කෙල්ලො නොවන කොල්ලො ටිකක් ලංකාවෙ නළුවො විදිහට බිහිවෙන්න ඕන  - මධුෂාන් හත්ලහවත්ත

කෙල්ලො නොවන කොල්ලො ටිකක් ලංකාවෙ නළුවො විදිහට බිහිවෙන්න ඕන  - මධුෂාන් හත්ලහවත්ත

 

මුතු කිරිල්ලි. ඉඳුවරී, පෑදිය රැල්ල, සිත් අහස ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවක එකිනෙකට වෙනස් චරිතවලට හුස්ම දුන් ඔහු, පසුගිය අවුරුද්දේ රයිගම් හොඳ ම නැගී එන නළුවාට හිමි සම්මානය දිනාගන්නේ සුදත් රෝහණයන්ගේ ගිරිකුල ටෙලිනාට්‍ය වෙනුවෙන්. මෙහෙම කියද්දිම ඔබ දන්නවා මං මේ කියන්න යන්නෙ කා ගැනද කියලා. ඔව්. ඒ මධුෂාන් හත්ලහවත්ත ගැන තමයි. කාලයක් කිසි සද්දයක් බද්දයක් නැතුව ඉඳලා, ඔන්න මධුෂාන් ආයෙමත් කරලියට ඇවිල්ලා. ඒ, ITN එකේ විකාශය වෙන මහි පූජා ටෙලි වෘත්තාන්තයෙන්.

සම්මානෙ ගත්තට පස්සෙ කාලයක් පේන්න නැතුව හිටියා නේද?

හොඳයි නේද එහෙම ඉන්න එක. මේ යන රැල්ලට ම අපිත් යන්න හොඳ නෑ නේ.

හිතට ගැලපෙන චරිත ලැබුණෙ නැද්ද? නැත්නම් චරිත ලැබුණෙ ම නැද්ද?

මට ඕනකම තිබ්බෙ හොඳ වැඩ ටිකක් කරන්නයි. ඉතින් කාලයක් ගත්තා. මේ යන ක්‍රමයට ජනප්‍රිය රැල්ලට යන්න අදහසක් නෑ. කොහොමටත් කරන්නං වාලෙ කරන්න බෑ. හේතුව මං ගුරුවරයෙක්. පිළියන්දල “හර්මන් මයිනර්” විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උගන්වනවා. වේදිකා නාට්‍යවලින් ආපු කෙනෙක් විදිහට මට හිතන්නෙ හරයක් තියෙන දේවලට විතරක් සම්බන්ධ වුණොත් හොඳයි කියලා.

මධුෂාන් ක්ෂේත්‍රයට ආව හැටි ගැනත් කියමුද?

මම ඉස්සෙල්ලම ආවේ වේදිකා නාට්‍යවලින්. පස්සෙ ITN එකේ මුතු කිරිල්ලි ටෙලිනාට්‍යට සම්බන්ධ වුණා. ඒ තමයි මගේ පළවෙනි ටෙලිනාට්‍යය.

ඔබට තියෙන්නෙ කලාවට සම්බන්ධ පවුල් පසුබිමක්ද?

මගේ අයියා චාමික හත්ලහවත්ත කියන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයා. අපේ පවුලෙන් මමයි අයියයි තමයි කලාවට සම්බන්ධ.

පෙනුමෙන් වගේ ම හැසිරීමෙන් ඔබ ජගත් චමිලට සමානයි. දෙන්නා අතර ඥාති සම්බන්ධයක් තියෙනවද? නැත්නම් ඔබ ඔහුව අනුකරණය කරනවද?

එහෙම කිසි දෙයක් නෑ. මමයි ජගත් අයියයි මේ දවස්වල ඇක්ට් කරනවා මාරක ළිඳේ සවාරියක් කියන වේදිකා නාට්‍යයෙත්. අපි හොඳ යාළුවො. නෑකමක් නම් නෑ. ඒත් නෑකමකට එහා ගියා ලොකු බැඳීමක් තියෙනවා අපි අතර.

ඉස්සරහට මොනවගේ නිර්මාණවලින්ද ප්‍රේක්ෂකයෝ අතරට එන්නෙ?

“මහී පූජා”මේ දවස්වල විකාශය වෙනවා. මං රඟපාන වේදිකා නාට්‍ය තුනකුත් මේ ටිකේ දුවනවා. ඒ ඇරුණම “රුවිත හතර”,“ප්‍රභා යාමය” ටෙලිනාට්‍ය වගේ ම තව ෆිල්ම් එකක් එන්න තියෙනවා, අනුරුද්ධ ජයසිංහ රෝහණ විජේවීරගෙ චරිතය අල්ලලා කරපු. මිණිගංදෑල ටෙලිනාට්‍යයේ රූගත කිරීම් මේ දවස්වල සිදු වෙනවා. ප්‍රධාන නළු නිළියන් එකසිය ගණනකගේ දායකත්වයෙන් රූගත කෙරෙන මිණිගංදෑල මට මගේ රංගන ජීවිතයේ ලැබුණු සුවිශේෂ කඩඉමක් කියන්නත් පුළුවන්. ලාංකීය ටෙලි වංශ කතාවේ විශාල පෙරළියක් ඇති කෙරෙන මිණිගංදෑල ටෙලිනාට්‍යයේ සුවිශේෂ චරිතයකින් මම ප්‍රේක්ෂයන් හමුවට ළඟදී ම එනවා. මිණිගංදෑල චරිත් අබේසිංහගේ අධ්‍යක්ෂණයක් තරංග අතුරුලියගේ නිෂ්පාදනයක්.

පාසල් කාලෙ ගැනත් ටිකක් මතක් කරමුද?

මං ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට. ඉස්කෝලේ යන කාලෙ ඉඳලම නාට්‍ය තමයි ආසාවෙන් ම කළේ. කතා කරන්නත් පොඩි හැකියාවක් තිබුණා. මං ඉස්කෝලෙ විවාද කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒ විතරක් නෙවෙයි ඉස්කෝලෙ පළමු පෙළ සංචිතයෙ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සමහර විට නළුවෙක් නොවුණා නම් මේ වෙද්දි මම ක්‍රිකට් ගහනවා. හැම දේම බැලන්ස් කරගෙන අන්තිමේ දි කොහොම හරි කැම්පස් එකටත් පය තිබ්බා. දැනුත් මම ජයවර්ධනපුර කැම්පස් එකේ මනෝවිද්‍යා උපාධිය හදාරනවා.

නළුවෙක් විදිහට ඔබ ආව ගමනෙ, ළඟින් ඉඳන් හයියක් වුණේ කවුද?

වැඩිපුරම මගේ පවුලෙ අය තමයි. අම්මා, තාත්තා, අයියා වගේ ම මගේ වයිෆ් තිළිණි වීරසිංහවත් ඉස්කෝලෙ යාළුවො හැමෝමවත් ආදරෙන් මතක් කරන්න ඕන.

මධුෂාන් හත්ලහවත්ත කියන්නෙ රඟපෑමත් එක්ක ගොඩක් කාර්යබහුල චරිතයක් නෙවෙයිද?

ඇත්තට ම කාර්ය බහුල චරිතයක් නම් නෙවෙයි. මං බොරුවට කයිවාරු ගහන්න කැමති නෑ මට චරිත ගොඩකට ආරාධනා ලැබෙනවා. ඒ වුණත් මම තෝරගෙන සීමිත ප්‍රමාණයක් කරනවයි කියලා. හැබැයි මේ වෙලාවෙ ලංකාවෙ ගොඩක් නිෂ්පාදනය වෙනවා, අවර ගණයේ නාට්‍ය ,කොමඩි නාට්‍ය, වැඩසටහන්. මම සියල්ලට ම බැඳෙන්නෙ නැතුව ඉන්නවා, නාට්‍ය කරගෙන. සමහර ආරාධනා බාරගන්න බෑ. මොකද කලාව කියන්නෙ සල්ලිමත් නෙවෙයි. හැබැයි ඒ ප්‍රකාශය මම කරන්නෙ මට වෙන වෘත්තියක් තියෙන නිසා. ඒක අනිත් නළුවන්ට අදාළ නැති වෙන්න පුළුවන්. වෘත්තියෙන් ම නළුවො වුණාම සල්ලි හොයන්න, ඒ අයට කැමති චරිත නැතුව, ලැබෙන චරිත කරන්න වෙන වෙලාවලුත් තියෙනවා.

අපේ ටෙලිනාට්‍ය කලාවයි, චිත්‍රපට කලාවයි ගැන ඔබට තියෙන අදහස?

ඉන්දියාව හොයනවානෙ ලස්සන මූණු වගේ ම කැත මූණුත්. ධනුෂ් කිව්වම ලස්සන කෙනෙක් නෙවිනෙ. ඒ වුණත් එයාගෙ හැකියාවට හරියන තැන එයා හදාගෙන තියෙනවා වගේ ම එයාට ඒ තැන හදලා දීලා තියෙනවා. සීනි බෝල හොයන්නෙ නැතුව අපිත් හෙව්වා නම් රඟපාන්න පුළුවන් හොඳ කොල්ලො ටිකක්... මම හිතනවා වේදිකාවෙන් ඒ අඩුව පුරවයි කියලා. වේදිකාවේ ඉන්නවා අතිදක්ෂයො. ඒත් ඒ අයට චාන්ස් එකක් හම්බෙන්නෙ නෑ, ඉස්සරහට එන්න. එහෙම ලැබුණා නම් මං හිතනවා මේ ටෙලි නාට්‍ය කලාවයි සිනමාවයි දෙක ම මීට වඩා ගොඩක් වෙනස් වෙයි කියලා.

මං කියන්නෙ රඟපාන්න කොල්ලො ඉන්න ඕන. ජගත් අයියා, උද්දික ප්‍රේමරත්න, රොෂාන් රවීන්ද්‍ර වගේ නළුවො බිහිවෙන්න ඕන ලංකාවේ. කෙල්ලො නොවන කොල්ලො ටිකක් ලංකාවෙ නළුවො විදිහට බිහිවෙන්න ඕන කියන එක තමයි මගෙ නම් අදහස.