මේ වැස්සත් හරියට  ඔයා වගේ...

මේ වැස්සත්  හරියට ඔයා වගේ...

ඊයෙ රෑ ඉඳන් වහින වැස්සට කිසි ම හිතක් පපුවක් නෑ වගේ. හතර අතට ම හෙණ ගහ ගහ තව තවත් තදේට ම වැස්ස පොළොවට ඇදහැලෙනවා. වැස්සට ආදරේ කරන හැම කෙනෙක්ගෙම සියලු දේවල් විනාශ කරමින් තව තවත් උන් අසරණ කරමින් මේ ඇදහැලෙන වරුසාවට කිසි ම හිතක් පපුවක් නෑ තමයි. වැස්සට ආදරේ කරන මිනිස්සුන්ගේ සිත්වල වේදනාව ගැන ඒ වැස්සට දැනෙන්නෙ නෑ.

වැස්සත් හරියට ඔයා වගේ කියලා මට හිතුණා. ඔයා වෙනුවෙන් ම ජීවත් වෙලා, ඔයා වෙනුවෙන් ම මැරෙන්න හිතපු මගේ හිතත් කීතු කීතු කරලා, ඔයා මගෙන් ඈතට ගිහින්. ඔයාටත් කවදාවත්ම මගේ ආදරය, තනිකම ගැන දැනිලා නෑ.

එදා ඔයා කතා කරපු හැම තැනකට ම දෙසැරයක් හිතන් නැතුව මම දුවගෙන ආවේ අනෙක් හැමෝටම වඩා මම ඔයාට ආදරේ කරපු නිසා. ඒ ආදරේ ම, ඒ විශ්වාසය ම මගේ ජීවිතේ මාව මේ තරම් අසරණ කරයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ.

එදා ඔයා මට කියපු හැම වචනයක් ගාණෙ ම මම ඒ ආදරේ දැක්කා. ඒක නිසා මම ගත්ත කිසි ම තීරණයක් ගැන මට බයක් දැනුණෙ නෑ. ඔයා මගේ ළඟ හිටපු හැම දවසක ම මට ලොකු ශක්තියක් දැනුණා. ඔයා ඒ හැඟීම හැම වෙලාවෙම මට දුන්නා.

හිටපු ගමන් ඔයා වෙනස් වුණා. ඔයාට මාව කරදරයක් වුණා. ඒ ඇයි කියලා එදා මට තේරුම් ගන්න බැරුව ගියා. අවසාන දවස්වල ඔයා මාව බලන්න ආවෙ ම නෑ. මගේ එක ම එක කෝල් එකකටවත් උත්තර දුන්නෙත් නෑ. මම තනි වුණා. නෑ... ඔයා මාව තනි කළා.

ඒකට හේතුව දැනගන්න ලැබුණෙ ගොඩක් පහුවෙලා. ඔයාගේ හිත තව තැනක නතර වෙලා තිබුණා. ඔයාට කොහොම එහෙම දෙයක් කරන්න පුළුවන් වුණාද කියලා අදටත් මම හිතනවා.

ඒත් මේ හෙණ ගගහ වහින වැස්සට මිනිසුන් ශාප කළාට, ඒ වැස්ස නිසාම තමන්ගෙ සිත් සුවපත් කරගන්න මිනිසුන් කොච්චර ඉන්නවද?

මමත් මගෙන් ඈතට ගිය ඔයා දිහා බලාන, මගේ ලෝකේ ඔයාට ශාප නොකරම හදාගන්න තීරණය කළා. මේ වැස්සත් ඔයා වගේ වුණාට ඔයා නිසා සැනසෙන සිත් ඔයා ළඟින් ම තියන් හිටියට ඔයා දිහා බලාන ඔයාට ශාප කරන්න තරම් මම දුර්වල වුණේ නෑ. එදා වගේ ම මේ වැස්සට අදත් මං ආදරේ කරනවා. මම තනි වුණාට, මම අසරණ වුණාට ඒ වැස්ස නිසා ම සැනසෙන හිත් දිහා බලාගෙන මට සැනසෙන්න පුළුවන් වුණා.

මට උරුම ඈතට වෙලා මේ වැස්ස දිහා බලාන හිත සැහැල්ලු කරගන්න විතරමයි. ඒකයි මං කියන්නෙ, මේ වැස්සත් හරියට ඔයා වගේ...