නිල්වලාවට ලියමි

නිල්වලාවට ලියමි

ස්සර හුඟාක් ආඩම්බරයෙන් තාලෙකට ගලං ගියපු උඹට මං අනන්තවත් කවි ලිව්වා.ඒ කවි ඇතුළේ මං උඹට ලොකු තැනක් දුන්නා. මං එදා උඹට කතා කළේ "නිල්වලා කුමරිය" කියලා.අපේ ගම මැද්දෙන් උඹ තාලෙකට ගලං යනකොට මං උඹ ගැන පුදුම විදිහට ආඩම්බර වුණා.

පහුගිය ඉඩෝර දවස්වලදි වෙන පළාත්වලට අඩුම තරමේ බොන්න වතුර උගුරක් නෑ. ඒත් උඹ අපි ගැන හිතලා අපට හැමදාම බොන්න වතුර දුන්නා.හිතේ හැටියට නා ගන්න ඉඩක් දුන්නා.මට දැන් අවුරුදු දහඅටක්.

මේ අවුරුදු දහඅට ඇතුළේ මං උඹට දීපු ආදරේ දන්නේ මං විතරයි.මං හිතං හිටියේ ඒ ආදරේ උඹ දැනං ඉන්න ඇති කියලා.ඒත් මං හිතුවා වැරදියි.මං එහෙම කියන්නේ ඇයි කියලා දැන් උඹ හොඳටම දන්නවා.උඹ ළඟදි උඹේ ඒ සීතල හාදුවැල් මගේ මුළු ඇඟම කිති කවද්දී මං උඹට එදා මහා හුඟාක් ආදරේ දුන්නා.

හැබැයි අවුරුදු දහඅටක් මං උඹට දුන්නු ඒ ආදරය උඹ එක නිමේෂයක මගෙන් ඈත්ම ඈත් කරගත්තා.මං මෙච්චර ආදරේ කරලත් උඹ මට මෙදා සළකපු විදිහ ගැන මට නම් තියෙන්නේ මහා දුකක්.ඒ දුක දන්නේ මමයි උඩ ඉන්න දෙවියොයි විතරයි.ඒ දුක ඉස්සරහා මං අද හුඟාක් අසරණ වෙලා.

පහුගිය සතියේ දවසක අහසේ ඇඳිලා තිබුණේ හරිම මූසල පාටට හුරු සිතුවමක්. වෙනදට සුදු වළාකුළුවලින් පිරිලා තිබුණු අහස එදා කළු ම කළු පාටටයි මං දැක්කේ.ටිකකින් අහස දෙදරවමින් මහා වැස්සක් පොළොවට කඩන් වැටුණේ උඹෙයි මගෙයි තිබුණු බැඳීමේ පළවෙනි ම නූල්පොට පළවෙනි වතාවට ගැළවෙන බව මතක් කරමින්.ඒ වැස්ස අන්තිමේ දවස් දෙකක්ම වැස්සා.

වැස්සා නෙවෙයි ගැලුවා කීවොත් මං හරි.වැස්ස අඩුවක් වුණේ ම නෑ.එක පාර ම මට ඇහුණේ විලාප දෙන හඬක්."ගඟ වෙන තැනකින් මෙහෙට හැරිලා.

වතුර පාර ගමට එනවා. පන්සල පැත්තටවත් දුවපල්ලා"අපේ චූටි මාමා එහෙම කියාගෙන පන්සල පැත්තට දුවගෙන ගියා.ඒ තමයි මං උඹ ගැන ආදරයක් තිබුණු අන්තිම මොහොත.හිතන්න වෙලාවක් නෑ.උඹ මහා ජල කඳත් ඇරන් ඒ වෙනකොටත් අපිව කොටු කරගෙන ඉවරයි.ඉණ ළඟටම වතුර.මගේ අතේ තිබුණේ ෆෝන් එක විතරයි.මං ඒකත් අරන් අම්මලා එක්ක පන්සල දිහාට වතුරේ දිව්වේ උඹට තිබුණු බයට.

ඒ වෙනකොටත් උඹ අපේ ගමේ ජීවිත ගාණක්ම බිලි ඇරන් කියලා මට ආරංචි වුණා.එක පාරටම මට Call එකක් ආවා. එහා පැත්තෙන් ඇහුණේ හුරුපුරුදු හඬක්.ඒ කතා කළේ එයා.

"අනේ අයියේ, අපිට ගංවතුර.ඉණ ළඟට ම වතුර වැඩියි දැන්.මං පස්සේ ගන්නම්." එයා කතා කරන්නත් කලින් මං එහෙම කියලා ඉවර වෙද්දිම ෆෝන් එකත් Off වෙලා ගියා.මමයි අම්මයි තාත්තයි උඹත් එක්ක ඔට්ටු අල්ලලා යන්‍තම් පන්සලට ගියා.අයියා ඒ වෙද්දිත් ගෙදර තිබුණු බඩුමුට්ටු බේරගන්න උඹත් එක්ක ඔට්ටු අල්ලමින් හිටියේ.ඔව්,එතනින් අපේ කතාව ඉවරයි.ඒත් මං මැරුණේ නෑ.අපේ ගෙදර අයට මැරෙන්න දුන්නෙත් නෑ.ඒත් මේ වෙලාවෙත් මැරි මැරී මං විඳවනවා. එහෙම වුණේ උඹ,මං නොහිතපු දෙයක් අපිට කරපු නිසා.ඔව්,ඒ තමයි මගේ හුරුපුරුදු ජීවිතේ අන්‍තිම තත්පර කිහිපය.මට මහා දුකයි.මං ඒ දුකට උඹටත් ඇහෙන්න අම්මලත් එක්ක කඳුළු ඉවර වෙනකල්ම ඇඬුවා.

අද මං ආයෙත් ඉපදිලා.හැබැයි මට මගේ කියන්න ඉතුරු වුණේ මගේ අම්මයි, තාත්තයි,අයියයි,ඇඳන් හිටපු ඇඳුමයි, මේ ෆෝන් එකයි විතරයි.අනිත් හැමදේම උඹ මගෙන් උදුර ගත්තා.එදා මං චූටි කාලේ හිටියේ කොහොමද කියලවත් බලන්න තිබුණු ෆොටෝ දෙක තුනත් උඹ අනුකම්පාවක් නැතුව උදුරන් ගියා.ආයෙත් මට බලන්න මං චූටි කාලේ ෆොටෝ එකක්වත් මං ළඟ නෑ.සාමාන්‍ය පෙළ විභාගය පාස් වෙලා ගත්තු වටිනා සහතිකේ ඉඳන් මහන්සි වෙලා ගත්තු හැම සහතිකයක්ම විතරක් නෙවෙයි, මගේ උප්පැන්න සහතිකේ,හැඳුනුම්පත පවා උඹ උදුරන් ගියා.කමක් නෑ.ඒ දේවල් නැතිවුණා කියලා මට දුකක් නෑ.මට තියෙන්නේ එකම දුකයි.මගේ ජීවිතේ එකම හීනය වෙලා තිබුණේ එන අගෝස්තුවේ තියෙන උසස් පෙළින් ඉහළින්ම පාස් වෙන්න.

මගේ විතරක් නෙවෙයි,අපේ අම්මලාගේ හීනය වුණෙත් ඒක.මට ඒ හීනයට යන්න තවත් තිබුණේ හරියටම මාස දෙකක් විතරයි. ඒත් ඒ හීනේ තවත් එක හීනයක්ම කරලා උඹ මගේ උසස් පෙළ පොත් ටික, කෙටි සටහන් ටික,පාස් පේපර් ටික වගේම පාඩම් කරන්න තිබුණු හැම අකුරක්ම කිසි කැක්කුමක් නැතුව උදුරන් ගියා.සමහර විට ඒ මං උඹට දුන්නු ආදරේට උඹ මට දුන්නු තෑග්ගක් වෙන්න ඇති.අද මං විභාගය ඇතෑරලා වගෙයි ඉන්නේ.පාඩම් කරන්න කියලා කිසිම අකුරක් නැතුව ඇඳිවත විතරක් ඉතුරුවුණු මට විභාගයක් ගැන හිතන්න පුළුවන්ද?අන්න ඒ නිසා මං විභාගය අතාරින්න තීරණය කළා.සමහර විට ඒක උඹේ සතුට වෙන්න ඇති.ඒත් මං එහෙම කළා.

එදා ඉඳන් සහනාධාර කියලා අපට ලැබුණේ බඩගින්න අඳුරන මිනිස්සු දුන්නු බත් පැකට් එක විතරයි.බඩගින්න නිවාගන්න ඒකෙන් පුළුවන් වුණාට හිතේ ගින්න නිවාගන්න ඒකෙන් බැරිවුණා. අම්මා තාත්තගේ සුදු දුව වෙලා හිටපු මං උසස් පෙළ හොඳින් කර ගන්නවා කියලා එයාලත් දැනගෙන හිටියා.මමත් දැනගෙන හිටියා,පහුගිය අවුරුදු දෙකේ මහන්සි වෙලා තිබුණු හැටියට මට උසස් පෙළ ගොඩ දාගන්න පුළුවන් කියලා.ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ? අනේ උඹ මගෙන් උදුරන් ගියේ මගේ ජීවිතේ තිබුණු ලොකුම වගේ ම එක ම හීනය. මට තිබුණු අන්තිම බලාපොරොත්තුව. අපේ අම්මගේ තාත්තගේ එක ම ආසාව වෙලා තිබුණේ මං උසස් පෙළ පාස් වෙලා කැම්පස් යනවා දකින්න.ඒත් ඒ හීනය ළඟ මං දැන් හුඟාක් අසරණ වෙලා ඉවරයි.

මීට වැඩිය හොඳයි උඹ මගේ ජීවිතෙත් උදුරන් ගිහින් මේ වතුරෙ ම නැති කරලා දැම්මා නම්.ඇස්පනා පිටම මගේ හීන කිසිම අනුකම්පාවක් නැතුව උඹ බොඳ කරලා දානකොට මං ඉවසන් හිටියේ මගේ අම්මගේ තාත්තගේ හීනවලට කවදා හරි පණ දෙන්න ඕනේ නිසා.එහෙම නොවෙන්න මමත් ඉන්නේ උඹ නැති කරලා දාපු අර දුප්පත්,අහිංසක මිනිස්සුන්ගේ ගොඩේ.ඒත් අම්මගේ ඇස්වලට මං කඳුළු දෙන්නේ කොහොමද තවත්.මට දැන් අඳින්න ඇඳුමක් නෑ.තාම ඉන්නේ එදා ඇඳන් හිටපු ඇඳුමෙන්මයි. ගෙයක් තිබුණට ගෙයි බිත්ති විතරයි. කන්න බොන්න දෙයක් නෑ.ඒත් මං තාම ජීවත් වෙනවා.මොකද උඹ අහිමි කරපු එකම හීනයට මං කවදා හරි කොහොම හරි පණ දෙන්න ඕනේ.ඒකයි දැන් මගේ බලාපොරොත්තුව.මං මගේ ඒ අහිංසක බලාපොරොත්තුව හෙට කොහොම හරි ඉටුකර ගන්නවා.

ඉතින් මං උඹ එක්ක තරහා නෑ. ඒත් මං ආයෙත් උඹට ආදරේ කරන්නේ නෑ.අඩුම තරමේ උඹ දිහා බලන්නෙවත් නෑ.මට හිතන්න ඉතුරු වුණේ මෙච්චරයි. මං අද ඉපදුණු කෙල්ලෙක්. ආයෙත් ජීවිතේ අයන්නෙන් පටන් ගන්න තියෙන,හැමදේම නැතිවෙලා පණ කෙන්ද ඇඳිවතට ඇලුණු අහිංසක කෙල්ලෙක්.උඹ මතක තියාගනිං.උඹ නැති කළේ මගේ ජීවිතය.මගේ හීනය. උඹ මගෙන් මොන දේ උදුරන් ගියත් කමක් නෑ.මට තියෙන දුක මගේ උසස් පෙළ පොත්පත් ටික උඹ උදුරන් ගිහිං මගේ අම්මලගේ හීනය මගේ ඇස් ඉස්සරහම නැති කරපු එක ගැන.අවුරුදු දහඅටක් මං උඹට දීපු සෙනෙහසට උඹ මට මගේ හීනෙවත් ඉතුරු කරලා ගියා නම් අදත් මං උඹට චුට්ටක් හරි ආදරෙයි.උඹ ආයෙමත් දවසක අපේ දේ උදුරන් යන්න එයි.ඒත් එදාට උඹ මං වගේ අහිංසක ළමයින්ගේ හීන උදුරන් යන්න එපා.එහෙම වුණොත් මං තනිවුණා වගේම උඹත් දවසක මේ විදිහටම තනිවෙයි....සත්තයි.

මම,

තාරකා ධනංජිනී

නිල්වලා කුමරියනි,

දස දහස් වරක් ස්තූතියි නුඹට

ඇගේ සියලු දේ නුඹ රැගෙන ගියත්

ඇගේ ජීවිතය මට ඉතුරු කර ගිය එකට

ඒත් මට දුකයි අද

ඇගේ සිහිනය ඇගෙන් උදුර ගත්තාට

නමුත් යළි යළිත් ස්තූතියි නුඹට

නුඹ කොතරම් බිහිසුණු වූවත්

මගේ "පණ" මට ඉතුරු කෙරුවාට

නුඹ නොදන්නවාට තවම

ඇයයි මගේ ආදරණීය පෙම්වතිය