ගාල්ලෙන්  රංගනයට එන සුපුන්

ගාල්ලෙන්  රංගනයට එන සුපුන්

සුපුන් මධුරංග කියන්නේ මෑතකදී රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු නවකයෙක්.අම්මයි ,තාත්තයි ,අයියලා තුන්දෙනයි එක්ක පවුලේ බඩපිස්සා වුණ සුපුන්ගේ පදිංචිය ගාල්ලේ.ගාල්ල රිචඩ් පතිරණ විද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් කළ මොහු, පුංචි කාලේ ඉඳන්ම නළුවෙක් වෙන්න තිබුණු ආසාවත් එක්කම රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්නේ ඔහුගෙ මිතුරෙකුගේ මියුසික් වීඩියෝවක රඟපෑමට ලැබුණු ආරාධනයත් සමඟයි.

පසුව ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණු සුපුන් ITNහි විකාශය වූ "මුතුමලී"ටෙලිනාට්‍යය හරහාත්,හිරු ටීවිහි විකාශය වූ "කවුරුන්ද නුඹ මගේ" හා "ගැමුණු මහරජ 2"යන ටෙලිනාට්‍ය හරහාත්,ස්වර්ණවාහිනියේ විකාශය වූ "මගේ ආදර අවනඩුව"ටෙලිනාට්‍යය හා ජාතික රූපවාහිනියේ විකාශය වන "විමංසා"ටෙලිනාට්‍යය හරහාත් ප්‍රේක්ෂකයන් අතරට එනවා.ඒ වගේම "ගිරිවැසිපුර"ෆිල්ම් එකටත් ,ඇන්කර් නිව්ඩේල් වෙළඳ දැන්වීමටත්,ඉෂාර ඉඳුනිල්ගේ "හැරයන්න බෑ"මියුසික් වීඩියෝව හා ෆන්කිලාගේ "1ට"මියුසික් වීඩියෝවටත් රංගනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා.

සුපුන්ගේ රංගන ජීවිතයේ වීරයා විදිහට ජැක්සන් ඇන්තනී නම් දැවැන්ත රංගධරයාටත් හා වීරවරිය විදිහට දිල්හානි ඒකනායක රංගන ශිල්පිනියටත් ගරු කරන බව ඔහු අපිත් එක්ක කිව්වා. සුපුන් කියන විදිහට මේ දක්වා වූ ඔහුගේ ගමන තුළ තමන්ගේ පවුලේ අයගෙන් ලැබුණු සහයෝගය ඉතාමත්ම වටිනවලු. විශේෂයෙන්ම ඔහුගේ ලොකු අයියගෙන් ලැබුණු සහයෝගය ඉහළින් ම තිබු බව කිව්වා. විවිධ නිර්මාණ සඳහා සම්බන්ධ වීමට උදව් කරපු රුවන් පෙරේරා,ඉන්දික ධර්මතිලක,ඉන්ද්‍රජිත් චන්ද්‍රකුමාර හා චමින්ද ඇතුළු සහයෝගය දුන් සියලු දෙනාටම ස්තූතිවන්ත වන බවත් මතක් කළා.

නළු පිස්සුවක් පුංචි කාලෙ ඉඳන්ම තිබුණු හින්දා ෂූටිං යන්න අතේ සල්ලි නැති වෙලාවල්වලදී මහරගම ෂොප් එකක වැඩ කරලා, ෂූටිං ගිය දවසුත් ඔහුගේ ජීවිතයේ තිබුණලු. ඒ වගේම තමයි මේ දක්වා ඉතාමත් කෙටි වූ සුපුන්ගේ රංගන ජීවිතය තුළ ෂූටිං ගිහින් ආපිට එන්න බස් නැතිව, තනියම රෑ ස්ටේෂන්වල කාපු කට්ට කිසිම දවසක අමතක නොවෙන රසමුසු අවස්ථාවන් වුණු බවයි සුපුන් කිව්වෙ.

අනාගතයේදී රංගන ක්ෂේත්‍රයට එන්න ඉන්න අයට සුපුන්ගෙන් ලැබුණු පණිවිඩය තමයි කෙනෙක් තමන්ගේ දක්ෂතාවය,හැකියාව හා කැපවීම තුළින් යම් ක්ෂේත්‍රයකට සම්බන්ධ වෙනවා නම් ඒ ගමන සාර්ථක කරගන්න හැකි වන බව.සුපුන්ගේ අනාගත බලාපොරොත්තුව, සාර්ථක ව්‍යාපාරිකයෙකු වීම වගේම අහිංසක ආදරවන්තයෙක්ගේ චරිතයක් රඟපෑම.

අවසාන වශයෙන් ඔහු පැවසුවේ රංගනය පිළිබඳව වර්ක්ෂොප් තුළින් වැඩිදුරටත් හදාරන බවයි.ඒ වගේම සුපුන් වැඩිපුර ම කැමති මියුසික් වීඩියෝවල රඟපාන්නලු.ඉතින් එහෙනම් ඒ සියලු ප්‍රාර්ථනාවන් මල්ඵල ගැන්වෙන්නයි කියලා y කණ්ඩායමේ අපි හැමෝම සුපුන්ට සුබ පතනවා.