සූකිරි කියලා කෑවද පුත්තලම්  ලුණු ?

සූකිරි කියලා කෑවද පුත්තලම්  ලුණු ?

දෙනෝදාහක් මල් මැද මෙලෝ රහක් නැති මලකින් කැමැත්ත ඇහුවා. අනේ දෙයියනේ ඒකිත් මට බෑ කිව්වනේ.

අන්න ඒ හැඟීම්බර වූ මතක පොතත් පෙරළගෙන ඔන්න මං අදත් සුපුරුදු තැනට බෑ නොකියම ආවා.තනිකඩ ලල් එකට හෙන ගහලා යන්න කියලා හිතලා මටත් දවසක කෙල්ලෙක් ආදරේ කියයිනේ.හැබැයි ඉතින් ඒ සතුටටම එදාට මං එලොව යයිද දන්නෙත් නෑ.මං කියන දේ අපේ කොල්ලන්ට කෙල්ලන්ට තේරෙනවා හොරයිද මන්දා.මොකද දැන් දැන් හැමෝම අහනවා මොනාද මේ ඔයා ලියන අච්චාරු කතා කියලා.ඇත්තමයි අපේ අයට දෙයක් පැහැදිලි කරනවාට වඩා ලේසියි,නුවර වරායක් හදලා ඒකට නැව් ගේන එක.ඉර දෙන්නම් හඳ දෙන්නම් කියලා ළඟින් හිටපු අය තරුත් පෙන්නලා මාරුවෙන එකේ Love කරනවට වඩා ඒක පට්ට ලේසියි. හැබැයි අන්තිමට කොයි කොයි දේවලුත් අපිට තේරෙද්දී පෙරැහැර ගිහින් පෙරැහැර ගියපු පාරත් අතුගාලා තියෙයි.සෙල්ලම්ද කොල්ලෝ රවයිද කෙල්ලෝ කියන ගමන් දෙයියන්ටත් නොතේරෙන ඇත්ත සීන් එක ඉතින් මේක. ඒ මොනා වුණත් කොල්ලෝ කියන්නේ යටින් දුක හංගන් උඩින් හිනාවෙලා ඉන්න Set එකක්.ඒත් ඒකටත් එක්ක කෙල්ලෝ කියන්නේ නම් චුට්ටක් සීරුනත් වෙඩි වැදුණු සයිස් එකට දඟලන Set එකක්.ඔව් ඉතින් ඒ කෙල්ලොනේ...

හීනියට වගේ හිතුවොත් ගෙදරක සල්ලි ගස් තිබුණත් මදි මේ කෙල්ලන්ට. කොල්ලො නම් ඉතින් තාත්තගේ ඇඳුමක් හරි ඇඳගෙන පන්ති යනවා.ඒත් අපේ කෙල්ලෝ එහෙමද? උන් ඉංග්‍රීසි හෝඩියේ අකුරු විසි පහ ම තියෙන ටී ෂර්ට් ඇඳන් තමයි පන්ති යන්නේ. යට තියෙන්නේ ඉතින් සුපුරුදු ලෙගින් එක. කෙල්ලන්ගේ ටීෂර්ට් පිටිපස්සේ සමහර වෙලාවට ගහලා තියෙනවා Follow Me කියලා.ඒත් දෙයියනේ ඕං අපි පස්සෙන් යනකොට අහනවා ඇයි ඔයා පස්සෙන් එන්නේ කියලා.

මේ අර අපේ පුංචි බැඳපු බාප්පගේ අක්කගේ දුවත් මට කැමති නෑ මචන්ලා කියාගෙන... පොඩි එකා කාලේ කෙල්ලෝ කැමති බෝනික්කන්ට.කොල්ලෝ නම් කැමති කාර්වලට.ඒත් ඉතින් උන්ට හය හතර තේරෙද්දී කෙල්ලෝ කැමති කාර් තියෙන කොල්ලන්ට.කොල්ලෝ කැමති බෝනික්කෝ වගේ කෙල්ලන්ට. අන්තිමේ බයිසිකල් ටයර් එකක්වත් නැති අපට හුළං.අපට කොහෙන්ද බූල් බල්ලෝ" කියලා.

ඒ මදිවට බලන්න ඕනෙ ඔය එක එක පාටිවලට කෙල්ලන්ට ලැබෙන තෑගි කන්දරාව. අපිත් ඉතින් වෙඩින් දවසටවත් ඔය වගේ තෑගි කන්දරාවක් ලැබෙයි කියලා උජාරුවටම හිතන් ඉන්නවා.රැවටුණු තරම් ඔබ හින්දා මං කියාගෙන එදාටත් ලැබෙන්නේ ඉතින් අපිට වීදුරු පෙට්ටි දෙක තුනක්. සමහර විට වෙඩිමක් නොගෙන හඳ පානේ ඉටිපන්දම් එළියෙන් පොඩි Jump එකක් කළොත් අර වීදුරු පෙට්ටි දෙක තුනටත් රත්නත්තරේම පිහිටයි....! අනේ මන්දා මහත්තයෝ,එදා බමුණන්ගේ කාලේ බංකු යට හිටපු කෙල්ලෝ අද ඉන්නේ බංකු උඩත් බංකු තියාගෙන.

බඳින්න පෙර වැඩ්ඩෝ වගේ ඉන්න ගොඩාක් අය බැන්දට පස්සේ හඩ්ඩෝ වෙනවා කියලා ඉතින් බැඳපු හැමෝම දන්නවනේ.බැඳලා දින දෙක තුනක් යනකල් දෙන්නා හරිම හොඳින් සතුටින් ඉන්නවා.ටික දවසකින් ගෙදර ඉස්සරහා දොරෙන් පිඟන් දෙක තුනක් තව වළඳක් අරෙහෙ මෙහේ පාවෙනවා.ටික දවසක් යනකොට බැඳපු ගෑනු කෙනත් අනේ ඒ දොරෙන්ම පාවෙනවා.අනේ මන්දා බං,මේ කියවීම මිනිසා සම්පූර්ණ කරනවා නම් අපේ මේ ගෑනු තරම් පරිපූර්ණ ජාතියක් ලොවෙත් නෑ.ඒ අස්සේ මතට තිත කියන සංකල්පය අපේ රටේ හොඳටම සිද්ධ වෙනවා.ඒක මොන තරම් හොඳට සිද්ධ වෙනවද කියනවා නම් පිරිමි එන්නේ හැමදාම හවසට අඩියක් ගහලා.ඔන්න එක ගමක පවුලක් හිටියලු.මේ ගෙදර මිනිහා හැමදාම ගෙදර එන්නේ හොඳට ම බීලලු.දවසක් බීලා ගෙදර ආවට පස්සේ ගෑනි මිනිහට මෙහෙම කියනවලු."ඒයි මොකද මනුස්සයෝ හැමදාම බීගෙන මේ ගෙදර එන්නේ.

ඔය බීම හින්දා තමා මේ ඔක්කෝම.තමුසේ එදා ඉඳන් බීපු සල්ලි එකතු කළා නම් අපිට කාර් එකක් ගන්න තිබුණා.දැන්වත් ඔය මළ ජරාව බොන එක නතර කරනවා."මේක අහපු මිනිහා හිනාවෙවී ගෑනිගෙන් ඇහුවලු"ඈ බොල ගෑනියේ,ඉතින් උඹ බොන්නෙත් නෑනේ. කෝ දැන් උඹ ගත්තු කාර් එක...?" කියලා. මිනිහට මතක එච්චරලු. සිහිය එද්දී ඩෑල් එක දැඩි සත්කාරෙන් රෝහල් වාට්ටුවකට මාරු කරලා තිබුණලු. අනේ ඉතින් මේ ගැන නම් මං මුකුත් කියන්න යන්නේ නෑමයි.

සමහරුන්ට මං කියපු දේවල් කිරි හට්ටියට පැණි බෝතලේ හැලුවා වගේ ඇති.තවත් අයට නාගල කන්දට හෙන ගැහුවා වගේ ඇති. මළ පැන්නත් හිනා ගියත් මං වස්තු ඇත්තමයි කිව්වේ.ආදරේ කළාට කමක් නෑ ඒත් ඉතින් Boot කන්න නම් එපා.Boot කන්නේ නැතුව ඉන්න නම් මේකත් හොඳට මතක තියාගන්න ඈ.සූකිරි කියලා ඔයාලා පුත්තලම් ලුණු කෑවට අවුලක්ම නෑ.ඒත් ඉතින් මා පුතේ කෙල්ලන්ගේ දිරපු ලණු නම් කන්න එපා. මොකද ඉතින් ගිනිකූරක් ගහලා ඒක නිවෙන්නත් කලින් කෙල්ලන්ගේ හිත වෙනස් වෙනවලු. හරි කොහොමින් හරි කමක් නෑ ඉතින්.අන්තිමේ මං කියන්නේ මෙච්චරයි.අනේ රත්තරන් ටිකට ඉන්න අපේ දි 'Y' බලන කොල්ලන්ට කෙල්ලන්ට යහපතක් ම වේවා!