අම්මා

අම්මා

යිසිකලයේ ඉදිරිපස පොල්ලේ මමත් මල්ලිත් වාඩිවී සිටිමු. තාත්තා බයිසිකලය පදියි. මල්ලී මට ඉදිරියෙන් සිටින නිසා ඔහුගේ ඇඟේ බයිසිකලයේ බෙල් එක වැදෙන විට දැනෙන වේදනාව නිසා ටික දුරක් යන විට ඒ මේ අත ඇඹරෙයි. මා බයිසිකලයේ ෂීට් එකට සහ මල්ලීට හිරවී ඇත. දැන් මේ ගමන පිළිබඳ අපි දෙදෙනාටම ඇත්තේ සතුටට වඩා ශාරීරික වේදනාවකි. කන්දක් හමුවන තෙක් නොඉවසිල්ලෙන් සිටින්නේ තාත්තාට කන්ද පැදීමට බැරි හෙයින්, අපිට බයිසිකලයෙන් බැසීමට හැකිවන නිසාවෙනි. බයිසිකලයෙන් බැසීම යනු පාසලේ ඉන්ටවල් එක ලැබුණා හා සමාන සහනයකි. ගුරුවරයෙක් නැති කාලපරිච්ඡේදයක් වැනි සහනයක් ලැබෙන්නකි. හීන් වැව පසු කළ අපි පහලගම කන්ද පාමුල බයිසිකලයෙන් බැස ගත්තෙමු. මෙතෙක් පැමිණි කාලය තුළ

තාත්තා කතාවක් නොමැත. අපි ඇසූ දෙයකට ඕනෑවට එපාවට මෙන් උත්තර දුන් අතර ගැඹුරු කල්පනාවක් ඔහු තුළ පවතින බව අපිට තේරුණු හෙයින් අපි ද සද්ද නැතිව යාමට තීරණය කළ හෙයින් බයිසිකලයේ ගමන කෙසේවත් විනෝදජනක නොවී ය.

"තාත්තේ පහළගම නවතිනවද?" ඒ මල්ලිගේ කටහඬයි. දැන් ඔහුට මොනවා හෝ කෑමේ අවශ්‍යතාවක් ඇතිවී තිබේ. ඒ ප්‍රශ්නයෙන් වඩාත් සන්තෝෂ වූ මා, උත්තරය ලැබෙනකම් සිටියේ කන තාත්තා සිටින පැත්තට හරවාගෙන ය. මේ වන විට මා බයිසිකලයේ විශාල ෂීට් එකට වෛර කරමින් සිටි අතර මල්ලි බයිසිකලයේ සීනුවට වෛර කරමින් සිටි බව පෙනෙන්නට තිබිණි.

එයට හේතුව බයිසිකලයේ ඉදිරිපස පොල්ලේ අප දෙදෙනෙකු අපහසුවෙන් වාඩිවී සිටීමයි. "තාත්තේ...තේ කඩේ පහු වුණා" අප දෙදෙනාගේම බලාපොරොත්තු සුන් කරමින් තාත්තා බයිසිකලය රම්පෙගම පැත්තට හැරවී ය. සිතට ඇතිවූ වේදනාව සමඟ බයිසිකලය හරවද්දි ඇති වූ හැඬලයේ තෙරපීම නිසා ගත ද දැඩි වේදනාවට ලක්වීම නිසා මෙම ගමන පිළිබඳ තරහක් දැන් දෙදෙනාටම ඇතිවී තිබේ. කළ හැකි දෙයක් නොමැති බැවින් කරබාගෙන සියලු වේදනාවන් විඳගෙන යාමට දෙදෙනාම එකවර තීරණය කළා වැනි ය.

තාත්තා රම්පෙගම නගරයට යාමට කතා කළ විට කෙතරම් සන්තොෂයක් මල්ලීට සහ මට ඇතිවිණිද ? දැන් මට සිතෙන්නේ මෙම ගමන නාවා නම් කොතරම් හොඳද යන්නයි. බහින්න. බයිසිකලය බැංකුව අසල නතර කළ තාත්තා බැංකුව තුළට ගියේ අප දෙදෙනාට බයිසිකලය අසල නවතින ලෙස පවසමිනි. බයිසිකලය බලාගැනීමේ ගෞරවණීය කාර්යය පැවරීම පිළිබඳව සතුටට පත් වූ අපි බයිසිකලය සමඟ නැවතුනෙමු .

"ඔහොමම පයින් ඉස්සරහට යං" තාත්තා බයිසිකලය තල්ලු කරගෙන ගිය අතර අපි තාත්තා පිටුපසින් පියවර නැගුවෙමු.

සපත්තු කඩයක් අසල නතර වූ අපි එතුළට ඇතුළු වීමු. "මහත්තයා, පුතාලට සපත්තු ගන්නද ?"

"ඔව් හොඳ දෙකක් බලමු.." ලබන වසරෙදී මා අලුත් පාසලකට යා යුතුව ඇත. නිවාඩුව ගෙවී යාමට ඇත්තේ තව සතියක පමණ කාලයක් පමණි. හිතේ තිබුණු ජාතියේ සපත්තු දෙකක් ගැනීමට හැකි වීම මා ලැබූ ජයග්‍රහණයකි. මල්ලි ද ඔහුට අවශ්‍ය විදිහේ සපත්තු දෙකක් සහ ගෙදරට දැමීම සඳහා සෙරෙප්පු දෙකක් මිලදී ගත්තේ ය.

"තාත්තේ වතුර තිබහයි..." මල්ලී අවශ්‍යතා ධූරාවලියේ තවත් පියවරකට යෑමට සැරසෙයි. දෙදෙනාම නැවතත් බයිසිකලයට නංවාගත් තාත්තා රම්පේගම සදර්න් හෝටලය වෙත යන විට බේකරියේ සුවඳ විසින් බඩගින්න තවත් වැඩි කරන ලදි. "මොනවා හරි කෑමට ගේන්න. ප්ලේන්ටි තුනකුත් දාන්න. වතුර එකකුත් ගේන්න." තාත්තා එක හුස්මට කියවාගෙන යයි. බයිසිකලය පැදීම නිසා අපට වඩා වෙහෙස වී ඇත්තේ තාත්තා ය.

එහෙත් තාත්තාගේ... වෙහෙසට වඩා දෙයක් තිබෙන බව දැනුණ ද අපේ කෑදරකම, කෑම කෙරෙහි මිස තාත්තා කෙරෙහි අවධානය යොමු කිරීම වැලැක්වී ය. ආ ගමනට වඩා ආපසු ගමන වේදනාකාරී වන බව බයිසිකලයට නැගී ටික වේලාවක් යන විට පැහැදිලි විය.

බයිසිකලයේ ඉදිරිපස පොල්ලේ අප දෙදෙනාට හිමි ඉඩින් කොටසක් අපේ සපත්තු සහිත පෙට්ටිවලට ලබා දීමට සිදු විය. සපත්තු සහිත පෙට්ටි දෙක බයිසිකලයේ හැඬලයේ එල්ලා ඇත. එද්දි අප පීඩාවට පත් කළේ බයිසිකලයේ තාත්තාට හිමි ෂිට් එකත් සතුටෙන් නාද කළ සීනුවත් පමණි. දැන් සපත්තු පෙට්ටි දෙකත් අපිව පීඩාවට පත් කරයි. "අලුත් සපත්තු දෙක දාන්න ඕන පරණ දෙක කැඩුනම හොඳද ...?" ඒ මල්ලීට දුන් අම්මාගේ අවවාදයයි. මට අවවාදයක් නොවූයේ මගේ සපත්තු දෙක දැනටමත් කැඩී ඇති නිසාත් මා අලුත් පාසලකට යන නිසාත් ය.

පාසල් කාලය ආරම්භ විය. මා රම්පෙගම මහා විද්‍යාලයට ඇතුළු වූ අතර පාසල මා වෙත සතුටක් ඇති නොකළ ද විකල්පයක් නොවූ බැවින් අකමැත්තෙන් වුව පාසල් යාමට සිදු විය. තත්ත්වය තවත් බැරෑරුම් කරන ලද්දේ පාසල් ගොස් පැමිණීමට වැඩි කාලයක් ගතවීමයි. දිනක් මා පාසල් ගොස් පැමිණෙන විට අම්මා පෙනෙන්නට නොසිටි අතර මල්ලී පැවසුවේ අම්මා දර කැඩීමට ගිය බවයි.

මා බෙදා තිබූ බත් පිඟාන කන අතර අම්මා පැමිණ දර මිටිය බිම දමන හඬ ඇසුණු අතර බත් කා මම අම්මා සිටි තැනට යන විට ළිඳ අසල වූ කණ්ණාඩිය ඉදිරිපස අම්මා ඉතා අවධානයෙන් යමක් කරන බව දැකිය හැකි විය. මා කුතුහලයෙන් යුතුව අම්මාගේ කාර්යයට බාධා නොකරමින් අම්මා කරන්නේ කුමක්දැයි නිරීක්ෂණය කළෙමි. තම කරාබු දෙක පළඳවා සිටි කන් දෙකෙහි සිදුරුවල කුඩා ඉරටු කැබලි දෙකක් රඳවාගෙන සිටි අතර කැළයෙන් ඇහිඳගෙන ආ තේක්ක මල් දෙකක් එම ඉරටු කැබලි කෙළවර රැඳවීමට උත්සාහ ගනිමින් සිටියා ය.