සම්මතයම ඇදගෙන යන පිරිමි සනුහරේ වෙතටයි

මානවවාදී සමාජයක් ගොඩනඟා, ඉන් පසුව සමරමු මානවවාදී දිනය

කිනෙකාට ඉරිසියා කරන, එකිනෙකාට කඹ ඇදගන්නා, කුහකකම් කරන, ද්වේෂ සහගතව පළිගන්න, හදිහූනියම් කරන, මිරිස් අඹරා හැඳිගෑවී යන්නට දෙවියන් ඉදිරියේ යදින සමාජයක අපි අනිද්දා එනම් අගෝස්තු 19 වැනි දින ලෝක මානවවාදී දිනය සැමරීමට සූදානම් වී සිටින්නෙමු.

ගහකොළ කපා දමමින්, කර්මාන්ත ශාලා ඉදිකරමින්, පරිසරය දශමයෙන් දශමයට අමු අමුවේ දූෂණය කරමින් මිනිසා ගැන අබමල් රේණුවකට තැකීමක් නොකරන අපි අනිද්දාට ජගත් මානවවාදී දිනය සැමරීමට සූදානම් වී සිටින්නෙමු. මිනිසාට මිනිසා නොමැති විපරීත සමාජයක මානවවාදී දිනයක් සැමරීම විහිළුවක් වන්නේ මානවවාදීත්වය අංශුමාත්‍රයක් නොමැති පිරිසක් එදිනට මානවවාදීත්වය ගැන පාරම්බාන අපූරුව රූපවාහිනී තිර මත නිර්ලැජ්ජිතව විකාශනය කිරීමටත් පත්තරවල පොල්ගෙඩි අකුරින් මුද්‍රණය කිරීමටත් මාධ්‍ය ඔස්තාර්ලා දඟලන ආකාරය දකිනා විට ය.

බඩගෝස්තරවාදී කොම්පැණිකාරයාගේ සිට, බලලෝභී දේශපාලකයාගේ සිට, අල්ලපු ගෙදර ගෘහ මූලිකයාගේ සිට, ඒකාගේ බිරිඳ පමණක් නොව වැඩට සිටින සේවකයාගේ සිට, මානවවාදීත්වය කෙළෙසන පුද්ගල ප්‍රපංචයන් සමුදායකට මැදි වූ සමාජ තලයක මානවවාදීත්වය කළුනික සෙවීමටත් වඩා උගහට කරුණක් වුව ද එය ඇරඹීම ඒ නිවාස තුළ අද උපදින දරුවාගෙන් ආරම්භ කිරීමට හැකි ය.

ඩෙංගු රෝගය මේ රටේ ඔඩුදුවන අර්බුදයක් වී ඇත්තේ ද මිනිසා සතුව තඹ දොයිතුවක තරම් හෝ මානවවාදීත්වයක් නොමැතිකම නිසා නොවේද? තමා ගැන පමණක් සිතනා, තමා පමණක් ජීවත්විය යුතු යැයි සිතනා පුද්ගල ප්‍රපංචයන් තම ගෙමිදුල සුරැකිව තබාගෙන අල්ලපු හිස් ඉඩමට කුණු දමනා මෙන් ම මහ මඟ මෝටර් රථයෙන් පැමිණ කුණු විසිකර ඉගිලෙන සමාජයක මානවවාදීත්වයක් බලාපොරොත්තු වීම විහිළු සහගත කටයුත්තක් බව හැබෑ ය.

එහෙත්් මේ පවතින ක්‍රමය උඩුයටිකුරු කර මේ නිර්ලැජ්ජිත සමාජ ක්‍රමය වෙනස් කිරීමට හැක්කේ තරුණ ඔබේ ජවයට පමණි. බලලෝභී දේශපාලන අලුගෝසුවන් වනසන මානවවාදීත්වයේ සිට නළාව කර ලා රෝගියා බිල්ලට තබා, ඉල්ලීම් දිනා ගැනීමට වලිකන ෆැසිස්ට්වාදී ජීවකයානන්ලාගේ අතින් අමුඅමුවේ මිහිදන් කෙරෙනා මානවවාදීත්වයේ සිට සියලු සමාජ ස්ථාවරයන් යම් යම් අයුරින් මේ දරණි තලයේ මිහිදන් කර තිබෙනා මානවවාදීත්වයට යළිත් පිළිසිඳ ගැනීමට ආදරණීය මව්කුසක් මේ පොළොව මත ඇති කිරීමට හැක්කේ තරුණ ඔබට පමණි.

ඉතින් සහෘදයනි, ඒ උදාර කර්තව්‍යයට මුලපුරන්න 19 වැනිදා වන තෙක් නොසිට අද සිට ම නැඟිටින්න. මේ දරණීය තලය එකිනෙකාට ගරු කරන, එකිනෙකාට ප්‍රේම කරන වඩාත් සුන්දර දේශයක් බවට පත්කිරීමට, අතිශය මානවවාදී සමාජයක සුවඳ ශ්‍රී ලාංකේය භූමියෙන් ලෝගත කිරීමට ඔබ අදිටන් කරගන්න. එහි පළමු බීජය අද සිට ඔබේ හදවත තුළ රෝපණයට ඉඩ දෙන්න. එවිට මේ ලෝකය වඩ වඩාත් සුවඳවත් වනු නොඅනුමාන ය.