ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්ලු

ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්ලු

වෙනදට වඩා පැය බාගයක් පරක්කු වෙලා class එක ඇරපු නිසා දුවගෙනම halt එකට ගියේ අන්තිමට යන 6.45 බස් එක අල්ලගන්න.ආව පයින්ම බස් එකට නැග්ගට ඉතුරු වෙලා තිබුණේ පෙම් මුල්ල විතරයි.

ආදරබස් තෙපලන්න ප්‍රේම කුරුල්ලෙක් නැති වුණත් තිබ්බ මහන්සියටම එතැනින් වාඩි වුණා."නොදැනුවත්කමට පෙරදා මං ඔබට පෙම් කරපු හින්දා,දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා....."කන්දෙක පැලෙන සද්දෙට රුවන් අයියා කෑගහනකොට සෙට් එකේ සද්දෙ ටිකක් අඩු කරන්න කියලා කන්ඩක්ටර් අයියට කියන්න නොහිතුණාමත් නෙවෙයි,ඒත් ඊට කලින් කම්මුල් දිගේ ආව කඳුළක් ඇස්වලටත් හොරෙන්ම අත උඩට වැටුණා.

ඔව් මට ඇඬිලා..ඒ අතීතය මාව පාරවන නිසා.ඇස් පියාගත්තා.මාව රිද්දන,මාව අඬවන ඒ මතකයට එන්න ඉඩ දුන්නා.

"ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්ලු "ඔන්න ඔය විදිහට මං එදා බුකියේ නොලියන්න අද ඔහු වෙනුවෙන් මං අඩන්නේ නෑ. "ඔයාට කොහොමද නංගි ඔය විදිහට ලස්සන අදහස් එන්නේ..?" මං ලියපු නිසදැස්,කවිවලට කැටයම් දාලා, මල් මහලා එයා කියපු වචනවලට බුකියේ හැඳුනුම්කම මතම නන්නාඳුනන හැඳුනුම්කමකට මං මගේ හිතට ඉඩ දුන්නා.

"මගේ රත්තරන් දුව අනිවාර්යයෙන්ම කැම්පස් යන්න ඕනි" A/L පංතියට භාරදුන්න දවසේ මගේ අම්මා ඔළුව අතගාලා කියපු ඒ වචන ටික හැම දවසකම කන්වල දෝංකාර දුන්නා. එදා ඉඳන් පොත් අතරේ දුවපු මගේ ඇස්වලට ඒ රූපය හමුවුණේ හිතාගන්නවත් බැරි විදිහට.

සැබෑ රූපය නොදැක්කත් පිංතූරවලින් දැකපු ඒ රූපයට මං ගොඩාක් ආදරේ කළා.එයා ගොඩක් දුර තමයි,නමුත් ෆෝන් එකෙන් එයා මගේ ළඟම හිටියා.පොත් අතර දුවපු ඇස්, පිටුවක් පිටුවක් ගානේ එයාගෙ රූපය හෙව්වා.

ඇත්තටම මට හිතාගන්නවත් බෑ.නොදැකපු ඔහු වෙනුවෙන් මහාමෙරක් තරම් මගේ හිතේ ආදරයක් ඇතිවෙලා.

එදා අම්මගේ වචනවල තිබුණු දෝංකාරය හිමින් හිමින් කන්වලින් ඈත්වෙලා, එයාගෙ ආදරණීය ඇමතුම් මගේ කන්වල දෝංකාර දුන්නා.මුලදි කැම්පස් එක ටාගට් වුණු මට පස්සේ එයාගෙ රූපය සැබෑවට දැකීම ටාගට් එක වුණා.

හරියටම විභාගයට මාසයයි,එයාගෙන් මට මැසේජ් එකක් තිබුණා."නංගි ඔයා මගෙන් ඈත්වෙන්න.මං ආයේ ඔයාට කෝල් කරන්නේ නෑ ඔයා මට කෝල් කරන්නත් එපා..."මුළු ලෝකෙම මගේ කකුල් දෙක ඉස්සරහට කඩාගෙන වැටුණා වගේ..මගේ මුළු ජීවිතයම කරගෙන මං ආදරේ කරපු එයා මෙහෙම කියයි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ.

අම්මා ගාවට දුවලා ගිහිල්ලා උකුලෙ මූණ හංගගෙන මුළු ලෝකෙටම ඇහෙන්න කෑගහලා මට අඬන්න හිතුණා.අප්පච්චිගෙ අන්ත්‍රාවෙන් පස්සේ ගැහැනියකට නොවිඳිය හැකි අපමණ දුකක් විඳලා මට උගන්නපු අම්මගෙ විශ්වාසයට මං ද්‍රෝහි වුණා.ඉතින් මං කොහොමද ඔයාට මගේ දුක කියන්නේ අම්මේ..

ලොකු පාළුවක්, තනිකමක් ඉතුරු කරලා ඒ ආදරේ මගෙන් ඈත් වුණාට ඔහුට දුන්නු ආදරේ එක අංශු මාත්‍රයක්වත් අඩු වුණේ නෑ.අන්තිමට ඒ ආදරේ කවි,නිදැස්,සිංදුවලට සීමා කරන්න මට සිද්ධ වුණා.හැමදාම එයාව මතක් වෙලා මටත් හොරෙන්ම මගේ ඇස් ඇඬුවත් මගේ අම්මගේ හීනය ,මගේ හීනය... හීනයක් නොවී යථාර්ථයක් කරගන්න මං හිතාගත්තා.

චිත්‍රපටියක් බලනවා වගේ අවුරුදු එකහමාරක ඒ මතකයෙන් මිදෙන්න අන්තිම කඳුළත් මං ඇස්වලින් පිට කළේ බහින තැනත් ළංවෙලා තිබුණු නිසයි.

අනිවාර්යයෙන්ම කැම්පස් යනවා කියලා අයියගේ ජීවිතය මත දුන්නු පොරොන්දුවත්, අම්මගේ බලාපොරොත්තුවත් මං සැබෑ කරනවාමයි.