ගැම්ම අරං කොල්ලො කෙල්ලෝ බතලේගල කන්දට ගිය රෝන්දේ

ගැම්ම අරං කොල්ලො කෙල්ලෝ බතලේගල කන්දට ගිය රෝන්දේ

තුරින් සූර සරදියෙල්ගේ "උතුවන් කන්දෙන්" ද, දකුණින් "සාමසර" කන්දෙන් ද ,නැගෙනහිරින් සොබාදමේ තවත් ආකර්ෂණීය නිමැවුමක් වූ "අම්බුළුවාව" කන්දෙන් ද ,බටහිරින් "ඌරා කන්දෙන් ද වටවුණු, පෙට්ටියක හැඩයගත් සුන්දර කඳු මුදුනක් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 2780ක් පමණ උසකින් පිහිටි මෙම කන්ද "බතලේගල කන්ද" නමින් හැඳින්වේ. ස්වභාවික සෞන්දර්යයෙන් අනූන මෙම කන්ද නැඟීමට Y By road කණ්ඩායම වෙනුවෙන් පසුගිය දිනක තරුණ පිරිසක් Eternal Traveller අප සමඟ එක්විය. පසුගිය සතියේ එම චාරිකා සටහනේ පළමු වැන්න මෙම අතිරේකයේ පළවූ අතර අද පළවන්නේ එහි දෙවැන්නයි.

දණහිස් බිම ගෑවෙන තරම් ආනතියක් තියෙන කොන්ක්‍රීට් පාර දිගේ සරුවට වැවුණු ගෙවතු මැද්දෙන් ඇවිද ගිය අපේ කණ්ඩායම තවත් අඩ පැයක විතර ගමනකින් පස්සේ කන්දේ අසීරුම කොටස වෙන පර්වතය අද්දරට පැමිණියා. නලීන් අයියගේ දුරකථනයට ඇතුළත් කරලා තිබුණු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ හැටියට අපි ඒ වෙනකොට හිටියේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි 2200ක් විතර උඩින්... කන්ද මුදුනට තවත් අඩි 580ක් විතර පර්වතය දිගේ නඟින්න, අපේ පිරිසට ඉතිරි වෙලා තිබුණා...

දෙපස මානා පඳුරු සහ තරමක් විශාල ගස් වැවුණු, සෙවණ සහිත වන ගොමුවක ආනතියකින් යුතු අසමමිතික ගල් පඩිපෙළක් දිගේ ඊළඟ මොහොතේ ඉහළ නඟින්නට පටන්ගත් අපිට තෙත් පොළවෙන් ඉහළට හිස් හරවා අපව විපරම් කරන කූඩැල්ලන්ගෙන් බේරී යන්නට සිදුවුණා.

ගමනේ අසීරුම කොටස හමුවුණේ ඊළඟ නිමේෂයේදී... ගල් කුට්ටි ඇතිරූ පඩිපෙළ අවසන් වුණේ පිහිටි ගේ බඩගා යායුතු සහ ඇවිද යා යුතු අවසාන නැග්ම කොටස මේ යැයි දක්වමින්... තරගෙට ඉහළ නැඟපු හැමෝගෙම ගමන මේ කොටසෙදි බොහොම මන්දගාමී සහ ප්‍රවේශම් සහගත වුණා.

මොහොතකට පෙර වැටුණු වැස්සෙන් තෙමුණු කළුගල් මතුපිට ලිස්සනසුලුයි. ස්වභාවිකවම නිර්මාණය වුණු රටාවන් ගැන පරෙස්සමෙන් විමසා බලා නිවැරදිම තැනට අඩිය තබමින් යා යුතු මේ ගමන කණ්ඩායමේ හිටිය පිරිමි සාමාජිකයින්ට ලොකු අභියෝගයක් නොවුණත් කාන්තා සාමාජිකයින්ට නම් තරමක අභියෝගයක් වුණා. එහෙමයි කියලා පසු බහින්න කිසිම අදහසක් නොතිබුණු අපේ කණ්ඩායම එකිනෙකාගේ උදව්වෙන් සහ සහයෝගයෙන් මදින් මඳ ඉහළට නැඟුණා.

ඉහළට නඟින මොහොතක් මොහොතක් පාසා අරණායක අසුපිණි ඇල්ල සහ යටියන්තොට අතර ප්‍රදේශය වඩ වඩා සුන්දරව පෙනෙන්නට වුණා... උඩු හුළඟට හසුව ඈතට ගසාගෙන යා හැකි යැයි සිතෙන තරමේ දැඩි සුළං තත්ත්වයකට පවා මුහුණ දෙමින් කන්දේ ඉහළම කොටසේ පිහිටි පැරණි යකඩ කණු සහ කම්බිවලින් එල්ලෙමින් තවත් ටික වේලාවකින් කඳු මුදුනටම පිවිසෙන්නට අපේ පිරිසට හැකියාව ලැබුණා.

දැඩි සූර්ය රශ්මියක් නොතිබුණු ඒ නිමේෂයේ හිස් කඳු මුදුනේ කළුගල් තලාවක වැතිර වෙහෙස නිවාගත් අපි, රැගෙන ආ බිස්කට්, ජුජුබ්ස් සහ රටඉදිවල රස බැලුවේ ගෙවී ගිය ශක්තිය නැවත ලබාගෙන, ප්‍රකෘතිමත් වීම පිණිසයි. වගකීම් විරහිත අඥාන සංචාරකයින් නොවී භාවිත කළ ආහාරවල හිස් ඇසුරුම් යළිත් අපේ බෑග්වලටම දමා ගත් අපි, ඒවා නැවත නගරයේ දී විධිමත්ව බැහැර කිරීමට කටයුතු කළා.

බතලේගල පර්වත මුදුන තැනිතලා ස්වභාවයක් ගන්නවා... එහි දිග මීටර් අටසියයක් තරම්. පළලත් මීටර් තුන්සියයක් පමණ වනවා...ගම්පොළ අම්බුළුවාව කන්ද, රාමසර කන්ද, අලගල්ල කන්ද, උතුවන් කන්ද, ඌරා කන්ද ආදී ප්‍රසිද්ධ කඳු පැහැදිලිව මෙහි සිට හඳුනාගන්න පුළුවන්... එසේම අරණායක අසුපිණි ඇල්ලත්, මාවනැල්ල සහ කෑගල්ල නගරත්, කොළඹ මහනුවර මහා මාර්ගයත් පැහැදිලිව හඳුනාගන්න පුළුවන්කම තියෙනවා... හොඳින් විමසිල්ලෙන් බැලුවොත් ඈත ඉහළ කෝට්ටේ සිට කඩුගන්නාව දක්වා විහිදෙන දුම්රිය මාර්ගයත් තැනින් තැන හඳුනාගන්නට හැකියාවක් තියෙනවා.

"අර.... අර කඩුගන්නාව පල්ලමේ එන වාහන..... කූඹි වගේ පේන්නේ....." නලීන් අයියා අපි හැමෝටම වට පිට හාත්පස ඇති වැදගත් ස්ථාන, විහාරස්ථාන ආදිය පෙන්වමින් පැහැදිලි කිරීම් කරන්නට වුණා... ප්‍රියාංගාත්, චතුර හේමාලුත් වටපිට වැදගත්කම් නිරීක්ෂණය කරමින් විමසා බලද්දී යොහාන්, ඉෂේන්,චතුර, නිලංකා ඇතුළු පිරිස හාත්පස කඳු යායවල් පසුබිම් කරගෙන කැමරා ඉදිරිපිට රඟන නළුවන් බවට පත්වුණා. ඔවුන්ගේ රඟපෑම් නිසා දුලිප්ටත්, ශාලිකටත් කාර්යබහුල වෙන්න සිද්ධ වුණේ අපේ කණ්ඩායමේ ඡායාරූප ශිල්පීන් විදිහට.

කඳු මුදුනේ බටහිර අන්තයේ සිරි නරඹමින් අඩ හෝරාවක් පමණ ගත කළ අපි ඊළඟට තැනිතලා කඳු මුදුන මැද්දෙන් මානා පඳුරු පීරාගෙන නැගෙනහිර අන්තය කරා ඇවිදගෙන ගියා... එහි කෙළවරේ ඉහළම ස්ථානයේ කුඩා චෛත්‍යයක්, බුදු මැදුරක් පිහිටා තිබුණා... ඊට තරමක් පහළින් බෝ ගසක් ද, සංඝාවාසය ද පිහිටා තිබුණත් අද වන විට විහාරස්ථානයේ සංඝයා වහන්සේ නමක් වැඩ සිටින බවක් නම් පෙනුණේ නෑ... නමුත් විදුලිබල සැපයුම, වැසි ජල ටැංකිය සහ වැසිකිළි පද්ධතිය ආදිය මෑතකදී පවා මෙම කඳු මුදුනේ මිනිස්වාසයක් තිබූ බවට හොඳ සළකුණු.

"මුතු බණ්ඩා මාමා කිව්වා මේකේ ගල්ගුහාවක් තියෙනවා කියලා...." ඉෂේන් මල්ලි එහෙම කියලා පිරිස දිහා බැලුවේ "ඒක හොයාගෙන යමුද?" කියන එක නොකියා කියමින්.....

"එහෙනම් අපි ඒකට යමු...."

සංඝාවාසය අසල පිහිටි අඩි පාරක් දිගේ වනතීරුවක් මැදින් පහළට බැහැගෙන ගිය අපිට, ටික දුරකදී දසදෙනෙකුට පවා පහසුවෙන් විසිය හැකි ගල් පියස්සක් සහිත ගල් ගුහාව හමුවුණා.... ගල් ගුහාව අසලින් නිමා නොවුණු අඩි පාර තව තවත් පහළට විහිදුණා.... ඒ අඩි පාර දිගේ පහළට ගිය අපිට පුංචි ළිඳක් දකින්න ලැබුණා... කඳු නැඟීමෙන් දැනෙන වෙහෙසත්, මහන්සියත් මකාගන්න හොඳම ඔසුව දිය පොදක් නා ගැනීම වුවත්, යළි ආපසු බසින විට දහඩිය දමන නිසා ඒ අදහස අත්හැරගෙන ආපසු හැරෙන්න අපි තීරණය කළා..... හවස් වරුව එළැඹීමත්, දැනෙන කුසගින්නත් නිසා ආපසු හැරුණු අපි එම අඩිපාර දිගේම යළි කඳු මුදුනට පැමිණ බෝගස හෙවණේ බිම වාඩි වුණා...

"මේකේ මුදුනේ රැයක් ඉන්න තිබුණනම්"

'අද අපි ලැහැස්ති වෙලා ආවේ නෑනේ.... නැත්නම් ඉන්න තිබුණා..."

" ඊළඟ දවසක කූඩාරම් අරගෙන ඇවිත් ඉමු"

ඔන්න ඔය වගේ කතන්දර ගොඩක් මැද්දේ තවත් ටික වේලාවක් ගත කරපු අපි ආපහු පල්ලම් බහින්නට පටන් ගත්තා... වැස්සට අහුවුණු වෙලාවෙ අපි වෙනුවෙන් දවල් කෑම සූදානම් කිරීමත් මුතුබණ්ඩා මාමා භාරගත්තා. ඒ නිසා ඉක්මනින්ම පල්ලම් බැහැලා මුතුබණ්ඩා මාමාගේ ගෙදරට යන්න කාටත් වුවමනාව තිබුණේ තදින් දැනිලා තිබුණු බඩගින්න නිසා....

කොච්චර හදීසි වුණත් කඳු බැස්මකදී, නැඟීමටත් වඩා පරෙස්සම් වෙන්න ඕන... මොකද ශරීරයේ බරත් එක්ක දැඩි ආනත බෑවුමක් බහිද්දි, නැග්මකදි වෙනවට වඩා ඉක්මනින් සමබරතාව බිඳෙන්න ඉඩ වැඩියි. ඉතින් බඩගින්නෙන් වෙන හානියට වඩා අවදානමක් තියෙන නිසා පරෙස්සමින් පහළට බැස්ස අපේ කණ්ඩායමට මුතුබණ්ඩා මාමාගේ ගෙදරට එන්න පැයක විතර වෙලාවක් ගියා....

ඇඟපත හෝදගෙන කොස්, දෙල්, මාළු සහ පරිප්පුත් සමඟ ලැබුණු බත් පත ආසාවෙන් ගිල දමපු අපි ගෙහිමියන්ට ස්තූතිවන්ත වී හත්ගම්පොළ හන්දියට පයින් එන්නට පිටත් වුණා... හවස පහට විතර හත්ගම්පොළ හන්දියට ආව අපි එතැනින් මාවනැල්ලට විත් අපේ "බතලේගල" චාරිකාව නිමා කළේ ළඟදිම දවසක එහි රාත්‍රිය ගත කරන සුන්දර අත්දැකීමකට සම්බන්ධ වෙන්න හිතාගෙන.

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමඟ ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් හෝ Y by Road කණ්ඩායම සමඟ අපූරු සංචාරවල යෙදෙන්නට අවශ්‍ය නම් අපිට කතා කරන්න... Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...

ප්‍රදීප් 076 66 42 607 / 0703 17 44 17

දුලිප් 0777 043 804 / 0703 207 207