රොමාන්තික තැන්

රොමාන්තික තැන්

කොළොම්පුරේ කපල් එකකට යන්න තැනක් හොයාගන්න එකත් කට්ටක් කන වැඩක්. අනේ ඉතින් මේ කට්ට ලංකාවේ කොහෙත් පොදුයි. පොඩ්ඩක් තනි වෙලා කතා කරන්න කියලා සමහර කපල්ස් කොෆී ෂොප්වලට ගියත් ටික වෙලාවකින් ඒකේ වැඩ කරන උදවියත් මේසේ වටේ කැරකෙන්නේ නිකන් පල නොකියා පලා බෙදනවා වගේ. ඉතින් මේ කියන්න යන්නේ කරදර නැතිව, ඔබේ පෙම්වතා හරි පෙම්වතිය හරි එක්ක යන්න පුළුවන් දන්න නොදන්න තැන් කිහිපයක් ගැනයි. සාමාන්‍යයෙන් කපල් එකකට පොඩ්ඩක් තනිවෙලා කතා කරන්න ඕනේ වුණොත් යන්න ස්පොට් එකක් ගොඩ වෙලාවට ප්ලෑන් කරන්නේ කොල්ලා නේ... අපි අද මේ කියන්න යන තැන් ටික ගැන අනිත් දවසේ පෙම්වතාට කියලා බලන්කෝ ටිකක් විතර එයා ඔයා ගැන පුදුම වෙයි... කොහොමද අප්ඩේට් වුණේ කියලා. ඔන්න එතකොට මේ ලිපිය පෙන්වලා ගොඩ යන්න පුළුවන්. හැබැයි අපි මේ තැන් කිව්වේ ඔයාලට නිවි හැනහිල්ලේ ගිහින් කතාබහ කරලා, පොඩ්ඩක් රොමැන්ටික් වෙන්න විතරයි. සීමාවට වඩා රොමෑන්ටික් වෙලා දාගන්න කචල්වලට අපි නම් වග කියන්නේ නැහැ ඔන්න.

කොළඹ කලබලේ මැද නිසංසල හැන්දෑවකට නම් යන්න හෙළදිව කැෆේ

කොළඹ ඩච් ෂොපිං සෙන්ටර් එක... ඉස්සර ලන්දේසී රෝහල මතක ඇති නේ...ඉස්සරහම තියෙන විශාල දොරෙන් ඇතුළු වුණහම මැද මිදුලෙන් එහා දකුණු පැත්තට වෙන්න තමයි අපි මේ කියන ස්පොට් එක තියෙන්නෙ.

ඔබ පළමු වතාවට නම් මෙතනට ගොඩ වෙන්නේ ලොකු වෙනසක්, නිදහසක් දැනේවී.

 සුවපහසු සෝපාවකට වෙලා කුකී එකක්, රස ම රස කේක් කෑල්ලක් එක්ක ඉස්තරම් විදිහේ කෝපි කෝප්පයකුත් තොල ගාමින් නිදහසේ කතා කර කර ඉන්න කියාපු රොමෑන්ටික් තැනක්.

සැදැහැ සිත් ඇති පෙම්වතුන්ට ගංගාරාමය

විනෝද වෙන්න, එහෙම නැතිනම් නිදහසේ ඉන්න තැන් හොයන කපල්ස් අතරේ ආගමදහමට බොහොම ලැදි කෙල්ලෝ කොල්ලෝත් ඉන්නවානේ...ඉතින් ඒ වගේ දෙන්නෙක් පන්සලකට ගිහින් මලක් එහෙම පූජා කරලා සැදැහැ සිතින් ඉන්න කැමැතියි. ආන්න එහෙම අයට ගංගාරාම බේරේ වැවේ හදපු විහාර මන්දිරයට යන්න පුළුවන්. උදේ වරුව කියන්න බැරි තරම් නිස්කලංකයි. මලක් පූජා කරලා නිස්කලංකව ඉඳලා, ඕනේ නම් යන ගමන් එහා පැත්තට ගිහින් දෙන්නා එක්ක හංස බෝට්ටුවකට වෙලා පැද්දි පැද්දි ටික වෙලාවක් රොමැන්ටික් වෙන්නත් බැරියෑ.


 

මේක නම් ආදි කාලේ ඉඳන් අපේ කපල්ස් යන තැනක් තමයි. ගෝල්ෆේස් පිට්ටනිය මායිම් කරගෙන තියෙන ගල්බංකු, සිමෙන්ති බංකු, සිමෙන්ති පඩි මත කියැවුණු ආදර කතා කී දාහක් ඇතිද? අත් අල්ලන් වෙරළ දිගේ ඇවිදගෙන යන ගමන්,

සමහරු ඉස්සෝ වඩේ කන්න ම කියලත් ගෝල්ෆේස් එනවා. ඒ තරමට මෙතන තියෙන ඉස්සො වඩේ කරත්ත ටික ෆේමස්.

 තාමත් හවසට ගෝල්ෆේස් එක මරු. නිදහසේ කතාබහ කරන්න, ඊට පස්සේ බඩ පැලෙන්න කාලා අත් අල්ලගෙන ඇවිදින්න ගෝල්ෆේස් එකේ කිසි ම තහනමක් නැහැ.
 

 

ගැලේරි කැෆේ

නෙළුම් පොකුණ ළඟ තියෙන වට රවුමෙන් කලා භවන පැත්තට තමයි යන්න තියෙන්නේ. කලා ඊවන පහු වෙනකොටම ඊළඟට තියෙන ලොකු ගේට්ටුවෙන් ඇතුළු වුණාහම මහ ගස් එක්ක තියෙන ගාර්ඩන් එක පෙම්වතුන්ට රොමාන්තිකව ගත කරන්න කදිම තැනක්. මිත්‍ර‍ශීලි සේවය නිසා එහිදී කිසි ම විදිහකින් රැවුම් බැලුම්වලට අහු වෙන්නේ නැහැ කියලා බය නැතිව කියන්නත් පුළුවන්. රසම රස කේක් කෑල්ලකුයි කෝපි කෝප්පයකුයි අරගෙන පැය ගාණක් හරි කතා කර කර ඉන්න පුළුවන් තැනක්.
 

බෙල්ලන්විල වේ‍රැස් ගඟ අසබඩ දියත උයන වගේ ම තැනක් තියෙනවා

හවස් යාමේ ඉර බැහැගෙන යනකොට දැනෙන සිසිලසත් එක්ක ඇති වෙන රොමෑන්ටික් ගතිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ගඟ අද්දර බංකුවකට වෙලා දෙන්නත් එක්ක පොඩි චැට් එකක් දාලා බඩගින්නක් ආවොත් එහා පැත්තේ තියෙන ෆුඩ් කෝට් එකෙන් පැලෙන්න කන්නත් පුළුවන්.

 

 

 

 

 

Galle Buck Lighthouse
 

 කොළඹ තියෙන හැංගුණු සුන්දර ම තැන්වලින් එකක්. කතාබහ අඩු අයට මුහුද දිහා බලන්, ඉර බහින හැටි බලාගෙන ඒ සුන්දරත්වය විඳින්න පුළුවන්. ඕනේ නම් ලයිට් හවුස් එකෙන් තේ කෝප්පයක් රස බලමින් සාකච්ඡාවකට එහෙමත් කියාපු තැනක්.

 

සුන්දර බෙන්තොට

දකුණු මුහුදු තීරයෙ තියෙන ලස්සන ම මුහුදු වෙරළ කිව්වොත් හරි... ඉතින් බෙන්තොට වෙරළ කොනක ඉඳගෙන පෙණකැටි විහිදගෙන එන රැල්ලයි සීමාවක් නොපෙනෙන මහ මුහුදයි දිහා ටික වෙලාවක් බලන් ඉන්නකොට රොමැන්ටික් වෙලා වැඩි කමට කවි සිතිවිලි වුණත් පහල වෙන්න බැරි නැහැ.


 

සිනමන් ගාඩන්ඩ් එකේ පිටිපස්සෙ තියෙනවා මරු ස්පොට් එකක්

මෙතනත් ෆුල් රොමැන්ටික් තැනක්...හවස් යාමේ බේරේ වැව අයිනට වෙලා දෙන්නට ටිකක් තනි වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් පොකට් එක ටිකක් සරුයි වගේ නම් සිනමන් එකේ ම තියෙන ඉතාලි අවන්හaලේ මුල්ලකට වෙලා ඉතාලි ක්‍රමයට හදපු කෑමක රහ බලන ගමන් හැන්දෑවක් ගත කරන්නත් පුළුවන්.
 

 

කජු කැළේ පෙම්වතුන්ට කියාපු තැනක්

කැම්පස් සෙට් එකේ ම වෙන්න ම ඕනේ නැහැ මෙතනට යන්න. හැබැයි ඒ පැත්තේ උදවිය නම් කජු කැළේ දන්නවා ඇති. උඩට ඉලිප්පිලා තියෙන නුගෙගස් මුල්වල වාඩිවෙලා ඇති වෙන්න කතාබහ කර ගන්නකෝ... රොමැන්ටික් වෙන්නකෝ... කවුරුත් අහන්න බලන්න එන්නේ නැහැ. හැබැයි ඉතින් පොඩි කේස් එකකට තියෙන්නේ පොඩ්ඩක් විතර දිමියො ඉන්නවා එච්චරයි. රොමැන්ටික් වෙද්දි පොඩි පොඩි බාධක තිබ්බෙ නැත්නම් ගතියකුත් නැහැනේ නේද?
 

 

ඇවෙන්ඩ්‍රා ගංගාර වෙන්නප්පුව
 

මේ තැන නම් තියෙන්නේ කොළඹින් පිට. ඒ කිව්වේ වෙන්නප්පුව පැත්තේ. උදේ වරුවක ගිහින් හවස් වෙනකන් නිවාඩුපාඩුවේ ඉඳලා එන්න මේ තැන නියමයි. එක පැත්තකින් ගඟටත් අනෙක් පැත්තෙන් පූල් එකටත් මැදිව දිගට ඇදෙන පාර දිගේ අත් අල්ලන් දෙන්නට රොමෑන්ටික් කතාවක් දාගෙන ඇවිදින්නත් පුළුවන්.

බඩගිනි වුණහම රසවත් කෑම ජාතිවලිනුත් අඩුවක් නැති නිසා නිදහසේ කැමති කෑමක රස විඳින්නත් පුළුවන්.