බූට් එකේ ද ඒ හැටි දෙයක් නැත 

බූට් එකේ ද ඒ හැටි දෙයක් නැත 

 

බූට් එක අරම ය. බූට් එක මෙහෙම ය. හැටහුටාමාරක් දාර්ශනික අදහස් උදහස් මැද්දෙ මීට දෙතුන් දොහකට ඉහත වෙනකල්ම මං නිරුත්තර වුණේ ඒ ගැන හරි අවබෝධයක් නැති නිසා මෙන්ම අත්දැකීමෙන් නොදැන සිටි නිසා ය. දැන් ඉතිං ඒ පුරස්නය ද අහවර ය.

මන්ද රත්තරං ටිකට උන් මට ද ඊයේ පෙරේදා වැදුණේ එසේ මෙසේ බූට් එකක් නොවේ ය. ඕනෑ ආතුරයෙකුගේ බූට් කතාවක් මැදට පැන මහා ප්‍රාඥයෙකු සේ දාර්ශනික වදන් දෙන්නට දැන් මට ද පුළුවන. එක අතකට බූට් එකෙන් ලත් එක ම වාසිය ද එය ම ය. කවුරුන් කෙසේ කීවද බූට් එකේ ද ඒ හැටි දෙයක් නැති බව ය මගේ නම් අදහස.

තෙවසරක් තිස්සේ ඇහැක් විදිහට බලාකියා ගත්තු කෙලි පොඩ්ඩගේ සමුගැනීමේ කතාව, ස්තූති කතාව සහ අනාගත සුභාශිංෂනය අසා, කෙළවර මා රහත් වූයේ නැත. මට ද කෝපි කාලේ චිත්‍රපටියක වේදනාවට පත් නළුවෙකු සේ පොළොව බදාගෙන අඬන්ට තරම් වුවමනාවක් තිබුණ ද, තැන ද වේලාව ද දෙකම හරි නැති හෙයින් ඔන්න ඔහේ ඇඬීම ද කල්දමා ගත්තෙමි.

පෙම්කෙළ හොම්බ බිම ඇනගත් බයිස්කෝප් නළුවෙකු මෙන්, අනෝරා වැස්සක සිංදුවකුත් කිය කියා පාර දිගේ අඬ අඬා යන්න මට හීනයක් තිබුණේ මා ඇටෙන් පොත්තෙන් එළියට එන්නටත් මත්තෙන් ය. ඒ හීනෙටත් කණකොකා හැඬුවේ මා පෙමට තිත තැබූ නැකත හරි නැති නිසාවෙනි. පට්ට රස්නෙට ඉහින් කනින් දාඩිය වැක්කෙරෙන එවේලේ අනෝරා වැස්සක තියා කුඩුපොදක වත් සේයාවක් නොවී ය.

කෙසේ වෙතත් හා හා පුරා කියා බූට් එක වැදෙන මොහොත මම මීට වැඩිය කළඑළියට බලාපොරොත්තු වීමි. මට කෙළවූ මොහොතේ හතර දිග්බාගය ම අඳුරු වී ගෙන ගොස්, අහස ගුගුරා විදුලි කෙටුවේ නැත. පසුබිම් සංගීත නැත. හදවත පසා කරගෙන යන විරහා ගීත නැත. එබැවින් සැබෑ ජීවිතයේ සියල්ල, මා දැක ඇති ඇතැම් බාල බොළඳ චිත්‍රපටිවලට වැඩියෙන් වෙනස් වග වටහා ගතිමි.

බූට් සීන් එකෙන් අනතුරුව ටික දිනක් යන තුරු ම රැවුල කොණ්ඩය වවාගෙන ගස්වැද්දකු සේ හිඳින්නටත් ෂර්ට් එකේ බොත්තම් බාගෙට දාගෙන, මල්පැණි බෝතලේ කටේ තියාගෙන පාර පුරා ඇවිදිමින් දේව්දාස්ගේ පාර්ට් එක රඟන්නටත් මම ඉටාගතිමි.

මාසයක් කඹුරා හොයාගත් සොච්චම් පඩිය නල්ලමලේ කෙල්ලට ම වියපැහැදම් කොරලා තිබුණයින් පර්ස් එක තිබුණේ අඩියට ම හිඳිල ය. මල්පැණි බෝතලයක් තියා වතුර බෝතලයක් ගැනීමට ද දෙපාරක් සිතිය යුතු වාතාවරණයක දේව්දාස්ට ඇක්ට් කිරීම ද සිතින් අත්හැරියෙමි.

 

සිදු වූ සන්තෑසිය මෙනෙහි කරමින් රාජකාරියෙන් නිවාඩු දමා නිවෙසට වී අඬන්නට හෝ මනෝපාර දමා ඉන්නට මට ඉඩක් නොවූයේ ඒ වන විටත් ප්‍රසූත නිවාඩු හැර අන් සියලු නිවාඩු මා විසින් ගෙන අහවර වී තිබුණු හෙයිනි. කෙල්ල එක්ක රවුන් ගහන්නටත්, ඒකි ෂොපින් ගෙනියන්නටත්, අර දිල්ලියේ මේ දිල්ලියේ ගෙනියන්ට ඔෆිසියෙන් නිවාඩු දමන්නට වුවමනා වූ තැන බොසා ඉදිරියේ මට මගේ එක ම සීයා දෙතුන් ගමනක් මරන්නට විය.

අපේ අක්කාගේ කෙලී හතරපස් ගමනක් ගෙට වූ අතර නැන්දාගේ පුතාගේ මඟුලට කියා ද මම කිහිප විටක ම නිවාඩු අරන් ඇති වග මතක ය. ඉඳහිට බොසාට අතේ මාට්ටු වී පරිවාර සෙනඟ සිල්ලම ඉදිරියේ හිත පිරෙන්නට ලුණු ඇඹුල් ඇතිව අහගත් වාර ද ඇති තරම් ය. නොගිහින් බැරිකමට ඔෆිස් ගිය දිනවල මට ඇගේ මූණ මැවි මැවී පෙනුනේ නැත. ඔෆිසියේ ගෑනුත් පාරෙ යන ගෑනුත්, මා හැර ගිය චපල ස්ත්‍රිය ලෙස පෙනී, මා පිස්සෙකු මෙන් ඔවුන් පසුපස ගෑටුවේ ද නැත. තව ද වැරදීමකින් පෑන තේ කෝප්පයට දමා එය සාක්කුවේ හොයන්නටත් හේතුවක් නැතිව මිතුරන් හා වලි දමාගෙන පසුව සමාව ඉල්ලන්නටත් මට අමතක විය. කාර්යාලයේ සියලු වැඩ අතපසු කොට මනෝපාර දමාගෙන සිටිය හොත් බඩේ පහර වදින බව ද දැන සිටියෙමි. එසේ හෙයින් කාර්යාලයේ දී පෙර සේ ම කල් ඇරියෙමි.

අතක පොඩි කැපුමක් දාගෙන අවංක, අකලංක, තුන්කුළුඳුල් ප්‍රේමයේ නාමයෙන් ලේ බිංදුවක් දෙකක් හලා, පත බැන්ඩේජ් එකකින් වෙලාගත් අත කෙල්ලට පෙන්නා ඇය වේදනාවෙන් මුසපත් කරන්නට තිබුණා නම් කියලා ම වැඩක් නැති ය. නමුත් මා කුඩා කල සිට ම ලේ දකින්ට බිය ය. වෙනකෙකුගේ ලේ බිඳුවක් දුටු විට ද මා දෙතුන් ගමනක් සිහිසුන්ව ඇද වැටෙන බව කියන්නට ද ලැජ්ජ ය.

ඒ කෙසේ වෙතත් නිවසේ බඩුමුට්ටු පොළොවේ ගසමින් හැරගිය කෙල්ලගේ නම කියා බෙරිහන් දීමත්, මළ මිනියක් මෙන් මූණ සුදුමැලි කරගෙන, ඇස් දෙකෙත් කඳුළු පුරෝගෙන, පරණ ගායකයෙකුගේ බොක්කට ම වදින විරහා ගීයක් කිය කියා ගේ වටේ ඇවිදීමත් යන විකල්ප අවස්ථාවන් මා හට ඉතිරි වී තිබිණි. ඒ සියල්ල කොරන්නට ගියා නම් අපේ ගෙදර උන්දලා මා පිස්සෙකු ලෙස හංවඩු ගසා කොහේ හෝ මානසික රෝහලක නවතා එනවා සිකුරු ය. එබැවින් මා ඒ සියල්ලෙන් වැළකී සිටි බව කියන්නට කැමැත්තෙමි.

නමුත් යම් විදිහකින් මගේ බූට් කතාව තවකෙකු හා කියන්නට ඉඩක් ලද විටදී මා එය කියන්නේ ලුණු ඇඹුල් දමා ය. සැබෑවට ම වේදනාවට පත්, වියෝව දරාගත නොහැකිව සිතින් විඳවන ප්‍රේමවන්තයෙකුගේ චරිතයට පණ පොවමිනි. එවිට එය මට මෙන් ම අනෙකාට ද රස ය.