කවුද ලොකු ඇන්ඩර්සන් මහත්තයා කියන්නේ..

කවුද ලොකු ඇන්ඩර්සන් මහත්තයා කියන්නේ..

"මාතියාට මොනවද දැන ගන්න ඕනි.. "

විසල්ගේ හඳුන්වා දීම් අවසානයේ විසල්ගෙන් එහෙම ඇහුවේ කරුප්පයියා. පොඩියට බිත්ති ටික ගොඩනගපු නිවසේ ඉදිරිපස වූ කෙටි බිත්තිය මත විසල් ඉදගෙන හිටියා.

"මට වත්තේ ඉස්සර විස්තර ටිකක් හොයාගන්න ඕනි.."

"මාතියා.. දැන් ඉන්තේරුවට ම වත්ත ගන්නවාද මාතියා.." එවර හඬ අවදි කරේ කරුප්පයියාගේ බිරිඳ යැයි සිතිය හැකි ඔහු අසලින් ම සිටි වියපත් ගැහැනිය.

"වත්ත ගන්න යන්නේ මම නම් නෙවෙයි. මගේ යාළුවෙක්. යාළුවා වෙනුවට තමයි මං හොයලා බලන්නේ.. මට දොරේසාමි තමයි මෙහෙම කරුප්පයියාව හම්බෙන්න කිව්වේ.. "

"දොරේසාමිව නම් එහෙමට දන්නේ නැහැ මාතියා.. දොරේසාමිගේ අන්නා කෙනෙක් ඉන්නවා. මට හිතවත් මනුස්සයා. දොරේසාමිගේ අන්නා ඇවිදින් කිව්වා මෙහෙම වත්ත බලන්න දන්න මාතියෙක් ඒවිය කියලා.. දන්න දෙයක් කියලා ඇහැකි උදව්වක් කරන්න කියලා. හැබැයි මාතියා මෙච්චර ඉක්මනින් ඒවිය කියලා ඉතුවේ නැහැ.. "

කරුප්පයියා කියද්දී විසල් අහගෙන හිටියා. තමන් වත්ත ගන්න හිතපු විත්තියක් කරුප්පයියා වුණත් දැනගන්නවාට විසල්ගේ කැමැත්තක් තිබුණේ නැහැ. එහෙම කියන්න ගියොත් විස්තර මොකුත් දැනගන්න වෙන එකක් නැහැ. විසල්ගේ හිත විසල්ට කිව්වේ එහෙම.

"මේ වෙද්දී වත්තේ බංගලාව බලාගන්නේ කවුද කරුප්පයියා.. ?"

"දැන් වත්ත බලාගන්න කවුද කොළඹ මහත්තුරු වගයක් ඉන්නවානේ මාතියා.. උන්දලා තමයි වත්ත විකුණන්න දාලා තියෙන්නේ.. බංගලාව නම් වහලා දාලා තීනවා මාතියා ඒ දවස්වල ඉඳන්. වත්ත විකුණුවයින් පස්සේ අපිව මුරුගන්ම තමා බලාගන්න ඕනි.."

"ඒ මොකද ?? කරුප්පයියා ඉන්නේ වත්තේ නෙවෙයිනේ.. "

"ඒ වුණාට මාතියා. මේ ඉඩකඩම් වුණත් අයිති වත්තේ බංගලාවේ මහත්තයාට නේ මාතියා.. ලොකු ඇන්ඩර්සන් මාතියා අපිට මේවාවල ඉඩක් වෙන් කරලා දුන්නට මෙව්වා මේ පවරා දුන්නු ඉඩම් නෙවේනේ මාතියා.. "

"කවුද ලොකු ඇන්ඩර්සන් මහත්තයා කියන්නේ.."

"හැරී මාතියාගේ අප්පා මාතියා.. "

"දැන් හැරී ඇන්ඩර්සන් කෝ එතකොට.."

"ඒ උත්තමයා යන්නම ගියානේ මාතියා.. ආයේ කවදාවත් ආවේ නැහැ.. වත්තේ සුදු මහත්තුරුගෙන් අහන්නවත් බෑනේ මාතියා.. හරි ගුණයහපත් මනුස්සයා.. මාතියා උණුවට කොෆි ඩිංගිත්තක් බොමුද මාතියා. මේ සීතලට හොඳයිනේ..."

"හොඳයි කරුප්පයියා.. "

එපැයි කියන්න බැරිකමට විසල් හා කිව්වේ... එපා කියලා මේ අහිංසක මිනිසුන්ට මදිපුංචි කමක් කරන්න අකමැති වුණ නිසා..

"රාධා.. කෙල්ලේ.. මාතියාට කොෆි ඩිංගක් වක් කරපං.. "

නිවස ඇතුළට එබිලා කාට දෝ කිව්ව කරුප්පයියා ආයෙත් විසල් දිහාවට හැරුණා.

"මහත්තයා තනියමද ආවේ.."

"ඇයි කරුප්පයියා එහෙම ඇහුවේ.."

"වාහනේ කවුරුහරි මාතියාගේ යාළුවෙක් ඉන්නවා නම් ඒ උත්තමයාට මොනා හරි පිළියෙළ කරන්න.. "

"ආඅ අනේ ඕනි නෑ කරුප්පයියා.. මගේ වයිෆ් එක්ක ආවේ.. වයිෆ්ට මඟදීම නින්ද ගියා. කොළඹ ඉඳන් ආව ගමන් නිසා මහන්සියටද කොහෙද... ඇහැරවන්න ඕනි නැහැ.."

දිගින් දිගට ම කල්පනා කර කර ආව සින්ඩිට සීතාඑළියට එන අතරමඟදී ම නින්ද ගිය නිසාවෙන් විසල් සින්ඩිට වාහනේ එහෙම ම නිදාගන්න ඇරලා කරුප්පයියා හම්බෙන්න ආවේ ඇහැරුණොත් කතා කරන්න කියලා කෙටි පණිවිඩයකුත් තියන ගමන්.

"මාතියා කොළඹද ?"

"ඔව් කරුප්පයියා... ඉතින් කියන්නකෝ බලන්න.. මට මේ වත්තේ ඉස්සර විස්තර ටිකක් දැනගන්න ආසයි... කරුප්පයියලා කොයි කාලේද මෙහෙට ආවේ.."

"මං නම් පොඩි කාලේ ඉඳන් මෙහෙ තමා හැදුනේ මාතියා.. කොල්ලා කාලේ ඇන්ඩර්සන් බංගලාවේ වැඩට ආවා.. එතකොට හැරී මාතියාගේ අප්පා එහෙමත් ඉලන්දාරියා.. අපේ ගේනි නම් බංගලාවේ උයනපිහින වැඩවලට ආවේ හැරී මාතියාගේ අම්මත් හැරී මාතියාගේ අප්පව දීගතුලා ආවයින් පස්සේ.. "

"හැරී මහත්තයාගේ අම්මලා මෙහේද හිටියේ ??"

"නෑ මාතියා.. කාලෙකට මෙහෙ උන්නා. තව කාලෙකට රටරාජ්ජවලත් උන්නා. හැරී මාතියලගේ ඉස්කොලේ ගමනත් එක්ක හැරී මාතියලා ලොකු මහත් වෙද්දී එන එක සෑහෙන්න අඩු වුණා. ඊටත් පස්සේ හැරී මාතියාගේ අම්මා වෙන කවුදෝ මිනියෙක් එක්ක පැනලා ගියාලු. එතකොට හැරී මාතියාත් ටිකක් ඉලන්දාරි වයස. අර මනුස්සයා ඒ දුකෙන් ම මැරිලා ගියා මාතියා.. "

"කවුද ?? හැරී මහත්තයාගේ අප්පාද ??"

"ඔව් මාතියා.. එතකොට නම් මායි මයේ ගෑනි පෑහිලා අපේ ලොකු එකීත් බඩට ඇවිදින් තිබුණෙ. අර උත්තමයා මිය පරලොව යන්න කලින් මේ ගේ කෑල්ල අටෝලා දුන්නා. අරිම ඔද මිනිස්සු අපේ මාතියා. .හරිම ඔද මිනිසු. මාතියා දන්නවා ද ඔය ඇන්ඩර්සන්ලා ගේනියෙක් එක්ක පෑහෙන්න ගත්තාම ආයේ පණ වුණත් දෙන්න ලැස්තිලුනේ. හැරී මාතියාගේ පාට්ටන් තමයි ඊට පස්සේ හැරී මාතියාවයි නංගිවයි බලාගත්තේ."

"එතකොට හැරී මහත්තයාගේ සීයා කවදාවත් බංගලාවට ආවේ නැද්ද ?"

"හැරී මාතියාගේ අප්පට භාර දුන්නයින් පස්සේ නම් වැඩිය ආවේ නැහැ මාතියා.. හැරී මාතියාගේ අප්පාගේ අප්පා ඒ කිව්වේ ලොකු මාතියා ලොකු නෝනාට පුදුම ආදරේකින් හිටියේ.. ඒ දෙන්නම ඒමයි මාතියා.. පණට පණ. හැරී මාතියාගේ අප්පා මළායින් පස්සේ හැරී මාතියාව එහෙම හැදුවේ උන්දලා තමා. හදලා කරලා හැරී මාතියාට ම තේ බංගලාවයි වත්තයි ලොකු මාතියා භාර දුන්නා මාතියා.. ඊට පස්සේ තමා ඔක්කොම පටන් ගත්තේ.."

"ඔක්කොම පටන් ගත්තා කිව්වේ කරුප්පයියා.. ??"