කෝ දැන් සින්ඩිගේ අනුරාධ සර්?
කෝ දැන් සින්ඩිගේ අනුරාධ සර්?
අරුණි කළුපහන
ජගුවර් රථය මිදුල මැද්දෙම නතර කරපු විසල් යතුරත් වාහනයේ තියෙන්න ඇරලා වාහනෙන්
බැස්සේ නංගිවත් එක්කගෙන ආපහු යන්න හිතාගෙන...
"නංගි... "
වාහනයේ සද්දෙටත් ශාස්ත්‍රී එළියට නාව නිසාවෙන් විසල්ගේ හිතේ තිබ්බේ නොරිස්සුම්
ගතියක්. වාහනෙ මිදුලෙන් නතර කරලා, ඉක්මනින් නිවස තුළට ආවත් සාලයේ සෝෆාවට වෙලා
පොතකුත් අතේ තියාගෙන කියවමින් හිටපු ඇයව දැක්ක ඒ මොහොතේ දී විසල් නතර වුණේ ඉබේටම.
විසල්ගේ හිත පුදුමයටත් වැඩිය සතුටකින් පිරුණේ විසල්ටත් නොදැනීමයි. විසල් මොහොතක්
බලාගෙන හිටියේ විසල් ආ වගක්වත් නොදැන පොත අස්සේ අතරමං වෙලා ඉන්න ඇය දිහාවේ.
"සින්ඩරෙල්ලා.. "
විසල් කතා කරේ හුඟක් වෙලා නිහඬව බලා ඉන්න එක හොඳ නැති නිසා. කලබල වුණ සින්ඩි
නැගිට්ටේ අතේ තිබ්බ පොතත් බිමට වට්ටගෙන. සින්ඩිගේ කලබලේ දැකලා විසල්ට හිනා යන්න
ආවත් විසල් අමාරුවෙන් හිනාව නවත්තගෙන හිටියේ ඇයව තවත් අපහසුතාවයට පත්කරන්න බැරි
නිසා.
ශාස්ත්‍රී කොහෙට හරි වෙලා මේ කතාව අහගෙන ඉන්න බව දන්නා නිසා ම විසල් සාලය සිසාරා
ඇස් යැව්වත් පේන දුරක ශාස්ත්‍රී හිටියේ නැහැ. මේ සේරම ශාස්ත්‍රීගේ සැලසුම්. විසල්ට
ඒකෙ සැකයක් නැහැ. ඒ නිසාම ඇය මේ කොහේ හෝ සිටිය යුතුමයි.
"කොයි වෙලේද නංගි, ආවේ... "
විසල් ඇහුවේ සින්ඩිට ඉදිරියෙන් වූ සෝෆාවේ ඉඳගන්න ගමන්.
"දැන් ටිකක් වෙලා.."
"අප්පච්චි කොළඹ ඉඳන් එන ගමන්ද ආවේ.. "
"හ්ම්ම්.. "
සින්ඩි උත්තර දුන්නේ ඇහෙන නෑහෙන ගානට. නොදැක්ක ටික දවසට සින්ඩි තවත් ලස්සන වෙලා.
විසල්ට එහෙම හිතුණත් ඔහු ඒක වචනවලට පෙරළන්න නම් ගියේ නැහැ. වෙනදට වික්ටෝරියා ප්ලේස්
එකේදී අඳින දිග, කොට මල් ගවුම් වෙනුවට තනි සුදු කුර්තා එකයි කළු ලෙගින් එකයි
සින්ඩිව තවත් ලස්සන කරත් නළලේ පුංචි පොට්ටුව නැති එක ගැන විසල්ගේ හිතට දැනුණේ සෑහෙන
අඩුවක්. සින්ඩි තවමත් හිටගෙන, බිම බලාගෙන.
"ඉඳගන්න දරුවෝ.. මොකද මේ හිටගෙන. අනික බය වෙලා වගේ ඉන්නේ.. මේක පිට ගෙදරක්ද ? "
සින්ඩිගේ අතේ තිබුණ පොත අතින් අරගන්න ගමන් විසල් ඔහේ කියෙව්වත් නොසිතපු විදිහට
සින්ඩිව දැක්ක වෙලේ ඉඳන් විසල්ගේ හදවතත් ගැහි ගැහි දෝංකාර දෙන්න පටන් අරගෙන තිබුණා.
නොසන්සුන් සිතුවිලි අකාමකා ගන්න ඕනි නිසාම විසල් පොතේ එකින් එක පිටු පෙරළුවා.
"සින්ඩි... හොඳට සිංහල පොත් කියවනවා කියලා මං දන්නේ නැහැනේ.. කාගෙද මේ පොත..
තෙල්මා.. ආඅ මාරි කොරලි.. ට්‍රාන්ස්ලේට් එකක් නේද ? "
සින්ඩි හිස වැනුවේ ඔව් කියන්න. සින්ඩිටත් මෙය අනපේක්ෂිත මොහොතක්ව ඇති බව විසල්ට
විශ්වාසයි. ඔඩොක්කුව මත එකිනෙක බැඳගෙන තිබුණ සින්ඩිගේ අත් දෙක වෙවුලන එකෙන්ම ඇය
කොයි තරම් බය වෙලාද කියලා විසල්ට දැනුණා.
"සින්ඩි.. දැන් ආදරේ වෙනුවෙන් ජිවත් වුණ, ආදරේ වෙනුවෙන් මැරෙන්න පවා ගිය ෆිලිප් -
තෙල්මාව කියවලා ඉවරද?"
"තවම.. තවම මං ටික.. ටිකයි කියෙව්වේ.. මේ පොත කලින් කියවලා තියෙනවාද ?"
"හ්ම්ම් ඔව්.. ගොඩක් ඉස්සර කියෙව්වා. මං කැමතිම පොතක්.. අපේ ගෙදරත් ලයිබ්‍රි එකක්
තියෙනවා. සින්ඩිට මාසයක් විතර හොඳට ඉඳන් පොත් කියවන්න පුළුවන්."
"මං අනිද්දා යනවා."
"ඒ ඇයි ?? "
"ඊට පහුවදාට එක්සෑම් එකක්.. "
"මං හිතුවේ සින්ඩි දිග නිවාඩුවක් අල්ලලා එන්න ඇති කියලා. "
"ම්හු.. නෑ... එක්සෑම් එක තිබුණයින් පස්සේ නිවාඩු හම්බෙන්නේ.."
"හ්ම්ම්.."
විසල් හිතුවේ සින්ඩි ටික දවසක් නවතී කියලා. නමුත් ඉක්මනින් ඇය යන බව ඇහුවාම විසල්ට
දිග සුසුමක් හෙළුණේ ඔහුටත් නොදැනීම. සින්ඩරෙල්ලා පුදුමයෙන් ඔහු දිහාවේ බලපු නිසාම
විසල් කතාව මාරු කරා.
"කෝ දැන් සින්ඩිගේ අර අනුරාධ සර්? "
සින්ඩිගේ මුවින් සිනාවක් පනින්න ගිය බව විසල්ට විශ්වාසයි. නමුත් ඇය කිසිවක් නෑසුණා
වගේ ඈත බැලුවා. විසල්ට අනුරාධ සර් එක්ක තියෙන නෝක්කාඩුව ගැන සින්ඩිත් නොදැන හිටියා
නෙවෙයි.
"දෙන්නා බර කතාවක් වගේ.."
ශාස්ත්‍රී එහෙම කියාගෙන එතැනට ආවෙත් ඒ මොහොතේම. ඒ වෙලේ නම් මෙච්චර ඉක්මනින් ආව නංගි
ගැන චිසල්ට දැනුණේ නොරිස්සුමක්.
"අයියා... පොඩි උදව්වක් ඕනි.. සින්ඩි මේ එද්දී ළඟපාත කෝවිලක් දැකලා... යන්න ආසයි
කිය කියා හිටියා. වැඩක් නැතිනම් අයියා පොඩ්ඩක් සින්ඩි එක්ක කෝවිල ගාවට ගිහින්
එන්නකෝ.."
විසල් ශාස්ත්‍රී දිහාවේ පුදුමයෙන් බැලුවෙත් සින්ඩි ගැස්සිලා හැරිලා බැලුවෙත් එක ම
වෙලාවේ.. ශාස්ත්‍රී කතා කරේ විසල් එක්ක වත්තට යන්න කැමති වුණ බවවත් නොදැන වගේ.
"නංගි.. මේ.. "
"හරි අයියා...ඔයාට අර ගෑනු ළමයාව පස්සේ හම්බෙන්න යන්න පුළුවන් නේ.. එක දවසක් ඔයාටයි
ඒ අක්කිටයි හම්බෙන්න බැරි වුණා කියලා මොනවා වෙනවද? අදට පොඩ්ඩක් සින්ඩි එක්ක යන්නකෝ
වාහනේ... මං මගේ නෑනාට කියන්නම් මමයි යැව්වේ කියලා.. "
|