ඇත්තටම දෛවය ජීවිතත් එක්ක කොයිතරම් ලස්සනට  සෙල්ලම් දානවද?

ඇත්තටම දෛවය ජීවිතත් එක්ක කොයිතරම් ලස්සනට  සෙල්ලම් දානවද?

ලනවා අයිසේ ඕපනින් එක තියෙන්නෙ 10.30ට දැන් මෙතනම 11.00 යි. මෙහෙම කොහොමද කියනවකො වැඩක් කරන්නෙ." උජාරුවට ඇඳපළඳගත්ත සිරිනාත මන්ත්‍රීතුමා හුරුපුරුදු ඇත්ගමනින් මිදුලට වැඩියෙ ගෝලබාලයින්ට නෝක්කාඩු කියාගෙන.

"ඒ ගැන එච්චර හිතන්න ඕනෙ නෑ සර්. සර්ට වැඩ තියෙනවා කියන එක පේන්නත් එක්ක අපි ටිකක් පරක්කු වෙලා ගියාට කමක් නෑ. ඊටත් හරියට ම වෙලාවට ගියාම ඕකුන්ට අගයක් නැති වෙනවා." ඒ ජයදේව. හරියට ම කියනවා නම් සිරිනාතගෙ දකුණු අත. සිරිල් දොර ඇරිය පරක්කුවට සිරිනාත වාහනේට ගොඩවුණේ කට කොනකින් හිනාවකුත් දාගෙන. "හරි අපි යං" අණ ලැබෙනවත් එක්කම පෙජරො එක ඉගිලුණා අශ්ව වේගෙන්.

"මන්ත්‍රීතුමා..." වාහනේ සැපපහසු සීට් එකකට බරදීගෙන හිටිය ජයදේව, කියන්න ගිය දේ එකපාරම ගිලගත්තා...

"මොකෝ ඕයි තමුසෙ ඇඹරෙන්නෙ?"

"නෑ අර අපේ මස්සිනාගේ වැඩේ... නංගි ඊයේ හවස ඉඳන් නහයෙන් අඬාගත්තු ගමන්මයි. "

"ඕවට කතා කරන්න ගියාම අපිත් නිකං සවුත්තු වෙනවා ඕයි. ගන්නවා ගන්නවා ඕ අයි සීට කෝල් එකක්. විනාඩියක් දෙකක් සද්දයක් නැතුව කල්පනා කර කර ඉඳපු සිරිනාත හිටි ගමන් තමන්ගෙ ගාම්භීර කටහඬට ඉඩ දුන්නා.

"ඕ අයි සී මහත්තයා... "

"ඔව් සර්... කියන්න සර්..."

"අර අපේ කොල්ලො දෙන්නෙක් ඊයෙ හවස කුදලගෙන ගිහින් තියෙනවා. පොඩ්ඩක් බලලා උන් දෙන්නව එළියට දාලා දාන්න." සිරිනාත කිව්වෙ කිසි ගින්නක් නැතුව.

"අර ගංජා වගයක් එක්ක මාට්ටු වුණ එවුන් දෙන්නද සර්?"

"ආන්න හරි. උන් දෙන්නා තමයි."

"හරි සර් හරි..මං ඒ ගැන බලන්නම්."

"ඔන්න ජයදේව තමුසෙගෙ වැඩේ කෙරෙයි." මන්ත්‍රීතුමා ජයදේවට වචනෙ දුන්නා.

ගාලු පාරේ ට්‍රැෆික් එක අස්සෙත් මන්ත්‍රීතුමාගෙ වාහනේ කිසි කරදරයක් නැතුව ඉස්සරහට ඇදුණා. ඒසී කරපු වාහනේක සැපසනීපෙට ඉඳගෙන,සින්දුවකුත් අහගෙන ගිය සිරිනාතගේ හිත, හදිස්සියෙ ම ගව්ගානක් දුර අතීතෙට ඇදුණෙ, පාර අයිනට වෙන්න තිබුණු රටකජු කඩයක් දැකලා.

 ඒ දවස්වල සිරිනාත වැඩ කළේ මොරටුව ටවුමෙ තිබුණු ගාමන්ට් ෆැක්ට්‍රියක. එතකොට සිරිනාතට යන්තම් අවුරුදු 18ක් වුණා විතරයි. තාත්තා නැති වුණාට පස්සෙ ගෙදර අගහිඟ වැඩි වුණායින් සිරිනාතට සිද්ධ වුණා, ඉස්කෝලෙ ගමනත් නවත්තලා පවුලෙ බර කරට ගන්න.

 නංගිලම තුන් දෙනයි. අම්මත් හිටියෙ ලෙඩින්. අද මේ පෙජරෝවලින් යන පාර දිගේ ම සිරිනාත කකුල් දෙක ගෙවෙනකම් ඇවිදලා ඇති රස්සාවල් හොයන්න. පස්සෙ තමයි ෆැක්ට්‍රියෙ ජොබ් එක ලැබුණෙ. මාසෙ පඩිය අතට ගන්නකම් අඩුපාඩුකම්වලින් මිරිකෙච්ච හැටි සිරිනාතට තාම අමතක නෑ. හැමදාම කෑම පැයේදි සිරිනාත ෆැක්ට්‍රියෙන් එළියට ආවෙ, දවල්ට කන්න යනවා කියලා යාළුවන්ට කියලයි.

ඒ වුණත් දැනෙන දෙයක් බඩට දාගන්න තරම් කවදාවත් සිරිනාතගෙ අතේ සල්ලි තිබුණෙ නෑ. අන්තිමේදි මොරටුව ස්ටේෂම ගාව රටකජු කඩේකින් සත පනහක රටකජු අරගෙන ඒක කකා ටවුම වටේ ඇවිදිනවා, කෑම පැය ඉවර වෙනකම්. හද්ද බඩගින්නෙ ෆැක්ට්‍රියට ඇවිත් "අද මං කෑවේ සයිවර් කඩේකින්. ඒකෙ තෝසෙ මාර රහයි" කිය කියා ආයෙමත් මෙෂින් එක්ක ඔට්ටු වෙනවා. ඒ මීට අවුරුදු තිහකට උඩදි. සිරිනාත ඉස්සෙල්ම ඡන්දෙ ඉල්ලුවෙ නගර සභාවට. ඒ දවස්වල තරුණ සමිතිවලට බැඳිලා ගමට වැඩ ටිකක් කරලා තිබුණු හින්දා සිරිනාත උඩින්ම දින්නා...පස්සෙ ඉතින් අඩියෙන් අඩිය තියලා හොඳින් වගේ ම නරකින් අද මේ ඉන්න තැනට වෙනකම් ආව ගමනෙ අඳුරු පැල්ලමුත් නොතිබුණාම නෙවෙයි.

අවංක, සාධාරණ මිනිස්සුන්ට දේශපාලනේ ඇතුළෙ තැනක් නෑ. සිරිනාත හිතුවෙ ම එහෙම. ඒ කොහොම වුණත් තිත්ත අතීතෙක අයිතිකාරයෙක් විදිහට සිරිනාත මන්ත්‍රීතුමාට තමන්ගෙ ඡන්ද දායකයො ගැන නම් අවංක හැඟීමක් තිබුණා.

යන ගමන පොඩ්ඩකට පරක්කු කරලා පෙජරො එක පාර අයිනක නතර වුණේ මන්ත්‍රීතුමාගේ වුවමනාවට.

"සිරිල් අර පහු වුණ කඩෙන් මට රටකජු මුලක් ගෙනත් දෙනවා." ඒ වචන ටික ඇහුණ ගමන් සිරිලුත් ජයදේවත් මූණට මූණ බලාගත්තත් විනාඩි කීපයක් යද්දි මන්ත්‍රීතුමාගේ අතටම රටකජු මුල නම් ලැබුණා.

"ඇයි සර්?" ජයදේව එහෙම ඇහුවෙ මන්ත්‍රීතුමාගෙ හැසිරීමෙ වෙනදා නැති අමුත්තක් දැක්ක නිසා.

"මට රටකජු ටිකක් කන්න හිතුණා ඕයි. තමුසෙටත් ඕනෙද?"

"නෑ සර් එපා."

"එහෙනම් අපි යං"

පෙජරො එක කාපට් පාර දිගේ ඉස්සරහට ඇදුණා. එදා සිරිනාත හාකුෂ්ට බඩගින්නෙ, ගිනි අව්වෙ පිච්චි පිච්චි, අරමුණක් නැතුවම රටකජු කකා ගිය පාරෙ, අද සැපපහසු වාහනයක සීට් එකකට බරදීගෙන, බොඩි ගාර්ඩ්ලත් අරගෙන උජාරුවට යන්නෙ සිරිනාත මන්ත්‍රීතුමා. ඇත්තටම දෛවය ජීවිතත් එක්ක කොයිතරම් ලස්සනට සෙල්ලම් දානවද?