සම්මතයම ඇදගෙන යන පිරිමි සනුහරේ වෙතටයි

සම්මතයම ඇදගෙන යන පිරිමි සනුහරේ වෙතටයි

දර හැඟුමන් විකසිත කළ ඔබ මා හද අරගෙන යනු මැන ඈතක කියාගෙන ආදරය කරන්න පටන්ගෙන, නැත ලොවේ අන් රසඳුනා ආදරය සේ සුව දෙනා කියාගෙන පවුල් වෙච්චි බොහෝ දෙනෙක් පස්සෙදි ඉතින් උසාවි ගානේ යන්නේ ඒ ආදරේ සදහටම කටු ගාලා දාන්න.

මේ තරම් සුන්දරව වින්ද ආදරයක් ඇයි මේ විදිහට එපා වෙන්නෙ. තේක දෙකට බෙදාගෙන බීලා, එක බත් එක දෙකට බෙදන් කාලා, එක දත්බුරුසුවෙන් දත් මැදලා මේ තරම් ආදරයෙන් හිටපු අය ඇත්තටම ඇයි උසාවි දොරකඩට එන තැනට පත්වුණේ?

මේ කාරණය හිතට එන්න මුල්වෙච්ච සංසිද්ධිය තමයි පසුගිය දිනෙක පියා සිය දරුවන් දෙදෙනාට වස පොවා තමාත් වස බී මිය ගිය පුවත. ඇත්තටම හදවත කම්පා කළ සිදුවීමක්. බිරිය ඔහු හැර ගිය නිසා ආවේගශීලීව සැමියකු කළ පළිගැනීමක්ද? එහෙමත් නැත්නම් එයත් ආදරය ප්‍රකාශ කළ විදිහක්ද? ජීවිත තුනක් නැති කරගන්නා මේ පවට දරුවනුත් කැමැත්තෙන්ම ඒ සඳහා සහභාගි වෙන්නේ අම්මට ලියුමකුත් ලියලායි. ඒත් මළ ගෙදරටවත් ඇය නොඑන්න තරම් ආදරය විරසක වුණාද? මේ එක් සිද්ධියක් පමණයි. මෙවැනි කතා, මෙවැනි සිද්ධි අපේ රටේ මේ වන විටත් කොයිතරම් නම් වනවා ඇත්ද?

ආදරය තරම් සුන්දර තවත් දෙයක් නෑ කිව්වට ඒ ආදරය නිසාම ජීවිත ඛේදවාචකයකින් අහවර විය යුතුද? දෙදෙනකු විවාහ ජීවිතයට ඇතුළු වෙද්දී එය පැණි මෙන් මිහිරි බව ඇත්තයි. ඒත් පහු පහු වෙද්දි පොඩ්ඩ පොඩ්ඩ කොහු කොහු වෙන්නෙත් ඒ දෙන්නගෙම වරදින්.

ඉතින් අලුත බැන්ද තරුණයන්ට දෙන්න තියෙනවා පුංචි උපදෙසක්. මුල් කාලෙදි ආදරෙන් තුරුළු කරගන්න බිරිඳව, හැමදාම තුරුළු කරගන්න. ආදරෙන් ඇයට ආදරය කරන්න, ඇයටත් දැනෙන විදිහට. රාජකාරී කරදර කන්තෝරුවේම දාලා එන්න. එල්ලෙන්නම බලන් ඉන්නෙ නැතිව, ඒත් තමන් වගේම ඇට,මස්, ලේවලින් හැදිච්ච ආදරය හොයන ආදරණීය චරිතයක් කියලා හිතන්න.

මෙන්න මේ කිව්ව දේවල් මඟහැරෙනකොට තමයි ඔබ නොදැනුවත්වම ඇය ඔබ හැර ගිහින් ඇත්තේ. සමහරවිට ඒ තැන වෙන කෙනෙක් අර ගැනීමටත් වගකිව යුත්තේ ඇය නොව ඔබම බව සිහි තබාගන්න. අකාලයේ තරුණ ජීවිත නැති කරගනිමින් පළිගන්නටවත් උසාවියේ පිහිට පතන්නටවත් එතකොට ඕන වෙයිද ඔබට?

හිතන්න. තරුණියක විදිහට ඔබටත් විශාල වගකීමක් තිබෙන බව ඇත්තයි. ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන කියලා කිව්වට හැබැයි ඒකටත් හේතුව පිරිමියා බව තමයි ඉතින් කියන්න ඕන.

මේ ලියවිල්ල අලුත බැඳපු තරුණයන් වෙනුවෙන්ම අද ලියන්න හිතුවේ ඉහත කියපු ඛේදවාචකයන් ආයෙමත් ඔයාලා අතින් නොවන තැනට පොඩි හරි රුකුලක් දෙන්නයි. එය ඇත්තටම සාර්ථක වුණාද කියලා නම් දන්නෙ නෑ.

ඒත් මොහොතක් හිතන්න. ඔබේ බිරිඳව ඔබට කොයිතරම් මඟ ඇරිලද? ඇය රහසින් කොතරම් කඳුළු සලනවා ඇත්ද? පෙරදා ලැබූ ආදරය කෙමෙන් වියැකෙද්දි ඔබට දරාගන්න බැරිකොට ඇය කෙසේ දරාගනීවිද? ආදරය කරන්න ඇගේ ආදරයට, ඇය ඔබ වෙනුවෙන් කළ පරිත්‍යාගයන්ට. ඇය මහමෙරක් කරගන්න, සදා ඔබව ශක්තිමත් කරවන.

ජීවිතය සුන්දර වේවි. වඩ වඩාත් සුන්දර වේවි. අලුත හදපු කැැදැල්ලේ නැවුම් බව වියපත් වන තුරාත් රැකදේවි. ඒ ආදරය, ඒ සුවඳ. අද සිට ඇයට ඇයව දෙන්න. ජීවිතය වඩාත් රමණීය වන අයුරු ඔබට වැටහේවි. වඩාත් සුන්දර විදිහට. ඒකාන්තයෙන්ම.