ඇයි ඔයා මේ එක පාර සින්ඩි ගැන හොයන්න පටන් ගත්තේ..

ඇයි ඔයා මේ එක පාර සින්ඩි ගැන හොයන්න පටන් ගත්තේ..

ගැමුණු අංකලුයි අප්පච්චියි අතර වුණු කතාබහ දිගින් දිගටම විසල්ගේ ඔළුවේ හොල්මන් කරා. සමහර කතන්දර විසල් විතරක් නෙවෙයි තේනුවර දැන ගත්තෙත් පළමු වතාවට.

"එහෙනම් ඒ කතාව ඇත්ත." විසල් තමන්ට මුමුණා ගත්තා.

"මොන කතාවද අයියේ.. "

විසල් අසලින්ම මිදුලේ ගල් බංකුවට වෙලා පොතක් අතේ තියාගෙන හිටපු ශාස්ත්‍රී ඇහුවේ පුදුමයෙන්. ඇයටත් විසල්ගේ දිගු කල්පනාව ප්‍රහේලිකාවක් වෙලා තිබණෙ.

"නංගි, කවදාහරි සින්ඩි ඔයාට එයාගේ කතාව කියලා තියෙනවද ? " ශාස්ත්‍රී දිහාවට හැරුණු විසල් ඇහුවා.

"ඔව්. එයා එයාගේ ඉස්සර ලයිෆ් ස්ටෝරි එක එහෙන් මෙහෙන් කියලා තියෙනවා. මට විතරක් නෙවෙයි යශෝදරාත් දන්නවා. මාග්‍රට් නැන්දයි සුභද්‍රා ඇන්ටියි එහෙන් මෙහෙන් දන්නවා ටිකක්. ඇයි මොකක්ද වෙලා තියෙන්නේ.. ?"

"ඒ හැර වෙන කවුද දන්නේ ?? අපේ මමී ?? "

"වෙන කවුරුත් නැහැ මං හිතන්නේ.. මමී දැන ගන්නේ ඉතිං සුභද්‍රා ඇන්ටි කිව්වොත් නේ. මං හිතන්නේ නැහැ එයා ලොකු දේවල් කියලා ඇති කියලා. අනික ඔයා වුණත් දන්නේ නැහැනේ මෙච්චර කල් කිසිදෙයක් ?"

"යශෝදරා දවසක් මට සින්ඩි ගැන පොඩි විස්තර වගයක් කිව්වා. එතකොට එයා කිව්වා සින්ඩිගේ තාත්තා හැරී ඇන්ඩර්සන් කියලා කෙනෙක් ය. එයා ටී එස්ටේට් කරන කෙනෙක් කියලා. "

"හ්ම්ම්..ඔව්.. සින්ඩි ඒක නම් මං එක්කත් කියලා තියෙනවා. එයාගේ අප්පා ගැන එයා ගොඩක් දුක් වෙනවා හැම තිස්සෙම. මොකද එයා කවදාවත් දැකලා නැති කෙනෙක් නේ. අම්මත් ස්කූල් ටීචර් කෙනෙක්ලු.. එයාලාගේ ටී එස්ටේට් එකේ අයිතිකාරයා තමා මං හිතන්නේ සින්ඩිගේ අප්පා.. "

"ආආආආ.. එහෙනම් හරි.. එතකොට සින්ඩිගේ අම්මා ?"

"ඒ තේ වත්තේ තේ දලු නෙලාගෙන ලැයිමේ ජීවත් වෙච්ච සෙල්ලම්මා කියලා කෙනෙක්ගේ දුවෙක්ලු. එයා එස්ටේට් එකේ ඉස්කෝලේ උගන්නලා තියෙනවා. ඊට පස්සේ අර එස්ටේට් අයිතිකාරයා රවට්ටලා බබෙක් හම්බෙලා මං හිතන්නේ. සින්ඩි ඒ ගැන ගොඩක් දේවල් කිව්වේ නැහැ කවදාවත්. එයා සමහර දේවල් කියන්නේ නැහැ. හිත අස්සේ තියාගෙන කල්පනා කරනවා විතරයි. "

"එතකොට සින්ඩි ඒ වත්තෙන් ඇවිදින් තියෙන්නේ ඇයි? "

"කුඩප්පා කියලා මනුස්සයෙක් එයාට කරදර කරන්න ආව නිසා පැනලා ආවා කියලා විතරයි කිව්වේ. එයා කවදාවත් ඒ ගැන කතා කරන්න කැමති වුණේ නැහැ. "

"ඒත් ඔයා මට කවදාවත් ඒ දේවල් ගැන මොකුත් කිව්වේ නැහැනේ නංගි.."

"ඒක කියන්න තරම් දෙයක් නෙවේනේ කියලා මට හිතුනා. ඒ සින්ඩිගේ ජිවිතේනේ, එයාගේ කතාවනේ අයියේ. එයා කැමතිත් නැති නම් ඒ ගැන කතා කරන්න, අපි ඒ ගැන කතා කරන එක හරි නැහැ නේ."

"යශෝදරා මට කිව්වා. සින්ඩි ආසාවෙන් උන්නා කියලා එයාගේ අම්මා, ගෙදර අය දැන් හොඳින්ද කියලා දැනගන්න. ඉතින් යශෝදරා යාළුවෙක් එක්ක හෙව්වට එහෙම වත්තක් ගැන හරි විස්තරයක් දැනගන්න බැරි වුණා කියලා යශෝදරා මට කිව්වා. මෙහෙ කියලාත් කොච්චර වතු තියෙනවද?"

"හ්ම්ම්.. මට දැන් කියන්නකෝ ඇයි ඔයා මේ එක පාර සින්ඩි ගැන හොයන්න පටන් ගත්තේ කියලා.."

"පොඩි හේතුවක් නිසා.. ඒක කියන්න කලින් මට මේක කියන්නකෝ. එයාගේ කාත් කවුරුත් නැති කොළඹට අර විදිහට සින්ඩි පැනලා ඇවිත් තියෙන්නේ ඇයි ? එළවළු ලොරියක් නෙවේ මොකක් අස්සේ වුණත් පැනලා එන්න මෙහෙ දන්නා කෙනෙක් ඉන්න එපැයි.."

"හ්ම්ම්ම්. ඒක නම් මටත් හිතුණා. මං සින්ඩිගෙන් ඒ ගැන ඇහුවත් එක්ක. තේ වත්ත ගාව දේවාලේ අයිනේලු ඈත ටවුන්වලට ගෙනියන එළවළු ලොරි නතර කරන්නේ. කළුවර වැටීගෙන එනකොට තමයි ඔය මොකක් හරි කුඩප්පා නිසා ඇති වෙච්ච සිද්ධියක් වෙලා තියෙන්නේ. බය වුණ පාර සින්ඩි කළුවරේ ම දුවගෙන ඇවිත් මේ එළවළු ලොරියක් අස්සේ හැංඟිලා. ඒ එළියේ හැංගුණොත් කුඩප්පාට අහු වෙයි කියන බයට. නැතිව කොළඹ එන්න හිතාගෙන නෙවෙයි. බයට හැංගුණු කෙල්ලට එළවළු ලොරිය ඇතුළෙදී නින්ද ගිහින්. ඇහැරිලා බලද්දී පාන්දර ජාමේ කළුවරේ ලොරිය යනවාලු. මෙයා හිතලා තියෙන්නේ තලවකැලෙන් බැහැලා පාති ගාවට යනවා කියලා."

"දැන් එතකොට පාති කියන කෙනා ඉන්නේ සින්ඩි හිටපු ගෙදර නෙවේ ද ? "

"නැහැ.. ඒ දවස්වල පාති තලවකැලේ නෑදෑ ගෙදරකට ඇවිත් තියෙනවා. කොහොම හරි සින්ඩි කිව්ව විදිහට උදේ පාන්දර ජාමේ ආයේ සින්ඩිට ඇහැරෙද්දි ඉඳලා තියෙන්නේ කොළඹ එළවළු ලොරි නවත්තන තැනක. බය වුණ පාර ඒකෙන් බිමට පැනලා කාටවත් අහුවෙන්න කලින් මෙයා දුවගෙන ගිහින් හැංගිලා තියෙනවා. එහෙම එහෙට මෙහෙට ඇවිදිද්දී තමා.. වික්ටෝරියා ආච්චි මම්මාගේ දානෙට, නුවරඑළියෙන් ගේන අලුත් එළවළු ටිකක් ගන්න හිතාගෙන එළවළු මාකට් එකට ගිය මාග්‍රට් නැන්දාට මුල්ලක හැංගිලා අඬ අඬා හිටපු සින්ඩිව හම්බ වෙලා තියෙන්නේ.. මං ඒ ටික දැන ගත්තේත් මාග්‍රට් නැන්දායි සින්ඩියි එක්ක කතාවක ඉන්න වෙලාවක."

"හ්ම්ම්.. පව්.."

"පව් නම් තමයි අයියේ. ඒත් සින්ඩි දැන් අලුත් ජීවිතේකට හුරු වෙනවානේ ඉස්සර දේවල් අමතක කරලා. ඉතිං මේ පරන දේවලුත් අමතකම වෙලා යනවා නම් නේද හොඳ අයියේ.. හා නැද්ද..?"