කැලෑ පත්තරේ

 කැලෑ පත්තරේ

හතේ පංතියේ රංචුව ය. ඉස්කෝලේ දඟම පංතිය ය. කොච්චර තරවටු කළත් ඒ තරවටුව තඹේකට මායිම් නොකරන දඟකාරයන්ගේ පාරාදීසය හත ය. තියෙන පරිගණක දෙකට වෙන රණ්ඩුවීම්, කාල ගෝට්ටි කන් දෙකට දැන්නම් හුරු ය. ඊට වඩා නාස් හකුලන මේස් ගඳට ඔක්කාරය හැදෙන තරම්ය. ඒත් සියල්ල ඉවසා ගන්න ට දැන් මගෙ පංචේන්ද්‍රියන් සූදානමින් සිටියි.

" ටීචර් ටීචර් බලන්නකො මට සූකිරියා කම්පියුටරේ ගහන්න දෙන්නෙ නෑ.."

" අඩෝ මම සූකිරියා නෙවෙයි හරි.. ඒ ගෙදරට.. මේ ඉස්කෝලේ ..මට නම කියපං .. මට ඉස්කෝලෙට නමක් තියෙනවා හොඳේ.."

අවසානයේ ඒ ගැටුමට මට මැදිහත් වන්නට සිදුවන්නෙ ගුටිබැට හුවමාරුවකට ආසන්නයේ පිපිරෙද්දි ය.

" කාටවත් ගෙදරට කියන නම් අවශ්‍ය නෑ.. ඔයාලා නම් පොතේ තියෙන නම පාවිච්චි කරන්න ... එච්චරයි ..."

මම කීවේ යම් තරවටුවකින් ය. සූකිරියා යැයි කියු දරුවා ක්ෂණයෙන් නැඟී සිටියේ ය.. මම ඔහු දෙස බැලුවේ ප්‍රශ්නය ඇස් දෙකට ගෙන ය.

." පංතියට දුවලා එන්නම් ⁣ටීචර් ."

" ඒ මොකටද...?"

"නෑ නෑ ටීචර්.. සුකිරියගෙ වාසගම හොයාගෙන එන්නම් නාම ලේඛණෙන්"

" ඔන්න ටීචර් ආයෙත් සූකිරියා කීවා.. මං අද මූට.."

එවර නම් ගුටියක් දෙකක් හුවමාරු විය. මගෙත් ඉවසීමේ අංශුමාත්‍ර ද විසිරෙමින් තිබුණි..

" හරි දෙන්නම කම්පියුටර් එක ළඟින් අයින් වෙන්න.. මාසයක් කම්පියුටර් එක අල්ලන්න තහනම්"

ගුටියට වඩා බර දඬුවම එය ය. කැමැති ම දෙයට වාරණයක් දැමීම ගුටි දහකට වඩා රිදෙනු ඇත. ඔවුන් පරිගණකයෙන් ඉවත් කළ මම තව කණ්ඩායමක දරුවන් දෙදෙනෙකුට පරිගණකය බාර දුන්නෙමි. මුහුණු අකුලා ගත් චණ්ඩි දෙදෙනා පසෙකට වී බලා සිටියි. දැන් දෙදෙනාගෙ රණ්ඩුව නැත. දෙදෙනාම එකතුව කොළයක් පොතෙන් ඉරා මොනවාද කුරුටු ගානු මගේ ඇස් කොණෙන් පෙනේ. සමහරවිට දැන් බැණ ගැනීම ලිඛිතව කරනවා වන්නට ඇත. මම අහක බලා ගත්තෙ පොඩි උන්ගෙ රණ්ඩුවල ආයූ කාලය කොයිතරම් කෙටිද යන්න හොඳටෝම දන්නා නිසා ය.

පීරීයඩ් එක අවසන් සීනුව නාද වෙන විට ආයුබෝවන් වෙනුවට ඇහෙන්නෙ අයියෝ ය. ඒ ඔවුන් කැමැතිම පීරියඩ් එක අවසන් වන දුකට ය. කුලී වැඩ කරන, ගොවිතැනක් කරන අම්මා තාත්තාගේ දරුවන් වුණ මගේ උන්ට පරිගණක තාමත් මැජික් ය. හිතු හැටියට පරිගණක එක්ක ඔට්ටු වන්නට විනාඩි හතලිහ මදි ය. ඒකත් පරිගණක දෙකකට සීමා වූ විට එක් දරුවෙකුට හිමිවන්නෙ විනාඩි කිහිපයක සීමාව ය. ඉතිං ආයුබෝවන් වෙනුවට, අපේක්ෂා බිඳුණ අයියෝ ස්වරය මට දී ඔවුහු නික්ම ගියහ. මම ඊළඟ පංතියේ වැඩ මුරයට සූදානම් වන්නට ගුරු පුටුව දෙසට ආවෙමි. මේසය උඩ හතරට නැමූ කොළයකි. කුතුහලය සමඟින් එය දිග හැරියෙමි.

"කම්පියුටර් ළඟට අලි ආවම කූඹි කවුරුද බ්‍රෝ

හු කෙයා සේ ලෝකෙයා..

ලබන සතියේ බලමු..

දුක දන්නෙ වෙන කවුද ටීචර්ම තරම්"