වැලි කතරෙන් ළිං තුනට

වැලි කතරෙන් ළිං තුනට

පෙරදා රාත්‍රියෙහි සුවදායක නින්දක් ලද බැවින් සැලසුම් කොට ගත් පරිදි අපි පසුදා අලුයමටත් පෙර අවදිවීමු. ළාහිරු කෙමි කුඹුක්කන් ඔය දියවර මත තබන අමිල පියවර දෙස බොහෝ වේලාවක් බලා සිටීමට ප්‍රිය වූ ද අද ගමනෙහි දුෂ්කර ම පරිසර පද්ධතිය මැදින් යා යුතු බැවින් අපි ඉක්මන් වීමු.

 උදෑසන ම කඩල තැම්බූ වතුර පානය කළ බැවින් උදේ ආහාරය කුඹුක්කන් ඔය තරණය කිරීමෙන් අනතුරුව ලබා ගැනීමට අප කණ්ඩායම තීරණය කළෙමු. කුඩා කැබලිත්ත දේවාලයේ ආශිර්වාදය ලබා ගත් කණ්ඩායම කුඹුක්කන් ඔය තෙක් ඇති කිලෝමීටර් එකහමාර එක හුස්මට නිමා කිරීමට දැඩි තීරණයක උන්නෙමු. පසු කර ආ මාවත්වලට සාපේක්ෂව තරමක් සුවදායක මෙන් ම සුබදායක මාවතකින් ගමන වැටී තිබීම ගැන අප උන්නේ සන්තෝෂයෙනි.

කුඩාකැබලිත්ත නැවතුම්පළත් ගඟෙන් එගොඩ වන ස්ථානයත් අතර එතරම් දුරක් නොවූ හෙයින් එම ප්‍රදේශය නිරතුරුව ම මිනිස් හඬින් පිරී තිබිණි. හුදෙකලාවේ අවදානම් ගමනට වඩා බැතිමතුන්ගේ හඬවලින් පිරුණු මාවතක් දිගේ ගමන සිදු කළ යුතුව තිබූ බැවින් එක හුස්මට අපි කුඹුක්කන් ඔය තරණය කළ යුතු තොටුපොළට ළඟා වීමු.

"අද ටිකක් වතුර වැඩියි. හැබැයි ගියපාරට වඩා ගොඩක් අඩුයි."

දැනහඳුනා ගැනීමෙන් අනතුරුව නාවික හමුදාවේ ජීවිතාරක්ෂක කණ්ඩායම අප සමඟ කුළුපග කතාවකට වැටෙන්නේ තමාගේ සේවාව ගැන අවදානය බිඳකටවත් අමතක නොකරමිනි. කුඹුක්කන් ඔය තරණය කිරීමෙන් අනතුරුව අප පිවිසෙන්නේ යාල ජාතික වනෝද්‍යානයේ වෙන ම කළාපයකට ය. එම කළාපය ශුෂ්ක කළාපීය වනාන්තරවල ගතිලක්ෂණ පෙන්නුම් කරන අතර ඇතැම් තැන්වලදී සවානා වනාන්තරවල විවිධත්වය විදහා පායි. එමෙන් ම කාලයක් තිස්සේ වර්ෂාපතනයෙන් මිදෙන මේ කළාපය, යාල වන මැද කාන්තාරයක් යැයි හැඳින්වුවාට වරදක් නැත. කුඹුක්කන්ඔය තරණය කිරීමෙන් අනතුරුව අප පිවිසෙන්නේ ඒ පරිසරයට ය. එහිදී අපට බාධා පමුණුවන වැලි කුණාටු මෙන් ම වැලිපොළඟුන්ගෙන් ද ප්‍රවේශම් වී ගමන යා යුතු ය.

අඩි තුනකට නොඅඩු කුඹුක්කන් ඔය ජලකඳ තරණය කළ අපි උදෑසන ආහාරයෙන් සප්පායම් වුණෙමු. කෙටි විවේකයකට පසු නැවත දුෂ්කර ගමන ඇරඹීමු.

ක්‍රමයෙන් අව්දැල්ල ප්‍රචණ්ඩ ව තිබූ බැවින් ශුෂ්ක මඟ ගමන තරමක් අපහසු ය. පෙනෙන තෙක්මානයේ වියළි, ඉරිතැලුණු පලසක් බඳු වූ බිමෙහි අපි දුෂ්කර ගමනක යෙදෙමින් සිටියෙමු. මෙම භූමිය සිහින් වැලිවලින් ගහන වූ බැවින් වැලිපොළගුන්ට පාරාදීසයකි.

පරිසරය සහ ශරීරය අතර වෙනස හරිහැටි තෝරාගත නොහැකි බැවින් මෙවැනි වැලිතලාවන් හීදී වැලිපොළගුන්ගේ අනපේක්ෂිත පහරදීම්වලට ලක්වූ පුද්ගලයන් ගැන මීට පෙර අසා ඇති බැවින් අපි ගමන තරමක් සුපරික්ෂාකාරී කළෙමු. කොතරම් සෝදිසියෙන් ගමන් කළ ද ඇසිල්ලක නිමේෂයෙන් වැලිපොලගෙකුගේ මටසිලිටු සිරුර මත අපගේ රළු දෙපා ගැටුණ හොත් ඔහු බිය වී නැවත අපට පෙරළා පහර දෙනු ඇත.

 එබැවින් මේ ගිනිගහන වැලිතලාවේ ඉදිරියට ඇදීමේ දී අපි උපක්‍රමයක් ලෙස ලී දණ්ඩක් අපට පෙර ගමන් කිරීමට සැලසුමක් යෙදවීමු. කණ්ඩායමෙහි ඉදිරියේ ම ගමන්ගන්නා පුද්ගලයන් ලී දණ්ඩ රැගෙන වැලිතලාවට තරමක් ඈතින් එය බිම දිගේ ඇදී යාමට සැලැස් වූ අතර සෙස්සන් ඔහුගේ අඩිපාර මතින් ඉදිරියට ඇදුණෙමු. කාෂ්ටක අව්වෙන් රත් වූ පුපුරු ගසන වැලිතලාව මත ගමන මන්දගාමී ය. විටින් විට සෙරෙප්පුවට හෝ සපත්තුව තුළට අනවසරයෙන් එබෙන වැලි තට්ටු ගමන තව තවත් ප්‍රමාද කරවයි. ඇතැම් තැන්වලදී වැලි එක් වී තැනුණු විශාල වැලිපර තරණය කොට යා යුතුව තිබේ.

විවෘත ප්‍රදෙශයේ දී දිවා ආහරය සකසන වේලාව පැමිණි බැවින් අපි කාන්තාරයේ මධ්‍යයේ මිටි, අතුපතර විහිදුණු ගසක් යට ඒ සඳහා පහසුකම් සකසා ගත්තෙමු. ප්‍රචණ්ඩ සුළඟ අප වටා සැරිසරමින් තිබූ බැවින් නැවතත් කාන්තාරයේ ගිනිගහන වැලි තලාව මත වළක් හාරා අපි කණ්ඩායම ළිපක් සකසා ගත්තෙමු. ගමන දුෂ්කර බැවිනුත් තවත් දුරක් යා යුතු බැවිනුත් දිවා ආහාරය නූඩ්ල්ස්වලින් පමණක් පිරිමහ ගැනීමට අපි සිත දැඩිකොට ගත්තෙමු.

විවෘත ප්‍රදේශයෙන් නැවතත් අතුපතර විහිදුණු පටු, දිගු මාවතට පිවිසි අප කණ්ඩායම සෝදේසියෙන් ගමන් කිරීමට සිතාගත්තෙමු. සවස් කාලයට ළඟාවෙමින් තිබූ බැවින් මීට පෙර අප ලත් අත්දැකීම් නිසා වන සතුන් මඟ දිගේ එළිබසින බව අපි දැන සිටියෙමු.

අව් රශ්මියෙන් සහ කාන්තාරගත පරිසරයෙන් විඩාවට පත්ව සිටි අපි තුරු සෙවණ යටින් වැටී තිබූ මාවත ඔස්සේ ළිං තුනට ළං වෙමින් සිටියෙමු. ළිං තුනට යා හැකි කෙටි ම පාර ගංගාවක් තරණය කරමින් යා යුතුව තිබූ බැවින් අපි එම අභියෝගය ද භාරගත්තෙමු. අලින්ගේ අඩිවලින් ගැඹුර වැඩි වී තිබූ එම ගංගාව තරණය කිරීමට ප්‍රථම අපි එහි ගැඹුර මැන බැලුවෙමු.

එහා ඉවුරේ සැඳෑ හිරුගේ සුව විඳිමින් උන් කිඹුලා ගණනකට නොගත් අපි එම ගංගාවෙන් දුෂ්කර ගමනකට අනතුරුව එගොඩ වීමු. අවසානයේ අපගේ බලාපොරොත්තු ළිං තුන අසල රාත්‍රි වාඩි ලා ගත්තෙමු.

ළිං තුන ළඟ දවස් දෙකක් ලබන සතියේ...