ජීවිතේ කියන්නෙත් ගමනක්

ජීවිතේ කියන්නෙත් ගමනක්

ඔහු රජයේ කන්තෝරුවක ලිපිකරුවෙක්. ඒ නිසා මහා ධනයකට හිමිකම් නොකීවත් අගහිඟයක් නැති දිවියක් ගෙවන්න වාසනාව තිබුණා. විවාහ වෙලා කාලයක් යද්දි තමන් තාත්තා කෙනෙක් වෙන්න යන බව ඔහුට වැටහුණා. එදා ඉඳන් ඔහු කල් ගෙව්වෙ රටක් රාජ්‍යයක් හිමි වුණා වගේ.

කාලය ගෙවිලා ගිහින් බෝනික්කෙක් වගේ පුංචි දුවෙක් මේ තාත්තගෙ අතට ආවා. තමන්ගෙ දුවට එදා ඉඳන්ම මේ තාත්තා කථා කලේ "සුදු දෝණි" කියලා. "මං මගේ දෝණිව රැජිණක් කරනවා" දුවව හුරතල් කරන ගමන් මේ තාත්තා කල්පනා කළා.

සුදු දෝණිට අකුරු කියවන දවසෙ ඇය අතට ගත්තෙ වෙද නලාව. "දුවව කොහොම හරි දොස්තර නෝනා කෙනෙක් කරනවා" මේ තාත්තා එදා ඉඳන් ඒ වෙනුවෙන් මහන්සි වෙලා කටයුතු කළා. සුදු දෝණිත් ඉතා හොඳින් දෙමව්පියන්ට කීකරුව ඉගෙනගත්තා.

කාලය වේගයෙන් ඉගිලුණා. සුදු දෝණි දැන් උසස්පෙළ පංතියෙ සුන්දර යුවතියක්. මේ කොල්ලන්ට කෙල්ලන්ට මල්සරා විදින කාලේ. ඒත් සුදු දෝණිට විදින්න නම් මල්සරාට පුළුවන් වුණේ නෑ. ලස්සන රූපෙ නිසා පිරිමි ළමයින්ගෙන් ඇති තරම් යෝජනා ආවත් ඇය ඒ ගැන නොසිතා පාඩම් වැඩවලට මුල්තැන දුන්නා.

උසස්පෙළ ප්‍රතිඵල එද්දි සුදු දෝණිත් ඉහළින් ම සමත් වෙලා හිටියා. නමුත් වෛද්‍ය පීඨය දශම ගණනකින් ඇයට මඟහැරුණා. "කමක් නෑ දුවේ තව පාරක් උත්සාහ කරන්න." තාත්තා තමන්ගෙ දුවගෙ හිත හැදුවා.

සුදු දෝණිත් දෙවන වර උසස් පෙළ විභාගයට සූදානම් වුණා. දැන් ඇය අමතර පංති යනවා. සම වයසෙ අනිත් ගෑනු ළමයි වගේ තමන්ගෙ දූ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගත්තෙ නැති නිසා දෙමාපියන්ට බය වෙන්න දෙයක් තිබුණෙත් නෑ.මේ අතරෙ විවිධාකාරයෙ පිරිමි ළමයිනුත් සුදු දෝණි ගැන උනන්දු වුණා. ඔය අතරෙ අහම්බෙන් මුණගැහුණු කඩවසම් තරුණයෙක් හිටියා. බොහොම වැදගත් පාටට ඇඳලා පැලඳලා ආපු මේ තරුණයා ගැන නම් සුදු දෝණිගෙ හදවතත් ටිකක් සසල වුණා. ඒ ගැන වැඩිය උනන්දු නොවුණත් අතරමඟදි හමුවෙලා ටිකක් කතා කර කර හිටපු දවස් නම් කිහිපයක් තිබුණා.

දෙවන වර විභාගය ඉවර වුණාට පස්සෙ දෝණිටත් ලැබුණෙ සැහැල්ලු නිදහස් කාලයක්. හිතේ හැංගිලා තිබුණ ප්‍රේමණීය හැඟීම් අනිත් ගෑනු ළමයින්ට වගේ දෝණිටත් දැනෙන්න ගත්තා. බස් නැවතුම්පළේ, නගර උද්‍යානයෙ හමුවුණ ආදර හමුවීම සිනමා ශාලාවට ගිහින් මේ දෙන්නා විතරක් තනිවෙන තැනට ම යන්න මහ ලොකු කාලයක් ගියේ නෑ. "නිකං ගෙදර ඉන්න එකේ පුස්තකාලෙට ගිහින් පොතක් බලන එක කොච්චර හොඳ දෙයක්ද?" සුදු දෝණි ගෙදරින් පිටවෙන හැම වෙලාවෙ ම සුදු දෝණිගෙ අම්මා කිව්වෙ එහෙම. ආපහු හැරෙන්න බෑ කියලා දෝණිටම තේරෙන කොට දෝණි හොඳටම ප්‍රමාදයි. "අයියෝ කෙල්ලෙ උඹ වගේ හොඳට ඉගෙන ගත්ත එකියක් මේ වගේ මෝඩ වැඩක් කර ගනී කියලා නං මං හීනෙකින්වත් හිතුවෙ නෑ. දැන් කරන්න තියෙන්න එක දෙයයි. ඌව කසාද බැඳපන්"

තමන් පත්වුණු අසරණ තත්ත්වය සුදු දෝණි ඇගේ හොඳම යාළුවට කියපු වෙලේ ඇය දුන්නෙ එහෙම උපදෙසක්. කසාද බඳින්න කිව්වත් එහෙම දෙයක් ගැන හීනෙකින්වත් සුදු දෝණි හිතලා තිබුණෙ නෑ. ඒ නැතත් තමන්ගෙ පෙම්වතා පිළිබඳව ඇය දැනගෙන හිටියෙ නම විතරයි.

වෙන විකල්පයක් ඇයට තිබුණෙ නෑ. "අපි බඳිමු" පහුවදාම දෝණි පෙම්වතාගෙන් ඉල්ලුවා. ඔහුත් දෙවරක් නොහිතාම ඇගේ ඉල්ලීම පිළිගත්තා වගේම විවාහයත් හොර රහසෙම සිදු වුණා. ආලයයි කැස්සයි හංගන්න බැරි එකේ කසාදයක් හංගන්න පුළුවන්ද? දෝණිගෙ තාත්තගෙ කනට මේවා යන්න වැඩි දවසක් ගියේ නෑ. එදා ඒ තාත්තා ගෙදර ආවෙ යක්ෂයා ආවේස වෙලා.

"තෝ ඌත් එක්කම පල"

මහා බලාපොරොත්තු කන්දක් ගොඩ ගහගෙන ඉහේ කනේ තියාගෙන හදපු දුවව ගෙදරන් එළියට දාන්න තරම් මේ කෝපය දරුණු වෙලා තිබුණා. ඔහුටත් සිදු වුණා ඇයව ගෙදර එක්කගෙන යන්න. බිරිඳ එක්ක පවුල් කන්න ගෙයක්දොරක් ඔහුට තිබුණෙ නෑ. අම්මයි තවත් ගෑනුදරුවො දෙන්නෙකුයි හිටපු කටුමැටි ගෙදරට තමන්ගෙ බිරිඳත් එක්ක යන්න ඔහුට සිදු වුණා.

ගඩොල් පෝරණුවෙ ගඩොල් කපන එක රස්සාව කරගත්තු මේ තරුණයට තවත් කෙනෙක් නඩත්තු කරන්න හැකියාවක් නෑ. ඒත් ඒ අම්මා තමන්ගෙ ලේලිව පිටමං කළේ නෑ. "තියෙන විදිහට කාලා ඇඳලා ඉමු" ගෙයි ඉදිරි කාමරය මේ දෙන්නට වෙන් වුණා. පහුවදා උදේ ඔහු ගඩොල් කපන්න ගියා. ලොකු නෑනා ඇයව හොයාගෙන ආවේ පෝර උරයකුත් අරන්. තේ කූඩයක් විදිහට සකස් කරපු ඒ පෝර උරයත් අරං සුදු දෝණිටත් දළු කඩන රස්සාවට යන්න සිදු වුණා. ඒ ගෙදර බඩවල් පිරුණෙ දළු කඩලා ලැබෙන සල්ලිවලින්. ඉටි රූපයක් වගේ නෑනා පොඩ්ඩගෙන් මේ වගේ වැඩ ගන්න ලොකු නෑනට දුක හිතුණත් ඇයටත් වෙන විකල්පයක් තිබුණෙ නෑ.

සුදු දෝණි කරපු දේ දරාගන්න බැරිව රෝගී වුණු ඇගේ අම්මා අසනීපයෙන්ම මේ ලෝකෙන් යන්න ගියා. තාත්තා මත් වතුර බෝතලය අතට ගත්තා. තමන්ට තිබුණු සබ්බ සකලමනාවම අනාථ නිවාසයකට පවරපු මේ තාත්තා එක මූසල රැයක මත්වතුර බෝතලය වෙනුවට කෘමිනාශක බෝතලය තෝරගත්තා.

ඔය අතරෙ උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වුණා දිස්ත්‍රික්කයෙන් දෙවනියත් ලංකාවෙන්ම අටවෙනියත් විදිහට සුදු දෝණිගෙ නම සටහන් වෙලා තිබුණා. ඒත් වෛද්‍ය පීඨයෙ ඈට වෙන් වුණ අසුන හැමදාමත් තිබු‍ණෙ හිස්ව. ඇගේ ස්වාමියට තමන්ගෙ බිරිඳගෙ වටිනාකම දැනුණෙ නෑ. ඒ නිසා ඔහුගෙන් අවසරයක් ලැබුණෙත් නෑ. දොස්තර වෙන්න කෝටි ගණන් දීලත් බැරි අය ඉන්නවා කියලා මේ ගෙදර අය දැනන් හිටියෙත් නෑ.

අවාසනාව කරපින්න ගත්ත ඇය ජීවත් වෙන්න තේ දළු කැඩුවා."අන්න මිනිහා බැඳපු ගෑනියෙක් එක්ක පැනලා ගිහින්" එක දවසක ගමේ ගෑනු කෙනෙක් ඈ හොයාගෙන ඇවිත් කිව්වා. ඉකි ගගහා ඇඬුවත් "සුදු දෝණි" කියලා ආදරෙන් ඔළුව අතගාන්න ඈට කිසිවෙක් හිටියෙ නෑ.

කිව්වට විශ්වාස කරන්න මේක මේ රටේ සිදුවුණු ඇත්තම කථාවක්. මම විශ්වාස කරනවා දෛවය ඔබට ඒ තරම් සරදම් කරලා නැතිව ඇති කියලා. තාම එච්චර වයසකුත් නෑ නේද? කලබල වෙන්න එපා. හිමින් සීරුවේ අඩි තියලා බොහොම ප්‍රවේසමෙන් යන්න.

ජීවිතේ කියන්නෙත් ගමනක්... බොහෝ දුර යන්න තියෙන.