මම තරග තහනමකට ලක් වුණේ නෑ ලූෂන් පුෂ්පරාජ්

මම තරග තහනමකට ලක් වුණේ නෑ ලූෂන් පුෂ්පරාජ්

යාලා දන්නවා පහුගිය අගෝස්තු 25 වනදා දකුණු කොරියාවෙ පැවැත්වුණු 51 වෙනි ආසියානු කායවර්ධන තරගාවලියෙ දි ඕවර්රෝල් චැම්පියන් ෂිප් එකයි ඕවර් 100Kg ගෝල්ඩ් මෙඩ්ල් එකයි දෙකම දින්නෙ අපේ ම කෙනෙක් වුණු ලූෂන් පුෂ්පරාජ් බව. ඒත් ඔයාලා දන්නවද මේ විදිහට ආසියානු කායවර්ධන තරගාවලියක සමස්ත ශූරතාවය ශ්‍රී ලාංකිකයෙක් දිනාගත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව. මේ ජයග්‍රහණය ශ්‍රී ලාංකේය අපට මහමෙරක් වෙන්නෙත් අන්න ඒ නිසාමයි. කොහොම වුණත් මේ ජයග්‍රහණයත් ජයග්‍රාහකයාත් ගැන පහුගිය දවස්වල සමාජ වෙබ්අඩවිවල එක එක කතා පැතිරුණා. ඒ එක එක කතා වෙනුවට ඇත්ත ම කතාව දැනගන්නයි අද අපි ලූෂන් පුෂ්පරාජ් දි y එක්ක එකතු කරගත්තෙ.

l තරග තහනමකට ලක්වුණයි කියන්නෙ ඇත්තද?

ඇත්තට ම තරග තහනමකට ලක් වුණේ නෑ. විනය පරික්ෂණයකට පෙනී ඉන්න වුණා විතරයි. ඒ වුණත් ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය මීඩියාවලට දීලා තිබුණා මාව තරග තහනමකට ලක් වුණයි කියලා. පස්සෙ ඒක එයාලම නිවැරදි කරලා තිබුණා, මට එහෙම තරග තහනමක් පනවලා නෑ. විනය පරීක්ෂණයක් විතරයි තිබුණෙ කියලා.

l ඉස්කෝලෙ කාලෙ ගැනත් ටිකක් කියමුද?

මම මුලින් ම ගියේ ජාඇළ ශාන්ත ෂේවියර් මහා විද්‍යාලයට. උසස් පෙළ කළේ රාගම බැසිලිකා විද්‍යාලයෙන්. ඉස්කොලේ යන කාලෙ ඉඳල ම මම ඇත්ලටික්වලට ගොඩක් දක්ෂයි. මීටර් 100, 200,400 දුවන්න මගේ ගොඩක් උනන්දුව තිබුණා. ඒ තරගවලින් මම සමස්ත ලංකා දක්වාම ගියා. ඒ එක්ක ම උසස් පෙළත් හොදට කළා. කැම්පස් කැම්පස් මිස් වුණේ නූලෙන්. මම ඉගෙනීමයි ක්‍රීඩාවයි සමබරව කරගෙන ගියා.

l ඇයි මිනිස්සු බොඩි බිල්ඩින් කරන්න පෙළඹෙන්නෙ?

බොඩි බිල්ඩින් කියන්නෙ හොඳ ක්‍රීඩාවක්. අද වෙනකොට බොඩි බිල්ඩින්වලින් ජීවිතය දිනපු ගොඩක් අය ඉන්නවා. කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ආනෝල්ඩ් පවා බොඩි බිල්ඩින්වලින් ගොඩක් සාර්ථක වුණු කෙනෙක්. ඒ තුළින් අපේ දරා ගැනීමේ ශක්තිය ගොඩක් දියුණු වෙනවා. ජීවිතේ ඕනෑම කාරණාවකදී දරාගැනීමේ ශක්තිය අපිට ලබාදෙනවා. මේක ඇවිල්ලා සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වාගෙන යන්නත් උදව්වෙන ක්‍රීඩාවක්.

l මේ ක්‍රීඩාවෙදි මොන වගේ කැපවීමක්ද ලබා දෙන්න ඕනෙ?

බොඩි බිල්ඩින් කරනකොට නියුට්‍රිෂන් වගේ ම ට්‍රේනින් එක අනිවාර්යයෙන් ම වැදගත් වෙනවා. කය වර්ධනය කරලා පෙන්වීමක්නෙ කරන්නෙ. ගොඩාක් ම අපිට නියුට්‍රිෂන් තමයි වැදගත් වෙන්නෙ මේ කායවර්ධනය හදාරනකොට. කෑමවලට ගොඩක් වියදම් වෙනවා. මාසෙකට ලක්ෂයක් එකාමාරක් අපේ කෑමවලට යනවා. අපි ගන්නෙ හුඟක් හොඳ ආහාර. ෂුගර් ගොඩක් ගන්නෙ නෑ. චිකන්, රයිස්, බිත්තර, ටර්කිබ්‍රෑන්, අලබතල හැමදේම ගන්නවා. ඒවත් අපි විශාල ප්‍රමාණයෙන් තමයි ගන්නෙ. බරට සරිලන විදිහට අපිට අනිවාර්යයෙන් ම අවශ්‍ය වන කාබෝහයිට්‍රේඩ් ප්‍රමාණයකුත් ප්‍රෝටීන් ප්‍රමාණයකුත් තියෙනවා. අපේ බර කිලෝ ග්‍රෑම් එකකට කාබෝහයිට්‍රේඩ් තියෙන්න ඕන 1.5kgක්. ප්‍රෝටීනුත් ඒ වගේ. අපිට දවසකට අත්‍යවශ්‍ය කැලරි ප්‍රමාණයකුත් තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට දවසකට අවශ්‍ය වෙන්නෙ කැලරි 2500ක් වගේ නෙ. බොඩි එකක් බිල්ඩ් අප් කරන්න නම් කැලරි 4500- 5500ක් විතර ඕන වෙනවා.

l බොඩි බිල්ඩින් ගැනයි බොඩි බිල්ඩර්ස්ලා ගැනයි මිනිස්සුන්ගෙ තියෙන්නෙ මොන වගේ ආකල්පයක්ද?

බොඩි බිල්ඩින්වලට ලංකාව තුළ මේ වෙද්දි තරමක ප්‍රසිද්ධියක් වගේ ම උනන්දුවක් තියෙනවා. යුරෝපයේ, ඇමරිකාවේ වගේ නම් බොඩි බිල්ඩින් කියන්නෙ ගොඩක් ලොකු රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන ක්‍රීඩාවක්. ලංකාවේ ඒ තරම් දුරට දායකත්වයක් ලැබෙන්නෙ නෑ, ඇත්තට ම බොඩි බිල්ඩින් කියන්නෙ විශාල ශරීරයක් තියාගන්න එක ම නෙවෙයි. අපි හැම වෙලාවෙ ම බලන්නෙ සෞඛ්‍ය තත්ත්වය හොඳින් තියාගන්න. උසට සරිලන බර අනිවාර්යයෙන් ම තියෙන්න ඕන. ඒ දේවල් නැතුව බොඩි බිල්ඩින් කරන්න බෑ. ඒ වගේ ම තමයි ඩයට් එක කන්ට්‍රෝල් කළේ නැත්නම් අපිට හොඳ බොඩි එකක් ලබන්නත් බෑ. දැන් ලංකාවෙ ගොඩක් අය ජිම් යනවා. අපි මසල් එකක් බිල්ඩ්අප් කරද්දි අපිට අනිවාර්යයෙන් ම නියුට්‍රිෂන් වැදගත් වෙනවා. ලංකාවෙ ක්‍රීඩකයො ඉන්නවා මේ බොඩි බිල්ඩින් ක්‍රීඩාව තුළින් ලොකු දුරක් යන්න ශක්තිය තියෙන. දැන් දැන් මේ ක්‍රීඩාව ලංකාව තුළ ප්‍රසිද්ධ වෙනවා. අපිට හොඳ රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණොත් මේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න වගේ ම විශාල ජයග්‍රහණ අත්කර ගන්නත් පුළුවන්.

l බොඩි බිල්ඩර් කෙනෙක් විදිහට ඔබ මේ ආව ගමන ගැන මොකද හිතන්නෙ?

මේක ඇත්තට ආර්ථික අපහසුතා ගොඩක් එක්ක ආව දුෂ්කර ගමනක්. මගෙ වියදම් මම ම තමයි දරන්නෙ. රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණෙ නෑ. කොරියාවෙ ඉන්නවා මගේ සහෝදර සෙට් එකක්. ඒ අය මට ගොඩක් උදව් කළා. බිරිඳ ප්‍රියන්ති කොඩිතුවක්කු, අම්මා ,ආච්චි, සහෝදරයෝ එක්ක මට නුවර ඉන්නවා ලොකු පවුලක්. ඒ අයත් මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේ ම කුවේට්වල මං වැඩ කරන ආයතනය මට ගොඩක් උදව් කරනවා. කොහොම වුණත් දුෂ්කරතා මැද්දෙ මේ වගේ ගමනක් එන්න ලැබුණු එක ගැන මට තියෙන්නෙ නිහතමානී සතුටක්.

l ආසියානු ශූරතාවය නම් ගත්තා. දැන් ඊළඟ ඉලක්කය ගැනත් කියමු නේද?

මගේ ඊළඟ ටාර්ගට් එක තමයි ලබන මාසෙ මොංගෝලියාවෙ පැවැත්වෙන ලෝක කායවර්ධන තරගාවලිය. ඒ වගේ ම ඉන්දියාවේ ප්‍රෝලීග් එකටත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.