හිතුවක්කාර හිතට අදාළම නෑ වැටමායිම්

හිතුවක්කාර හිතට අදාළම නෑ වැටමායිම්

කොට්ටාව හන්දියට ආවේ රීලෝඩ් එකක් දාගන්න. කමියුනිකේෂන් එක ගාවදි දැක්ක දෙයින් මං ටිකක් ගැස්සුනා. හැන්ඩි කොල්ලෙක් එක්ක බයික් එහෙක නැගලා ගිය කෙල්ල කුමුදුණීද? ඔව්. ඒ එයාම තමයි. මේ ඇස් කොහොම රැවටෙන්නද? කාලෙකට පස්සෙ ඒ ඇස් දැක්කම, හිත අස්සෙ හරි පරිස්සමට හංගලා තිබ්බ මතක පොතේ පිටු පෙරළෙන්න ගත්තෙ එක දිගට.

කුමුදුණී මගෙ හිතට වඩිනකොට මට යන්තම් දහඅට පිරුණා විතරයි. කුළුදුලේ උපන්න ආදරේ නමින් හිත අස්සෙ මල් පිපුණෙ පොකුරු පිටින්. එයා මහරගම. මම අතුරුගිරියෙ. එයාට අම්මා නැහැ. තාත්තා ඉන්නවා. මට තාත්තා නැහැ. ඉන්නෙ අම්මා විතරයි. ආදරේ උතුරලා ගලන්න පටන් ගනිද්දි අපිට අපි නොදැක ඉන්න බැරි වුණා.

ඉස්කෝලෙ කට් කරලා, ක්ලාස් කට් කරලා අතන මෙතන හම්බවෙන්න තියාගත්තේ හිතුවක්කාර හිතට වැටමායිම් බඳින්න බැරි ම තැන. දවසක් ඉස්කෝලෙ යනවයි කියලා ගිහින්, යාළුවෙක්ගෙ ගෙදරින් ඇඳුමුත් මාරු කරගෙන, කෙල්ලත් එක්ක රවුමක් දැම්මා... නිදහසේ එහෙමෙහ ඇවිදලා, ෆිල්ම් එකක් එහෙමත් බලලා ආයෙමත් හොර පූසා වගේ යුනිෆෝම් දාගෙන ගෙදර ගියා. උපාසකයා වගේ ගෙට රිංගගන්න හදනකොට අම්මා මගේ ඇඟට ගොඩ වුණේ හිතාගන්නත් බැරි විදිහට. එතකොටයි මං දැනගත්තේ වැඩේ අතේ පත්තු වෙලා විත්තිය. මං ඇඳුම් මාරු කරන්න ගිය ගෙදර යාළුවගේ අම්මා තමයි ගින්න දීලා තිබුණේ. අන්තිමේදි බට කැලේට ගිනි තිබ්බා වගේ පත්තු වුණා. දවසක් ඉස්කෝලෙ කට් කළාට මට ලැබුණෙ ටිකක් සැර වැඩි දඬුවමක්.

ඉස්කෝලෙ තහනම්, ක්ලාස් තහනම්... ඒ තියා කඩේටවත් යැව්වෙ නෑ මාව. හරියට නිකං වැඩිවිය පැමිණි ගෑනු දරුවෙක් වගේ ගෙදරට කොටු වුණා. මගේ ෆෝන් එකත් ගෙදරින් ගත්තා.

මං හිටියෙ සංසාරෙ එපා වෙලා. මට හරියට කුමුදුණී මතක් වුණා. ඒ දවස්වල අපේ ගේ හදනවා. අම්මා වැඩට ගිය වෙලාවක මං බාස් කෙනෙක්ගෙන් ෆෝන් එක ඉල්ලගත්තා අම්මට කතා කරන්නයි කියලා. ඒ අරගෙන පැත්තකට ගිහින් කුමුදුණීට කතා කළේ හිතේ තියෙන බර අඩු කරගන්නයි.

 කතා කරලා මං කිව්වා “මං දැන් ලියුමක් ලියලා තියලා ගෙදරින් එනවා. ඔයා මාත් එක්ක යන්න ලෑස්ති වෙලා ඉන්න” කියලා. එයත් කිව්වා “එන්න මගෙ පණ. ඔයත් එක්ක ඕන තැනකට යන්න එනවා” කියලා. මමත් ඉතිං වීරයා වගේ ලියුමකුත් ලියලා තියලා, ඇඳුම් ටිකත් අරන් ගෙදරින් ආවා. අතේ ම තිබුණෙ රු.500යි. අන්තිමේදි මං එයාලගේ ගෙවල් ඉස්සරහට වෙලා එබිකම් කරකර හිටියෙ කුමුදුණී එළියට එනකල්. ඔන්න ටික වෙලාවක් බලන් ඉන්නකොට කෙල්ල එළියට ආවා. එයා වත්ත ඇතුළෙ එහාට යනවා. මෙහාට යනවා. මාත් ඉතින් බලං ඉන්නවා. එළියට එන්නෙ ම නෑ. පස්සෙ යාළුවෙක් අතේ මට පණිවිඩයක් එව්වා. ගෙදර යන්නයි කියලා.

මට දවල් තරු පෙනුණා. කොහොමෙන් කොහොම හරි පැනලා යන එක කෙසේ වෙතත් මට කෙලින් ම යන්න වුණේ පොලිසියට. අම්මා මගේ ෆොටෝ එකකුත් එක්ක මං ලියපු ලියුම පොලිසියට දීලා තිබුණා. පොලිස්සියෙන් මට සෙට් වුණේ ජීවිතේට කාලා නැති විදිහෙ කෑමක්.

මට ගහපු පොලිස්කාරයගෙ එක අතයි තිබුණෙ. මිනිහා තනි අතට ගැම්ම අරන් දුන්නෙ නැද්ද එලෝ පොල් පේන්න. කාපු පාරවල්වලට මට ඉන්න බැරි වුණා. වේදනාව නැතිවෙන්න දවස් ගානක් ගියා.

ඇත්තමයි ඒ කාපු කෑමට මට කුමුදුණී නෙවෙ මගේ මුළු ජීවිතේ ම එපා වුණා. කාලෙත් එක්ක ඒ ආදරේ හිත යට ම වැළලිලා ගියත් අද එයා වෙන කොල්ලෙක් එක්ක යනවා දැක්කම මගෙ හිත රිදුම් දෙන්නෙ, අළු යට තාමත් හැංගුණු ගිනි පුපුරු තියෙන හින්දා වෙන්නැති.