලෝකයට ගෙන ගිය ප්‍රථම පුද්ගලයා ඔහුය. ඒ වෙනුවෙන්ම සංගමයක්ද පිහිටුවා ගත් ඔහු, ගෝලයෝ රාශියක් බිහි කළේය. කලාගාරයක් සෑදීමේ ඔහුගේ සිහිනය නිමා වූයේ අවුරුදු 44 ක් තරම් තරුණ වයසේ, දිවිය ලෝකයේ ගියායින් පසුය.

ලයනල් වෙන්ඩ්ට්ගේ පොටෝ එකක්

අද ඔහේලා නාට්ටි බලන්න යන්නේ, ලයනල්ගේ යාළුවෙක් වෙච්චි හැරල්ඩ් පීරිස් රසිකයා හදපු ආර්ට් සැන්ටර් එකටය. ඔතන නාට්ටි බැලුවාට. ලයනල් වෙන්ඩ්ට් ගේ කලාගාරය බලන්න යන්නේ එහෙමත් එකෙක්ය. එතනට ගියානම් 1930 ගනන් තරම් ඈතක. ඔහු කොතරම් දියුණු ලෝකයක ජීවත් උනාද යන්න හොඳින්ම බලාගන්න ඇහැකිය. සුද්දෙක් උනත් ලයනල් ලංකාවේ නිදහස වෙනුවෙනුත් පෙනී සිටියේය.

ඔහුගේ පොටෝ නිසා ලංකාව ගැන බිහිවූ හොඳම චිත්‍රපටියක් වූයේ "සෝන්ග් ඔෆ් සිලෝන්" නම් සිනමා පටයයි. මේ චිත්තරපටියේ පොතේ ගුරා එහෙම නැත්නම් කථනය ලයනල්ගේය. ඔහු කියවන්නේ "රොබර්ට් නොක්ස්" ලියාපු ඒවාය. මෙහේ සිනමා පොටොග්‍රැෆර් වැඩේ අද්යක්සක බැසිල් රයිට් වගේම ජොන් ටේලර් කියන සුද්දන්ගේ උනත් ඔවුන් පවසා ඇත්තේ කැමරා ඈන්ගල් හා ලොකේෂන් සොයා දීම් සියල්ලම කළේ ලයනල් වෙන්ඩ්ට්ම තමයි කියාය.

එයාගේ ඡායාරූපයන් සියල්ලම, ජීවමාන වර්ණයන් වන කළු සහ සුදුය. මාතලන් හිතන්නේ අද උනත් හෙළුවැලි පොටෝ එකක කලාත්මක බව ඉස්මතු වන්නේ, කළු සහ සුදෙන් නම් විතරක්ය කියාය. වර්ණයෙන් ගහපු ගමන් නිරුවත, එරොටික් එහෙම නැත්නම් ශෘංගාර රසය ඉස්මතු වෙන කේස් එකක් වෙනවාය.

රොඩී යැයි කියනා හින්ගල මොඩල්ස්

අපේ රටෙත් ඒ කාලෙ ගත්ත පොටෝවල සාමාන්‍ය ගැහැනු ඉඳලා තියෙන්නේ, කුක්කු තන් එළියේ දමාගෙනය. ඒ උනාට අද ඒවාට කියන්නේ, ඒවා රොඩී උන්ගේ කියාය. නමුත් ඇත්ත ඒක නෙමේය. උඩට ඇන්දේ රජ්ජුරුවන් හා රජතුමාට කඩේ ගිය උන් විතරය. සාමාන්‍ය උන්ට උඩු කය වසාගන්න හම්බ උනේත්, සුද්දා නිසාය. එහෙව් සුද්දට බටහිර කුමන්ත්‍රණ කාරයෝ අරවා මේවා කියන කොට මාතලන්ගේ හිත නම් රිදෙනවාය.

ඒ කාලේ එහෙම උනත්, මේ කාලේ හෙළුවැලි පොටෝ අල්ලන්න ගිහින් මහ උළු ගෙදර යන්න උනොත් මාතලන් ඇප දෙන්නවත් පැත්ත පළාතේ එන්නේවත් නැතිය. එහෙම හෙළුවැලි පොටෝ ගන්න ගිහින් වෙච්චි අකරතැබ්බයකුත් එක්ක ඊළඟ එකෙන් මේ මල හත්තිලව්ව නවත්තනවාය. නැත්නම් මටත් වෙන්නේ හෙළුවැල්ලෙන්ම පාරේ යන්නය.