යශෝදරා කතා කරයි

යශෝදරා කතා කරයි

හාරාශ්ට්‍ර ප්‍රාන්තයේ සොඳුරු පරිසර සිරිය වඳිමින් හැදීවැඩුණු ඇය සිහින දුටුවේ කවදාක හෝ අධිනීතිඥවරියක වීමට ය. තාත්තාගේ කළු පැහැ නිල කබාය ඇඟලාගත් ඈ පටු දිගු වීදි පුරා ඇවිදිමින් තාත්තා අනුකරණය කරනට හුරුව උන්නාය. පාසල නිමාවී නිවෙසට පැමිණෙන පුංචි පල්ලවී කෝට් ඇඳුමෙන් සැරසී කරනු ලබන අභිරූපණ රංගනයන් නැරඹීමට ඇගේ සහෝදරිය මෙන්ම නිවැසියෝ ද ප්‍රිය කළෝය. පල්ලවී කවදාක හෝ තමාගේ මඟ යමින් අධිනීතිඥවරියක වනු ඇතැයි ක්‍රිෂ්ණ රාව් ශෙට්ටි සිහින දුටුවේය.

මෙසේ කලක් ගතවෙමින් පල්ලවී උසස් අධ්‍යාපනයට යොමුවන්නීය. නීතිඥවරියක වීමේ සිහිනය පසුපස ඈ හඹා ගියාය. සියල්ල වෙනස්වීමට ගතවූයේ එක් දිනයකි. අප කතාව පටන්ගන්නෙ එතැනිනි.

"එක දවසක් මම පන්තියට ගියා. බලද්දි එදා පන්ති නෑ.මම මගේ රාකී සහෝදරයට කතා කළාම එයා කිව්වා මගේ පංතියට එහා පැත්තෙ තිබෙන රඟහලේ නාට්‍යයක් ප්‍රදර්ශනය වන බව.මම නාට්‍ය ,චිත්‍රපට නරඹන්න ඒ කාලෙ කිසිම ආසාවක් තිබුණ කෙනෙක් නෙවෙයි. කොහොමහරි සහෝදරයගෙ ඉල්ලීමට අපි නාට්‍යය බලන්න ගියා.

මම එතරම් ප්‍රියතාවක් දැක්වුවේ නැතිවුණත් නාට්‍යය වින්දා. විවේක කාලයේදී මගේ ළඟට ආපු, නාට්‍යයේ සහය අධ්‍යක්ෂවරයා, අධ්‍යක්ෂවරයාට මා හමුවීමට අවශ්‍ය බව පැවසුවා.එකපාරටම මොකක්ද මේ සිදුවෙන්නෙ කියලා මට වටහගන්න බැරිවුණා. අන්තිමට සහෝදරයාගේ ඉල්ලීම මත මම අධ්‍යක්ෂවරයා මුණගැසුණා. අවසානයේ මා නැරැඹූ තූතු මීමි(ඔබ සහ මම) නාට්‍යයේ ප්‍රධාන නිළි භූමිකාව මට ලැබුණා. නීතිඥවරියක වීමට සිහින දැකපු මම නිළියක බවට පත්වුණා.

එසේ අප සමඟ කතාවට එක්වන්නී පල්ලවී සුභාෂ් ය. පල්ලවී ප්‍රථම වතාවට අපේ රටේ ප්‍රකට වන්නේ අධිරජ ධර්මාශෝක මාලා ටෙලිනාට්‍යයයේ රාණී ධර්මා ලෙසටය. ධර්මාශෝක රජතුමාගේ මවගේ චරිතය මනාව නිරූපණය කරන ඈ ඉන් අනතුරුව කතාබහට ලක්වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ යශෝදරා චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාව රඟමින් ය.

ඉන්දියාවේ වේදිකා නිළියක ලෙස තම ගමන ඇරඹූ පල්ලවී මහාභාරත ටෙලිනාට්‍යය මාලාවේ රුක්මණී ලෙස ඉන්දියාව පුරා ප්‍රචලිතය. විසිතුන් හැවිරිදි ඇය මේ වනවිට මරාටි චිත්‍රපට දොළහක පමණ චරිත නිරූපණය කොට තිබීම සුවිශේෂ කාරණාවකි. එමෙන්ම ඉන්දියාවේ අතිශය ජනප්‍රිය තුම්හාරි ඩීෂා,කරාම් අප්නා අප්නාහි සග බසීරා වැනි ටෙලිනාට්‍යයවල ප්‍රධාන නිළි චරිතය රඟන ඈ මේ දිනවල සිටින්නේ යශෝදරා වීමේ සතුටද හිත පුරවාගනිමිනි.

"මහාචාර්යතුමා යශෝදරා ගැන කියද්දි මම ඒ උත්තම චරිතය ගැන කෙටි කතාන්දර අහලා තිබුණා. නමුත් මට ඒ චරිතය ගැන එතරම් අවබෝධයක් තිබුණේ නැහැ. මම මේ චරිතය තෝරාගත් පසු යශෝදරා ගැන අධ්‍යයනය කළා. එතකොට තමයි මට තේරුණේ මෙහි ඇති බැරෑරුම්කම වගේම පුළුල් බව. නමුත් මම ඉතාමත් සතුටට පත්වුණා, මේ චරිතය මට ලබාදුන්න එක ගැන.ලෝකයේ ශ්‍රේෂ්ඨ කාන්තාවකගේ චරිතය රඟපාන්න ලැබීම මට සතුටක්, ලොකු ගෞරවයක්.

ඇය ඉතා නිහතමානීය. සෑම දේ ගැනම සිතන්නෙ ඉතා සරලව. මේ සා දිගු ගමනකට ඒ නිහතමානී ගුණය ආභරණයක් වන්නට ද ඇත. නැවත මා ඇය රැගෙන යන්නේ පැරැණි මතක අහුර අතරටය.

" එදා වේදිකා නාට්‍යයට යද්දී කවදාවත් හිතුවෙ නෑ මෙච්චර දුර එන්න.අපේ පවුලේ හැමෝම හිතාගෙන හිටියේ අක්කා මේ තැනට එයි කියලා. කෙසේ හෝ මට ලොකු රසික ප්‍රතිචාර ලැබුණා. ලංකාවෙත් මම ජනප්‍රියයි කියලා දැනුනම ලොකු සතුටක් ඇතිවෙනවා. නමුත් මේ ජනප්‍රියත්වය,රූපය සහ ජීවිතය තාවකාලිකයි. අපි පොළොවෙ පය ගහලා ඉන්න තාක්කල් පොළොව අපව ඔසවාගෙන ඉන්නවා. ඒක තමයි මගේ දැක්ම.

යශෝදරා චරිතය රඟපෑමට ලැබීම වාසනාවක් ලෙස ඈ දකින්නී ය. එමෙන්ම අපේ රටේ නිර්මාණකරුවන් ගැන ඈ කතාකරන්නේ සතුටිනි.

මෙම නිර්මාණයට ඉතාමත් සාධාරණයක් කරන්නට සෑමදෙනාම වෙහෙසුණා.මම හිතන්නෙ ලංකාවෙ ඉන්න සෑම ශිල්පියෙක් ශිල්පිනියක්ම ඉතාමත් හොඳින් තම තමන්ගේ කටයුතු සිදුකළා. ඔවුන් නිර්මාණය සමඟ බැඳී ඉන්නවා. ඒ වාගේම ඉතාමත් සහයෝගයෙන් කටයුතු කිරීම තමා ඉතා වැදගත්. මම මේ දර්ශන තලයේදී ඒ ගුණාංග සියල්ල අත්දැකීමෙන් වින්ඳා.ඒ වගේම අධ්‍යක්ෂවරයා ගැනත් කිව යුතුමයි. එතුමා මනා පරිණත අධ්‍යක්ෂවරයෙක් වගේම අතිසුන්දර පුද්ගලයෙක්.එවන් ගුණාංගවලින් පිරි මිනිසුන් එක්ක නිර්මාණ කිරීමට තරම් මම වාසනාවන්තයි.

ඇය ජීවිතය ගෙවන්නේ සතුටිනි. ඒ බව ඇය කතාකරන වචනයක් පාසා රැඳී තිබේ. නිළියක ලෙස ලොව නම පවතින යමක් කිරීම දැන් ඇගේ බලාපොරොත්තුවයි.

"අධිනීතිඥවරියක වීමට සිහින දුටුව මම අද වන විට නිළියක බවට පත්වෙලා සිටිනවා. අහම්බයක් වුණත් මම ඒ පෙරළියට කැමැතියි. මොකද අද අපි හමුවන්නේත් ඒ පෙරළියට ගෞරවයක් වන්න. මම කරන දේ හරියට කරන්න පුංචි කාලේ ඉඳන්ම හුරුවෙලා ඉන්නවා. ඒ අනුව නිළියක ලෙස මගේ සේවාව ඉතාමත් විනීතව, ගෞරවාන්විතව සිදුකරන්න තමයි මම කැප වෙන්නෙ. මම හිතනවා කරන දේ කැපවීමෙන් කරන කිසිම කෙනෙකුට වරදින්නෙ නෑ කියලා. මම යශෝදරා චරිතයට උපරිම කැපවුණා. එහි සාර්ථකත්වය ප්‍රේක්ෂකයන් තීරණය කරාවි.

ඉන්දියාවෙන් අපේ රටට පැමිණි බොහෝ නිළියන් තෝරාබේරා ගෙන රංගනයේ නොයෙදීම නිසා ජනප්‍රියත්වය ගිලිහී ගිය අවස්ථාවන්ද බොහෝය. පල්ලවීටද ඒ ඉරණම අත්වේවිද..?ඈ ඊට ලබාදෙන පිළිතුර අපූරුය.

මම නිරතුරුවම චරිත තෝරාගන්නෙ හිතලා බලලා. ඒ නිසා තමයි මට මේ ගමන එන්නට හැකි වුණේ. දැන් මට තවත් වගකීමක් තිබෙනවා.ලෝකයේ උත්තරීතර කාන්තාවකගේ චරිතය නිරූපණය කළ මට ඒ චරිතයේ ගෞරවය රැකගන්නට වගකීමක් පැවරෙනවා.ඒ නිසා මම වෙනදාටත් වඩා ප්‍රවේසමෙන් චරිත තෝරාගත යුතුයි. අවසානයේ ඇගේ ජීවිත බලාපොරොත්තු ගැන අසා දැනගැනීම වැදගත්ය.එමෙන්ම ඇය යම් අයෙකුට ආදර්ශයක්ද විය හැකිය.

රංගනය අතරතුර මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කාලය වෙන්කරන්නටත් අමතක කරන්නෙ නැහැ.ඒ වගේම රංගනය,අධ්‍යක්ෂණය වගේ දේවල් ගැනත් ඉගෙනගන්නවා.අපේ ලෝකය තත්පරයෙන් වෙනස් වෙනවා.දියුණු වෙනවා.ඒ ලෝකයට අනුගත වෙන්නට අපේ දැනුම ඉතාමත් වැදගත්.

ජනප්‍රියත්වය කියන්නෙ තාවකාලික දෙයක්. නමුත් අපි ලබන දැනුම ජීවත් වෙනකල්ම වටිනවා.මම හිතන්නෙ නිළියක් විදිහට ක්ෂේත්‍රයට පිවිසෙන ඕනෑම අයෙක් අධ්‍යාපනික සුදුසුකම් සපුරා තිබීම ඉතා වැදගත්.

 ඕනෑම රටක කලාකාරිනිය යන ගමන දිහා රසික රසිකාවියන් බලා සිටිනවා.ඒ නිසා කලාකරුවා හෝ කලාකාරිනිය පරමාදර්ශී චරිතයක් විය යුතුමයි.